විජ්ජාචරණ සම්පන්න ගුණය – ඉතිරිය

4. දිව්‍යශ්‍රෝතඥානය

බලවත් කුශලකර්ම බලයෙන් උපන් දෙවියන්ගේ කනවලට සාමාන්‍ය මිනිස් කනට නොඇසෙන ඉතා සියුම් ශබ්ද ද ඉතා දුර ඇති ශබ්ද ද ඇසේ. අෂ්ටසමාපත්ති තුදුස් ආකාරයකට වශීබවට පමුණුවාගෙන සිත පිරිසිදු කරගත්, මෘදු කරගත්, කර්මණ්‍ය කරගත් යෝගාවචරයාට මෙසේ ඉතා සියුම් වූ ද ඉතා දුර පිහිටියා වූ ද ශබ්ද ඇසීමේ නුවණ ඇති කරගත හැකි වේ. එසේ දෙවියන්ගේ කන බඳු වූ ඉතා සියුම් වූ ද ඉතා දුර පිහිටියා වූ ද ශබ්ද ඇසීමේ නුවණ දිව්‍යශ්‍රෝතඥානය නම් වේ. මෙය අෂ්ටවිද්‍යා අතරින් සතරවෙනි විද්‍යාව වේ.

මෙය ද බුදුරජාණන් වහන්සේට පමණක් ඇති නුවණක් නොවන නමුදු සෙසු පුද්ගලයන්ට ඉපදවිය නොහැකි අතිශය සුවිසද දිව්‍යශ්‍රෝතඥානයක් බුදුරජාණන් වහන්සේට ඇත. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ සුවිසද දිව්‍යශ්‍රෝත ඥානයකින් සමන්වාගත බැවින් ‘විජ්ජාචරණ සම්පන්න නම් වන සේක’ යැයි ‘විජ්ජාචරණ සම්පන්න’ ගුණය වැඩිය යුතු වේ.

5. පරචිත්තවිජානනඥානය

පරසිත් දැනගැනීමේ නුවණ පරචිත්තවිජානනඥානය හෙවත් චෙතොපරියඥානය නම් වේ. එනම් අනුන් සිතන දෙය දැනගැනීමට, අනුන්ට පහළ වන සරාග සිත්, වීතරාග සිත්, සදෝස සිත්, වීතදෝස සිත්, සමෝහ සිත්, වීතමෝහ සිත් යනාදි වශයෙන් සොළොස් ආකාරයකින් පරසිත් දැනගැනීමේ හැකියාව ලැබෙන නුවණයි.

මෙම ඥානය ඇතිකරගැනීම පිණිස පළමුව දිව්‍යංචක්‍ෂුරභිඥානය උපදවාගත යුතු වේ. එය පරචිත්තවිජානනඥානයට මූලික භාවනාවයි. එම ඥානය උපදවා කසිණාලෝකය පතුරුවා අනුන්ගේ සිත වෙත ඒ ආලෝකය යොමු කළ යුතු වේ. හෘදය වස්තුව ඇසුරුකොට පවත්නා ලේ ධාතුවේ වර්ණය කෙරෙහි ආලෝකය යොමු කිරීමෙන් ඒ වර්ණය දැකගත හැකි වේ. ඒ අනුව උපදනා සිත සොම්නස් සහගත ද, දොම්නස් සහගත ද යනාදි වශයෙන් දැකගත හැකි වේ. අනතුරුව යළිත් පාදක ධ්‍යානයට සමවැදී එයින් නැඟී සිට ‘මොහුගේ සිත දනිමි’යි පරිකර්ම කිරීමෙන් චෙතොපරියඥානය උපදවාගත හැකි වේ. මෙම චෙතොපරියඥානය අෂ්ටවිද්‍යා අතරින් පස්වෙනි විද්‍යාව වේ.

බුදුරජාණන් වහන්සේගේ නුවණැස අතිශය පිරිසිදු බැවින් පරිකර්ම කිරීමාදියකින් තොරව යම් මොහොතක අන් පුද්ගලයකුගේ සිත දැනගත යුතු ද ඒ මොහොතේ ම දැනගැනීමට සමත් සුවිසද පරචිත්තවිජානනඥානයක් ඇත්තේය. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ සුවිසද පරචිත්තවිජානනඥානයකින් සමන්වාගත බැවින් ‘විජ්ජාචරණ සම්පන්න නම් වන සේක’ යැයි ‘විජ්ජාචරණ සම්පන්න’ ගුණය වැඩිය යුතු වේ.

6. පූර්වෙනිවාසානුස්මෘතිඥානය

7. දිව්‍යංචක්‍ෂුරභිඥානය

8. ආශ්‍රවක්‍ෂයකරඥානය

මෙම විද්‍යාවන් තුන පිළිබඳ ඉහත ත්‍රිවිද්‍යා පිළිබඳ කථාවේ දී විස්තර කරන ලදී.

මෙසේ එකිනෙක විද්‍යාව වෙන වෙන ම ගෙන බුදුරජාණන් වහන්සේගේ ‘විජ්ජාචරණ සම්පන්න’ ගුණය වැඩිය යුතු වේ. අනතුරුව සියලු අෂ්ටවිද්‍යාවන් සලකා බලමින් මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ ත්‍රිවිද්‍යා ධර්මයන්ගෙන් ද අෂ්ටවිද්‍යා ධර්මයන්ගෙන් ද සමන්වාගත බැවින් ‘විජ්ජාචරණ සම්පන්න නම් වන සේක’ යැයි ‘විජ්ජාචරණ සම්පන්න’ ගුණය වැඩිය යුතු වේ.

පසළොස් චරණ ධර්ම

චරණ යනු පාදය යි. ආර්ය විද්‍යාවන් ලැබීමට හා නිවන් සාක්‍ෂාත් කරගැනීමට උපකාර වන ශීලාදි ගුණධර්ම සමුදායක් මෙහි ලා චරණ ධර්ම යන්නෙන් අදහස් වේ. ත්‍රි ශික්‍ෂාවෙන් ශීල, සමාධි දෙකට අයත් වන්නේ චරණ ධර්ම වේ. මේ චරණ ධර්මයන් නොමැතිව විද්‍යාව ලැබිය නොහැකි වන්නේය. එබැවින් මේ චරණධර්මයන් සම්පාදනය කිරීමේ ප්‍රතිපදාව ශෛක්‍ෂ ප්‍රතිපදාව ලෙස මජ්ක්‍ධිමනිකායේ සේඛ සූත්‍රයේ දී අනඳමාහිමියෝ දේශනා කළහ.

චරණධර්ම පසළොස මෙසේ දැක්විය හැකි වේ.

1. ශීලසම්පන්න භාවය
2. ඉන්ද්‍රිය සංවරය
3. භෝජනයෙහි මාත්‍රඥතාවය
4. ජාගරියානුයෝගය
5. ශ්‍රද්ධාව
6. හිරිය
7. ඔත්තප්පය
8. බහුශ්‍රැතභාවය
9. වීර්යය
10. ස්මෘතිය
11. ප්‍රඥාව
12. ප්‍රථමධ්‍යානය
13. ද්විතීයධ්‍යානයට
14. තෘතීයධ්‍යානය
15. චතුර්ථධ්‍යානය

සේඛ සූත්‍රයේ අනඳ මාහිමියෝ මහානාම ශාක්‍යයා ප්‍රමුඛ ශාක්‍ය පිරිස අමතා මෙසේ චරණධර්ම දේශනා කළහ.

ඉධ මහානාම අරියසාවකො සීලසම්පන්නො හොති. ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරො හොති. භොජනෙ මත්තඤ්ඤූ හොති. ජාගරියං අනුයුත්තො හොති. සත්තහි සද්ධම්මෙහි සමන්නාගතො හොති. චතුන්නං ඣානානං අභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.

මෙහි ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, බහුශ්‍රැතභාවය, වීර්යය, ස්මෘතිය හා ප්‍රඥාව යන ධර්ම සත ‘සත්තහි සද්ධම්මෙහි සමන්නාගතො’ යැයි දැක්වේ. ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යානයෝ ‘චතුන්නං ඣානානං අභිචෙතසිකානං’ යනාදි ලෙස සඳහන් වේ.

වර්තමාන භවයේ දී ම හෝ නැතහොත් මතු භවයක දී මගඵල නිවන් බලාපොරොත්තුවෙන් නිවන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයකු විසින් සම්පාදනය කළ යුතු ධර්ම වශයෙන් මෙම චරණධර්ම දේශනාකොට තිබේ. එබැවින් මෙය ශෛක්‍ෂ ප්‍රතිපදාව ලෙස දේශනා කොට තිබේ. තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පැමිණියේ ද මෙම මාර්ගයෙන් ම වන අතර ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙම ධර්මයන් උසස් ලෙස ඇත්තේ ය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ චරණ සම්පන්න වන සේක. මෙම එකිනෙක චරණ ධර්මය පිළිබඳ විස්තර මතු ලිපිවලින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.
මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ ත්‍රි විද්‍යා, අෂ්ට විද්‍යා, පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්වාගත බැවින් ‘විජ්ජාචරණ සම්පන්න නම් වන සේක’ යැයි ‘විජ්ජාචරණ සම්පන්න’ ගුණය වැඩිය යුතු වේ.

මතු සම්බන්ධයි.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 38. බුද්ධානුස්සති භාවනාව – 8 කොටස