බුදුරජාණන් වහන්සේ හඳුනාගත යුත්තේ බාහිර ප්‍රතිරූපයෙන් නොව ගුණ වශයෙනි. මෙපමණක් යැයි ප්‍රමාණ කළ නොහැකි ගුණ සමුදායකින් යුතු තථාගතයන් වහන්සේ ගුණ වශයෙන් හඳුනාගැනීමට නම් උන්වහන්සේගේ ගුණ පිළිබඳ දැනුම අවබෝධය ඇති කර ගත යුතු වේ. කෙටියෙන් බුදුගුණ භාවනාව සිදු කර අනතුරුව විස්තර වශයෙන් බුද්ධානුස්මෘතිය පුරුදු පුහුණු කිරීම පිණිස නව අරහාදි බුදුගුණයන් පිළිබඳ කෙටි විස්තරයක් මෙසේ ඉදිරිපත් කරනු ලැබේ.

විජ්ජාචරණ සම්පන්න ගුණය – ඉතිරිය

පසළොස් චරණ ධර්මවල පළමුව එන ශීල සම්පන්න භාවය පසුගිය ලිපියෙන් විස්තර කර දෙන ලදී.

2. ඉන්ද්‍රිය සංවරය

දෙවැනි චරණ ධර්මය වන්නේ ඉන්ද්‍රිය සංවරය යි. එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන සය වැදෑරුම් ඉන්ද්‍රියයන් සංවර කර ගැනීමයි. මේ ඇස ආදි ඉන්ද්‍රියයන්ගෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන අරමුණු ගනී. ඇස නමැති ඉන්ද්‍රියයෙන් රූප නමැති අරමුණ සිතට ඇතුළත් කර ගනී. මනා සිහි නුවණින් තොරව ඇස නමැති ඉන්ද්‍රිය අසංවරව පරිහරණය කරන පුද්ගලයා ඇස නමැති දොරටුවෙන් කැමති කැමති ලෙස රූපාරම්මණයන් ගනී. ඒ හේතුවෙන් ඔහුගේ චිත්තසන්තානය තුළ රාග, ද්වේෂාදි අකුශල ධර්මයන් ඇති වේ.

ඉන්ද්‍රිය සංවරයෙන් යුතු පුද්ගලයා සිහිය නමැති කවුළු පියන්පතින් ඇස නමැති ඉන්ද්‍රිය වසාගෙන එල්බෙන රූපාරම්මණයන් සිහි නුවණින් කල්පනා කොට ඇතුළුට වැද්දගනී. ඒ පුද්ගලයා ඇසට ලක්වන රූපාරම්මණයන්ගේ ස්ත්‍රී, පුරුෂාදි නිමිති හෝ ශුභාදි වශයෙන් හෝ කෙලෙස් ඇති වීමට හේතු වන නිමිති නොගනී. (න නිමිත්තග්ගාහී හොති). එසේ ම දකින රූපයේ අත්, පා, සිනහ, කටහඬ, බැල්ම යනාදි වශයෙන් අනුව්‍යඤ්ජන ද නොගනී. (නානුබ්‍යඤ්ජනග්ගාහී හොති).

සෑගිරියේ වැසි මහාතිස්ස තෙරුන් වහන්සේ මෙසේ ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව ම කටයුතු කර උතුම් අර්හත්වයට පත් වූ බව විශුද්ධිමාර්ගයේ සඳහන් වේ. උන්වහන්සේ අට්ඨික භාවනාව පුරුදු පුහුණු කර තිබූ අතර නිරන්තරයෙන් සිහිනුවණින් යුතුව යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළහ. දිනක් සෑගිරියේ (මිහින්තලේ) සිට අනුරාධපුරය දෙසට පිඬුසිඟා වඩින අතරමඟ දී කාන්තාවක් මුණ ගැසිණි. ඇය සිය සැමියා සමඟ ඩබර කරගෙන නිවසෙන් පිටව යන අතර මේ තෙරුන් වහන්සේ දැක පොළඹවා ගැනීමට සිතා සිනාසුනාය. රූපයේ නිමිති හෝ අනුව්‍යඤ්ජන නොගන්නා තෙරුන් වහන්සේ ඇගේ දසන් පෙළ දකිත් ම පුරුදු පුහුණු කළ අට්ඨික භාවනාව නිසා ම ඇය පෙනුණේ ඇට සැකිල්ලක් ලෙස ය. මෙය අට්ඨික සංඥාව මැනවින් පුරුදු පුහුණු කළ විට ලැබෙන තත්වයකි. වර්තමානයේ සමහර කෙනෙක් මෙවැනි දේ විශ්වාස නොකරති. ඒ බෞද්ධ භාවනාව පිළිබඳ නොදන්නා නිසා ම වේ. වර්තමානයේ ද මෙවන් අත්දැකීම් ඇති අය අපට මුණ ගැසී ඇත. එහෙයින් සසර දුකින් අත මිදීමට කැමැත්තේ බෞද්ධ භාවනාව පිළිබඳ ශ්‍රද්ධාව දියුණු කරගනිත්වා. මහාතිස්ස තෙරුන් වහන්සේ ඒ මොහොතේ ම ඒ තමන් දුටු ආරමම්ණය අනුව විදසුන් වඩා අර්හත්වයට පත් වූහ. අනතුරුව ඉදිරියට වැඩම කිරීමේ දී ඒ ස්ත්‍රියගේ සැමියා මුණ ගැසී කිසියම් කාන්තාවක් හමු වූයේ දැයි ඇසූ විට තෙරුන් වහන්සේ පිළිතුරු දුන්නේ ස්ත්‍රියක් ද, පුරුෂයෙක් දැයි නොදන්නා බවත් ඇට සැකිල්ලක් මුණ ගැසුණු බවත් ය.

ඒ මහාතිස්ස තෙරුන් වහන්සේ තම ඇසට අරමුණු වූ රූපයේ ස්ත්‍රී, පුරුෂාදි නිමිති හෝ අත්, පා, සිනහ ආදි අනුව්‍යඤ්ජන හෝ නොගත් බැවින් ඒ මොහොතේ ම භාවනාව මස්තකප්‍රාප්ත කරගත හැකි විය.

අතීතයේ කරඬුලෙන වැඩ සිටි චිත්තගුත්ත තෙරුන් වහන්සේ ද එසේ ම ය. උන්වහන්සේට රජු වන්දනා කරන විට ද ‘සුවපත් වේවා මහරජ’ යැයි සෙත් පැතූ අතර දේවිය වන්දනා කරන විට ද එසේ ම සෙත් පැතූහ. ඊට හේතුව විමසා සිටි විට කියා සිටියේ වන්දනා කරන කෙනා රජු ද, දේවිය ද යැයි විශේෂයක් තමන් වහන්සේ නො සලකන බවයි. ඒ උන්වහන්සේගේ දියුණු ඉන්ද්‍රිය සංවරය නිසා ම වේ. සත් දිනක් රජ වාසලේ විසූ උන්වහන්සේ යළි කරඬුලෙණට වැඩම කර රාත්‍රී භාගයේ සක්මනට නැඟි කල්හි එදින කමටහන වඩාත් ප්‍රකට වන්නට විය. උන්වහන්සේ එදින තමන් වහන්සේගේ කමටහන වඩාත් හොඳින් ප්‍රකට බව දැන රාත්‍රී මැදියමට අනතුරුව ම සව් කෙලෙස් නසා උතුම් අර්හත්වය සාක්‍ෂාත් කළහ.

ඉන්ද්‍රිය සංවරයක් නොමැති තැනැත්තාගේ ඇසට රූපයක් එළඹ සිටි විට එය නිමිති, අනුව්‍යඤ්ජන ගැනීමෙන් ලස්සන රූපයක් ය, කැත රූපයක් ය යනාදි වශයෙන් සිත් පහළ කර ගනී. ලස්සනට මල් පිපී ඇති මල් ගසක් දකින පුද්ගලයා ඒ ලස්සන මල් ගස අරමුණු කරගෙන ලෝභ සිත් උපදවාගනී. නැතහොත් ඊර්ෂ්‍යා කිරීම් වශයෙන් ද්වේශ සිත් පහළ කර ගනී. පුරාණයේ නගරයට පොදු නගරද්වාරයක් තිබූ අතර එය විවරව ඇති විට ඇතුළු නුවර අනාරක්‍ෂිත වෙයි. ඇතුළු නුවර නිවෙස් දොරගුළු ලා තිබුණ ද අනාරක්‍ෂිත වෙයි. නගරද්වාරය විවර කර ඇති බැවින් සොරුන්ට ඇතුළු වී ගෙවල් බිඳ බඩු භාණ්ඩ පැහැර ගැනීමට හැකි බැවිනි. මෙසේ ඇස ආදි ඉන්ද්‍රියයන් සංවර කර නොගැනීමෙන් ඇසට අරමුණු වන රූපාදි ආරම්මණයන් නිසා අකුශල සිත් පරම්පරාවන් ඇති කර ගනී.

එහෙත් යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ඉන්ද්‍රිය සංවර කර ගත් පුද්ගලයා මල්ගසක් දැක එය ත්‍රිලක්‍ෂණ විදර්ශනාවට යොමු කරගනී. නැතහොත් මේ මල් බුදුරජාණන් වහන්සේට පූජා වේවා යැයි කුශල සිත් උපදවා ගනී. නගරයේ පොදු ද්වාරය වසා දැමූ විට ඇතුළු නුවර ගෙවල් දොරවල් වසා නොදැමුව ද ආරක්‍ෂිත වේ. සොරුන්ට ඇතුළු නො විය හැකි බැවිනි. මෙසේ ඉන්ද්‍රිය සංවරයෙන් යුත් තැනැත්තා තම ඇස ආදි ඉන්ද්‍රියයන්ට අරමුණු වන රූපාදි අරමුණු වල දී සිහියෙන් යුක්තව අකුශලය වළක්වාගෙන කුශලයට සිත යොමු කර ගනී.

භාග්‍යවතුන් වහන්සේට උසස් සිහියක් ඇත්තේය. උන්වහන්සේගේ සියලු කාය, වාක්, මනෝ කර්මයන් සිහි නුවණින් යුතුව ම සිදු කරන සේක. ‘සබ්බං කායකම්මං ඤාණපුබ්බංගමං ඤාණානුපරිවත්තං … සබ්බං වචීකම්මං … සබ්බං මනොකම්මං ඤාණපුබ්බංගමං ඤාණානුපරිවත්තං’ යැයි පැවසෙන්නේ එබැවිනි. බුදුරජාණන් වහන්සේ කිසිදු කාය වාක් මනෝ කර්මයක් සිහි නුවණින් තොරව නො සිදුකරන්නේ ම ය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ උසස් ඉන්ද්‍රිය සංවරය නමැති චරණ ධර්මයෙන් යුතු වන සේක.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ උසස් ඉන්ද්‍රිය සංවරයකින් සමන්වාගත බැවින් ‘ඉන්ද්‍රිය සංවරය නම් චරණ ධර්මයෙන් සමන්විත වන සේක’. එහෙයින් ‘විජ්ජාචරණ සම්පන්න නම් වන සේක’ යැයි ‘විජ්ජාචරණ සම්පන්න’ ගුණය වැඩිය යුතු වේ.

මතු සම්බන්ධයි.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 40. බුද්ධානුස්සති භාවනාව – 10 කොටස