විජ්ජාචරණ සම්පන්න ගුණය – ඉතිරිය

3. ආශ්‍රවක්‍ෂයකරඥානය (අර්හත් මාර්ගඥානය)

දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය යන චතුරාර්ය සත්‍යයන් තත් වූ පරිද්දෙන් දැන කාමාශ්‍රව, භවාශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිට්ඨාශ්‍රව යන චතුර්ආශ්‍රවයන් සහමුලින් ම ක්‍ෂය කර නිවන් රසය උපදවන අර්හත් මාර්ගඥානය ‘ආශ්‍රවක්‍ෂයකරඥානය’ ලෙස හැඳින්වේ.

බෝසතාණන් වහන්සේ බෝමැඩ දී රාත්‍රී ප්‍රථම යාමයේ පූර්වේනිවාසානුස්මෘති ඥානය උපදවා පෙර ජාති සිහිකර අනතුරුව රාත්‍රී මැදියමේ දිවැස් නුවණ පිරිසිදු කරගෙන සත්වයන්ගේ ච්‍යුති-උත්පත්ති බලා අවසානයේ රාත්‍රී පශ්චිම යාමයේ ආශ්‍රවක්‍ෂයකර ඥානය උපදවාගැනීම පිණිස විදර්ශනා සිත මෙහෙයවූ සේක. ඒ අනුව දුක්ඛාර්ය සත්‍යය පිරිසිඳ දැක ස්වභාව වශයෙන් නොපිරිහෙළා අවබෝධකොට වදාළ සේක. ඒ දුක උපදවන්නා වූ තෘෂ්ණාව දුක්ඛ සමුදයාර්ය සත්‍යය ලෙස අවබෝධ කළ සේක. දුකත් තෘෂ්ණාවත් යන දෙදෙනා ම යම් ස්ථානයක දී නිරුද්ධ වේ ද ඒ උතුම් නිර්වාණධාතුව දුක්ඛ නිරෝධාර්ය සත්‍යය ලෙස අවබෝධ කළ සේක. ඒ නිවනට පැමිණීම පිණිස වැඩිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යය ලෙස අවබෝධ කළ සේක. එසේ චතුරාර්යසත්‍ය අවබෝධයෙන් කාමාදි ආශ්‍රවයන් සහමුලින් ම ක්‍ෂය කර උතුම් අර්හත්ඵල ඥානයට පැමිණ වදාළ සේක. ජාතිය හෙවත් ඉපදීම ක්‍ෂය කළ සේක. මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමකළ සේක. චතුරාර්යසත්‍යය අවබෝධය පිණිස කළ යුතු සියලු කටයුතු නිම කළ සේක. මේ භවයේ කෙලෙසුන් නැසීම පිණිස කළ යුතු අන් කිසිදු කටයුත්තක් නොමැති යැයි දැන ගත් සේක. මෙසේ අවබෝධ කළා වූ ඒ උතුම් අර්හත් මාර්ගඥානය ‘ආශ්‍රවක්‍ෂයකර ඥානය’ ලෙස හැඳින්වේ. බෝමැඩ දී රාත්‍රී පශ්චිම යාමයේ ආශ්‍රවක්‍ෂයකර ඥානය සංඛ්‍යාත තෙවන විද්‍යාව ප්‍රතිලාභ කරගත් බව ‘අයං ඛො මෙ බ්‍රාහ්මණ රත්තියා පච්ඡිමෙ යාමෙ තතියං විජ්ජා අධිගතා’ යි වදාළ සේක.

මෙම පූර්වේනිවාසානුස්මෘති ඥානය, දිව්‍යංචක්‍ෂුරභිඥානය, ආශ්‍රවක්‍ෂයකර ඥානය යන ත්‍රිවිද ඥානයන් ත්‍රිවිද්‍යා ලෙස හැඳින්වේ. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ මේ පූර්වේනිවාසානුස්මෘති ඥානාදි ත්‍රිවිද්‍යා ධර්මයන්ගෙන් සමන්වාගත බැවින් ‘විජ්ජාචරණ සම්පන්න නම් වන සේක’ යැයි ‘විජ්ජාචරණ සම්පන්න’ ගුණය වැඩිය යුතු වේ.

අෂ්ටවිද්‍යා ධර්ම

බුදුරජාණන් වහන්සේ දීඝනිකාය අම්බට්ඨ සූත්‍රයෙහි අෂ්ටවිද්‍යාවක් දේශනා කළ සේක. සාමඤ්ඤඵල සූත්‍රයෙහි මෙම කරුණු අට ශ්‍රමණ ඵල වශයෙන් ද දේශනා කර ඇත්තේය. ඒ අෂ්ටවිද්‍යාවන් මෙම ගාථාවෙන් පැවසේ.

විපස්සනාඤාණමනොමයිද්ධි – ඉද්ධිප්පභෙදොපි ච දිබ්බසොතං
පරස්ස චෙතොපරියායඤාණං – පුබ්බෙනිවාසානුගතඤ්ච ඤාණං
දිබ්බඤ්ච චක්‍ඛාසවසඩ්ඛයො ච – එතානි ඤාණානි ඉධට්ඨවිජ්ජා

1. විදර්ශනාඥානය

නාමරූප ධර්මයන් හා ඒවායේ අනිත්‍යාදි ලක්‍ෂණ දන්නා නුවණ විදර්ශනාඥානය ලෙස හැඳින්වේ. මෙහි දී අදහස් කරන්නේ මාර්ගඵල ප්‍රතිලාභය කරදීමට සමත් විදර්ශනාඥානය යි. සාමඤ්ඤඵල සූත්‍රයේ සහ අම්බට්ඨ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විදර්ශනාඥානය ඉපදවීම විස්තර කරන අන්දමට විදසුන් වඩන භික්‍ෂුව සිය සිත චතුර්ථධ්‍යානයෙන් සමාහිත වූ කල්හි, පිරිසිදු වූ කල්හි, උපක්ලේශ පහව ගොස් සිත දීප්තිමත් ව නොකිලිටි බවට පත් වූ කල්හි, විදසුන් වැඩීමට සුදුසු පරිද්දෙන් මෘදු වූ කර්මණ්‍ය වූ නිශ්චල වූ කල්හි ඥානදර්ශන ප්‍රතිලාභය පිණිස ඒ සිත මෙහෙයවයි. මෙහි දී පළමුව අෂ්ටසමාපත්තීන් උපදවා ඒවා තුදුස් ආකාරයට වශී භාවයට පත් කරගෙන සිටීම වැදගත් වේ. පසුව කියනු ලබන මනෝමය ඍද්ධි ආදිය ඉපදවිය හැක්කේ අෂ්ටසමාපත්තීන් ම තුදුසු ආකාරයට වශී බවට පත් කිරීමෙන් පමණක් ම වන බැවිනි.

මෙසේ ඥානදර්ශන ප්‍රතිලාභය පිණිස සිත මෙහෙයවා ඒ පිරිසිදු සිතින් තමාගේ ආත්මභාවය බලා එහි රූප ධර්මයන් හා නාම ධර්මයන් වෙන් වෙන් ව නිශ්චය කරගැනීම කරනු ලබයි. එවිට තමාගේ රූපකය විනිවිද පෙනෙන්නට වෙයි. එහි රූප වෙන් වී පෙනෙයි. ඒවා ඉපිද ඉපිද බිඳි බිඳී යන ආකාරය පෙනෙන්නට වෙයි. පිරිසිදු මැණිකක් මැනවින් ඔප දමා මැද සිදුරු කොට නිල්, කහ, රතු හෝ සුදු නූලකින් අමුණා අත්ලෙහි තබා බලන්නකුට එය තුළ ඇති නූල මැනවින් පෙනෙයි. එසේ ම සමාධිමත් වූ පිරිසිදු සිතින් තමාගේ ආත්මභාවය විමසන්නකුට තම රූප කාය ඇසුරුකොට පවත්නා වූ සිත ද මැනවින් පෙනෙන්නට වෙයි. සිත් ඉපිද ඉපිද බිඳි බිඳී යන ආකාරය දැකගත හැකි වෙයි. සිත හා බැඳුණු චෛතසිකයන් ද ඉපිද ඉපිද බිඳි බිඳී යන හැටි පෙනෙන්නට වෙයි.

මෙසේ විදර්ශනාඥානය උපදවන ලද යෝගාවචරයා තමාගේ සතරමහා භූතරූපයන්ගෙන් නිර්මිත කය රූපය යැයි ද ඒ රූපය ඇසුරුකොටගත් චිත්තචෛතසික ධර්මයන් නාමධර්මයන් යැයි ද මැනවින් ඇසට පෙනෙන්නාක් මෙන් දැකගනී. එසේ පිරිසිදුව පෙනෙන ඥානය විදර්ශනාඥානය යි. මෙම විදර්ශනා ඥානය බුදුරජාණන් වහන්සේට පමණක් හිමි වන්නක් නොවන අතර සෙසු ශ්‍රාවකයන් විසිනුදු උපදවනු ලබයි. එහෙත් භාග්‍යවතුන් වහන්සේගේ විදර්ශනා ඥානය සුවිසද වෙයි. සෙසු ශ්‍රාවකයන්ගේ මෙන් නොවේය.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අතිශය සුවිසද විදර්ශනා ඥානයෙන් සමන්වාගත බැවින් ‘විජ්ජාචරණ සම්පන්න නම් වන සේක’ යැයි ‘විජ්ජාචරණ සම්පන්න’ ගුණය වැඩිය යුතු වේ.

2. මනෝමයඍද්ධිඥානය

තමාගේ කය මෙන් ම රූපයෙන්, අඟපසඟින් සමාන වූ වෙනත් කයක් මවා පෑමේ නුවණ මනෝමයඍද්ධිඥානය ලෙස හැඳින්වේ. අෂ්ටසමාපත්ති තුදුස් ආකාරයකට වශී භාවයට පත් කරගත් උපක්ලේශ රහිත පිරිසිදු සිත් ඇති යෝගාවචරයා මනෝමය කයක් නිර්මාණය කිරීම පිණිස සිත යොමු කරයි. ඒ අනුව කඩු කොපුවකින් කඩුවක් ඉවත් කරන්නා සේ, සර්පයකු උගේ සැවෙන් වෙන් කරන්නා සේ තමන්ගේ කයට සර්වාකාරයෙන් සමාන වූ වෙනත් මනෝමය කයක් නිර්මාණය කිරීමේ නුවණ මනෝමයඍද්ධිඥානය යි.

මෙය ද භාග්‍යවතුන් වහන්සේට පමණක් අදාළ නුවණක් නොවුවද සෙසු ශ්‍රාවකයන් වහන්සේලා අභිබවා ගිය අතිශය සුවිසද මනෝමයඍද්ධිඥානයක් භාග්‍යවතුන් වහන්සේට ඇත්තේය. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ සුවිසද මනෝමයඍද්ධිඥානයෙන් සමන්වාගත බැවින් ‘විජ්ජාචරණ සම්පන්න නම් වන සේක’ යැයි ‘විජ්ජාචරණ සම්පන්න’ ගුණය වැඩිය යුතු වේ.

3. ඍද්ධිවිධඥානය

එක් අයෙක් ව සිට බොහෝ අය මවා පෑම, බොහෝ අය මවා පා නැවත එක් අයෙක් වීම, නොපෙනෙන තැන පෙනී සිටීම, පෙනෙන තැන නොපෙනී සිටීම, බිත්ති, ප්‍රාකාර, පර්වත විනිවිද කිසිවක් නැති අහසෙහි ගමන් කරන්නා සේ ගමන් කිරීම, ජලයෙහි මෙන් පොළොව කිමිදීම, පොළොවෙහි මෙන් ජල මතුපිට ගමන් කිරීම, පක්‍ෂියෙකු මෙන් අහසෙහි පළඟක් බැඳගෙන සිටීම, හිරු සඳු ස්පර්ශ කිරීම, බ්‍රහ්මලෝකය දක්වා සිය ඊෂ්වරත්වය පැවැත්වීම වැනි කටයුතු සිදු කිරීමේ නුවණ ඍද්ධිවිධඥානය ලෙස හැඳින්වේ.

අෂ්ටසමාපත්තීන් තුදුස් ආකාරයකට වශී භාවයට පත්කරගත් යෝගාවචරයා සිත සමාහිත වූ කල්හි, උපක්ලේශ පහව ගොස් පිරිසිදු වූ කල්හි, අභිඥා ඉපදවීමට සුදුසු සේ කර්මණ්‍ය වූ කල්හි මේ ඍද්ධිවිධඥානය ඉපදවීමට සිත නැඹුරු කරයි. ඒ අනුව අභිඥාපාදක චතුර්ථධ්‍යානයෙන් නැඟී සිට බොහෝ දෙනෙකු බවට පත් වන සේ අධිෂ්ඨාන කිරීමෙන් බොහෝ දෙනෙකු බවට පත් විය හැකිය. එසේ ම නැවත අවශ්‍ය විටක අභිඥාපාදක චතුර්ථධ්‍යානයට සමවැදී නැඟී සිට අධිෂ්ඨාන කිරීමෙන් එක් අයෙක් විය හැකි වේ. එසේ ම සෙසු ඍද්ධීන් ද පැවැත්විය හැකි වේ.

මේ බුදු සසුනේ චුල්ලපන්ථක මහරහතන් වහන්සේ මෙසේ බොහෝ රූප මවමින් ඍද්ධි ප්‍රාතිහාර්ය පැවැත්වූ හ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට මනෝමයකය මවන භික්‍ෂූන් අතර අගතැන්පත් යැයි අග්‍රස්ථාන පිරිනැමූ සේක. උන්වහන්සේ වරක් ජීවක වෛද්‍යාචාර්යතුමාගේ අතවැසියෙක් දානයට ආරාධනා කිරීමට විහාරයට පැමිණෙන විට මුළු සෙනසුන ම තමන් හා සමාන භික්‍ෂූන්ගෙන් පිරෙන සේ අදිටන් කර සිටියේය. එසේ සුවිසද ඍද්ධිවිධඥානයක් තිබූ චුල්ලපන්ථක මහරහතන් වහන්සේ ද අප සරණගිය තථාගත සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වූහ. එහෙයින් තථාගතයන් වහන්සේගේ ඍද්ධිවිධඥානය සෙසු සියල්ලෝ ම අභිබවා ගිය විශිෂ්ට ඥානයක් වේ.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ විශිෂ්ට වූ ඍද්ධිවිධඥානයෙන් සමන්වාගත බැවින් ‘විජ්ජාචරණ සම්පන්න නම් වන සේක’ යැයි ‘විජ්ජාචරණ සම්පන්න’ ගුණය වැඩිය යුතු වේ.

මතු සම්බන්ධයි.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 37. බුද්ධානුස්සති භාවනාව – 7 කොටස