බුදුරජාණන් වහන්සේ හඳුනාගත යුත්තේ බාහිර ප්‍රතිරූපයෙන් නොව ගුණ වශයෙනි. මෙපමණක් යැයි ප්‍රමාණ කළ නොහැකි ගුණ සමුදායකින් යුතු තථාගතයන් වහන්සේ ගුණ වශයෙන් හඳුනාගැනීමට නම් උන්වහන්සේගේ ගුණ පිළිබඳ දැනුම අවබෝධය ඇති කර ගත යුතු වේ. බුද්ධානුස්මෘති භාවනාව වඩන පුද්ගලයා මෙම ලිපි පෙළේ මුලින් ම සඳහන් කළ ආකාරයට පිළිවෙළින් කෙටියෙන් බුදුගුණ භාවනා කොට අනතුරුව විස්තර වශයෙන් භාවනාව පුරුදු කළ යුතු වේ. කුමන භාවනාවක් සිදු කරන පුද්ගලයෙකු නමුදු තථාගතයන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ ගමන් කරන බැවින් තථාගතයන් වහන්සේගේ ගුණ නිසි පරිදි හඳුනාගෙන කෙටි වේලාවක් හෝ මෙම භාවනාව කරන්නේ නම් මැනවි. එහෙයින් එකිනෙක බුදුගුණය පිළිබඳ ඉදිරිපත් කෙරෙන කෙටි විස්තරයේ ‘විජ්ජාචරණ සම්පන්න ගුණය’ පිළිබඳ තවත් කොටසක් මෙසේ ඉදිරිපත් කරනු ලැබේ.

පසළොස් චරණ ධර්ම

විජ්ජාචරණ සම්පන්න ගුණයේ ත්‍රි විද්‍යා සහ අෂ්ට විද්‍යා ධර්මයන් කෙටියෙන් විස්තර කර චරණ ධර්ම පසළොස දක්වන ලදී. දැන් ඒ එකිනෙක චරණ ධර්මය පිළිබඳ කෙටි විස්තරයක් මෙසේ දැක්වේ.

1. ශීලසම්පන්න භාවය (සීලසම්පන්නො හොති)

චරණ ධර්ම යටතේ පළමුව ශීලසම්පන්න භාවය ලෙස දැක්වෙන්නේ ‘ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය’යි. එය සේඛ සූත්‍රයේ දී අනඳ මාහිමියන් වහන්සේ මෙසේ දේශනා කළහ.

‘මහානාමය, මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා සිල්වත් වූයේ වෙයි, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සමන්වාගත වූයේ වෙසෙයි, ආචාරයෙන් ද ගෝචරයෙන් ද යුතු වූයේ වෙයි, අණුමාත්‍ර වූ වරදෙහි ද බිය දකිමින් ඒ ඒ සිකපදය මැනවින් සමාදන්ව හික්මෙයි’

ශීලය සතරාකාර වේ. එනම් ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය, ප්‍රත්‍ය සන්නිශ්‍රිත ශීලය, ආජීව පාරිශුද්ධි ශීලය වශයෙනි. මෙයින් ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය ලෙස හැඳින්වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද සිල්පද ආරක්‍ෂා කිරීම් වශයෙන් පවතින ශීලය යි. එම සිල්පද බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් ආරක්‍ෂා නොකරන පුද්ගලයෙකුගේ සෙසු ඉන්ද්‍රිය සංවරාදි ශීලයන් ද ආරක්‍ෂා වීමක් සිදු නොවේ. ඒ නිසා පළමුව ශීලසම්පන්න භාවය වශයෙන් ප්‍රාත්මෝක්‍ෂ සංවර ශීලය පිළිබඳව දේශනා කළහ.

කෙතක් වපුරන ගොවියෙක් සතරාකාරයකින් කෙත ආරක්‍ෂා කර ගත යුතු වේ. වපුරන බීජ බොල් වී, කැඩුණු වී ආදියෙන් මිශ්‍ර වූයේ නම් ඒ තැන් වල නිසි පරිදි ගොයම හට නොගනී. අතරතුර ගොයම පාළු වේ. එසේ ම වී වපුරන තැනැත්තා නිසි පරිදි වී වැපිරීමට නොදනී නම් සමහර තැනක වැඩියෙන් ද, සමහර තැනක අඩුවෙන් ද වපුරයි. එයින් ද නිසි සරුසාර කෙතක් නොලැබේ. එසේ ම වපුරන ලද කුඹුරේ වතුර බැඳීමේ දී සමහර තැනක වතුර වැඩි වුවහොත් එතැන කුණු වේ. සමහර තැනකට වතුර මදි වුවහොත් එතැන ද සරු නොවේ. එසේ ම කුඹුර සී සෑමේ දී ද නිසි පරිදි සී සෑම නොකළේ නම් සමහර තැනක ප්‍රමාණවත් ව සී සෑම නොවී තවත් තැනක වැඩිපුර ගැඹුරට සී සෑමෙන් කිරිමැට්ට මතු වී කුඹුර තැනින් තැන නිසරු වේ.

මේ සතරාකාර දෝශයන්ගෙන් තොරව කුඹුර වපුරන ලද්දේ නම් එය පිරිපුන් කෙතක් බවට පත් වේ. එසේ ම ශීලය ආරක්‍ෂා කරන තැනැත්තා ද තමාගේ ශීලය සතරාකාරයකින් දොස් රහිතව ආරක්‍ෂා කර ගත යුතු වේ. තමන් රකින සිල්පද මුලින් හෝ අගින් නොකැඩී ආරක්‍ෂා කර ගත යුතු වේ. එසේ ම තමන් සමාදන් වූ සිල්පද මැදින් සිදුරු නොවී ආරක්‍ෂා කර ගත යුතු වේ. එසේ ම තමන්ගේ ශීලය අතර මැද පිළිවෙළින් සිල්පද දෙක තුනක් කැඩීමෙන් අපිරිසිදු නොවී ආරක්‍ෂා කර ගත යුතු වේ. එසේ ම තැන තැන සිල්පද කැඩීමෙන් තැන තැන අපිරිසිදු නොවී ශීලය ආරක්‍ෂා කර ගත යුතු වේ.

ශීලය අපිරිසිදු වූ පුද්ගලයා තෘෂ්ණාවේ දාස භාවයට පත් වේ. තමන් දකින, අසන දෙයට ඇලුම් කරන්නට පටන් ගනී. එසේ නොවනු පිණිස බුදුරජාණන් වහන්සේ පැනවූ සිල්පද නොපිරිහෙළා ආරක්‍ෂා කළ යුතු වේ. එසේ ආරක්‍ෂා කරන ශීලය නුවණැතියන් විසින් ප්‍රශංසා කරන ශීලයක් බවට පත් වේ. එම ශීලයේ පිහිටා භාවනා කරන පුද්ගලයාට උපචාර සමාධි, අර්පණා සමාධි ඉපදවිය හැකි වේ.

මේ ශීලසම්පන්න භාවය දැක්වීමේ දී භික්‍ෂුවක් ආචාරයෙන් ද ගෝචරයෙන් ද සමන්විත විය යුතු යැයි සඳහන් වේ. කායික වශයෙන් ද වාචසික වශයෙන් ද සිල්පද ආරක්‍ෂා කිරීම ආචාර සම්පන්න භාවය යි. භික්‍ෂුවක් විසින් නො හැසිරිය යුතු වෛශ්‍යාවන් සිටින තැන්, සුරා සැල් ආදි තැන් වල නොම හැසිර, කල්‍යාණමිත්‍රයන් ඇසුරු කරමින් ඇතුළු ගමේ දී වියදඬු පමණ දුර බලමින් සතර සතිපට්ඨානයෙන් යුතුව හැසිරීම ගෝචර සම්පන්න භාවය යන්නෙන් අදහස් වේ.

තව ද බුදුසසුනේ සිල්වත් පුද්ගලයා අණුමාත්‍ර වූ ද අකුශලයෙහි බිය දකිමින් වාසය කළ යුතු වේ. භික්‍ෂූන් වහන්සේලා නොදැන, නොසිතා ඇවතට පත් වන සිල්පද ඇත. ඒ ඉතා කුඩා සිල්පදයේ පවා බිය දකිමින් එහි ඇවතට පත් නොවී ශීලය ආරක්‍ෂා කර ගත යුතු වේ. මේ වරද කුඩා ය, අල්ප සාවද්‍යය යැයි සිතා කිරීමෙන් වැළකිය යුතු වේ. ඉතා කුඩා අල්ප සාවද්‍ය වරද පවා මහත් වරදක් සේ සලකා දුරින් ම දුරු වන පුද්ගලයා සිල්වත් වූයේ වෙයි. ඒ ආකාරයෙන් සියලු සිල්පද මැනවින් ම ගෙන සමාදන්ව රැකිය යුතු වේ.

මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ සිල්පද නොපිරිහෙළා ආරක්‍ෂා කිරීම ශීලසම්පන්න භාවය ලෙස හැඳින්වේ. බුදුරජාණන් වහන්සේගේ ශීලය සෙසු ශ්‍රාවකයන්ගේ ශීලය අභිබවා ගිය උතුම් ශීලයක් වේ. දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුහුදුන් පුද්ගලයෙක් තථාගතයන් වහන්සේගේ ගුණ කියන්නේ නමුදු අල්පමාත්‍ර වූ ශීලගුණයක් අරබයා ගුණ කියන බවයි. එහෙත් තථාගතයන් වහන්සේගේ ශීල ගුණය අතිශය මහත් බව ශීලය චූලශීල, මජ්ක්‍ධිමශීල, මහාශීල යනුවෙන් තුන් ආකාරයකට බෙදමින් එහි දී බුදුරජාණන් වහන්සේ විස්තර කරන සේක. එසේ ම තථාගත ශ්‍රාවකයන් වහන්සේ ද එසේ ම සුපිරිසිදු සිල් ආරක්‍ෂා කරන ආකාරය සාමඤ්ඤඵල සූත්‍රාදියෙන් විස්තර වේ. එසේ අතිශය සුපිරිසිදු ශීල ගුණයක් ඇති බැවින් බුදුරජාණන් වහන්සේ ‘ශීලසම්පන්න භාවය’ නමැති චරණ ධර්මයෙන් යුතු වෙයි.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ සුපිරිසිදු ශීලගුණයකින් සමන්වාගත බැවින් ‘ශීලසම්පන්න බව නම් චරණ ධර්මයෙන් සමන්විත වන සේක’. එහෙයින් ‘විජ්ජාචරණ සම්පන්න නම් වන සේක’ යැයි ‘විජ්ජාචරණ සම්පන්න’ ගුණය වැඩිය යුතු වේ.

මතු සම්බන්ධයි.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 39. බුද්ධානුස්සති භාවනාව – 9 කොටස