බුදුරජාණන් වහන්සේ හඳුනාගත යුත්තේ බාහිර ප්‍රතිරූපයෙන් නොව ගුණ වශයෙනි. නිවන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයා කුමන භාවනාවක් සිදු කළේ නමුදු පළමුව ශ්‍රද්ධාව දියුණු වීම අත්‍යවශ්‍ය වේ. තථාගතයන් වහන්සේගේ ගුණ නිසි පරිදි හඳුනාගෙන කෙටි වේලාවක් හෝ බුදුගුණ වඩන්නේ නම් ශ්‍රද්ධාදි ගුණ දියුණු කරගැනීමට එය උපකාරයක් වේ. කෙටියෙන් බුදුගුණ භාවනාව සිදු කර අනතුරුව විස්තර වශයෙන් බුද්ධානුස්මෘති භාවනාව පුරුදු පුහුණු කිරීම පිණිස නව අරහාදි බුදුගුණයන් පිළිබඳ කෙටි විස්තරයක් මෙසේ ඉදිරිපත් කරනු ලැබේ.

විජ්ජාචරණ සම්පන්න ගුණය – ඉතිරිය

පසළොස් චරණ ධර්මයන් අතරින් ශීල සම්පන්න භාවය, ඉන්ද්‍රිය සංවරය, භෝජනයේ මාත්‍රඥතාවය හා ජාගරියානුයෝගය පිළිබඳව පසුගිය ලිපිවලින් පැහැදිලි කර දෙන ලදී.

සේඛ සූත්‍රයේ දී ආනන්ද මාහිමියන් වහන්සේ විසින් ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, බහුශ්‍රැතභාවය, වීර්යය, ස්මෘතිය, ප්‍රඥාව යන මේ ධර්මයන් හඳුන්වා දී ඇත්තේ සප්ත සද්ධර්මයන් වශයෙනි (සත්තහි සද්ධම්මෙහි සමන්නාගතො). අංගුත්තර සත්තක නිපාතයේ බුදුරජාණන් වහන්සේ විසිනු දු මෙම ධර්ම සත සප්ත සද්ධර්මයන් ලෙස හඳුන්වා ඇත. මෙම ශ්‍රද්ධාදි ධර්ම සත ද චරණධර්ම සතකි.

5. ශ්‍රද්ධාව

බුදුරජාණන් වහන්සේ අරහං ආදි ගුණයන්ගෙන් සමන්වාගත බව, ධර්මරත්නය ස්වාක්ඛාතාදි බව, සංඝරත්නය සුපටිපන්නාදි බව වශයෙන් ඇති ඇදහීම ශ්‍රද්ධාවයි. නිර්වාණ මාර්ගයේ හික්මීම පිණිස ශ්‍රද්ධාව නමැති ධර්මතාවය තිබිය යුතු ම වේ. තථාගතයන් වහන්සේ සර්වඥය යනාදි වශයෙන් ඇදහීමක් නොමැතිව උන්වහන්සේ විසින් දේශනා කරන ලද නිර්වාණ මාර්ගයේ හික්මීමක් ලැබිය නොහැකි වේ.

සුමඩ්ගලවිලාසිනී දීඝනිකායාර්ථකථාවේ දැක්වෙන අන්දමට ශ්‍රද්ධාව ආගමනසද්ධා, අධිගමසද්ධා, ඔකප්පනසද්ධා, පසාදසද්ධා යනුවෙන් සතරාකාර වේ. බුද්ධත්වයට පත්වන බෝසතාණන් වහන්සේලාගේ ශ්‍රද්ධාව අභිනීහාරයේ පටන් ම පැමිණි හෙයින් ආගමන ශ්‍රද්ධාව නම් වේ. ආර්ය ශ්‍රාවකයන්ගේ ශ්‍රද්ධාව ප්‍රතිවේධයෙන් අධිගත කරන ලද බැවින් අධිගම ශ්‍රද්ධාව නම් වේ. බුදුරජාණන් වහන්සේ ය, ධර්මරත්නය ය, සංඝරත්නය යැයි කී කල්හි නොසැලෙන බවින් විශ්වාස කිරීම ඔකප්පන ශ්‍රද්ධාව නම් වේ. බුදුරජාණන් වහන්සේ ය, ධර්මරත්නය ය, සංඝරත්නය යැයි කී කල්හි ඇති වන ප්‍රසාදුත්පත්තිය පසාද ශ්‍රද්ධාව නම් වේ.

ආර්යයන් වහන්සේලාගේ ශ්‍රද්ධාව මාර්ග ප්‍රතිලාභයෙන් ප්‍රත්‍යක්‍ෂ බැවින් ප්‍රත්‍යක්‍ෂ ශ්‍රද්ධාව නම් වේ. එය කිසිදු ලෙසකින් පහත වැටීමක් නොමැතිව පවතින බැවින් මතු මාර්ගඵලයන්ට පමුණුවාලයි. එහෙත් පෘථග්ජනයන්ගේ ශ්‍රද්ධාව එසේ නොවේ. බෝසතාණන් වහන්සේලාගේ ශ්‍රද්ධාව අභිනීහාරයේ පටන් අචලව පැමිණේ. එබැවින් තථාගතයන් වහන්සේ සෙසු පුද්ගලයන් අභිබවා සාරාසංඛෙය්‍ය කල්ප ලක්‍ෂයකට අධික කාලයක් පුරාවට පුරුදු කරන ලද ශ්‍රද්ධාව නමැති චරණ ධර්මයෙන් සමන්වාගත වන සේක.

6. හිරිය

කාය දුශචරිත, වචී දුශ්චරිත, මනෝ දුශ්චරිත යන ලාමක අකුශල ධර්මයන් පිළිකුල් කරන ස්වභාවය හිරි නම් වේ. නිර්වාණාවබෝධය පිණිස හික්මෙන පුද්ගලයා පව පිළිකුල් කරන ස්වභාවයෙන් යුතු විය යුතුය. බෝසතාණන් වහන්සේ සංසාරයේ නොයෙක් ආකාරයෙන් පව පිළිකුල් කර බෝ මැඩ දී බුද්ධත්වයට පත් වූ සේක. තථාගතයන් වහන්සේට මෙන් පාපය ගැන පිළිකුලක් අන් කිසිවෙකුට නැත. එබැවින් තථාගතයන් වහන්සේ මෙම හිරි නමැති චරණ ධර්මයෙන් සමන්වාගත වන සේක.

7. ඔත්තප්පය

පවට බිය වන ස්වභාවය ඔත්තප්පය නම් වේ. එනම් කාය දුශ්චරිත, වචී දුශ්චරිත, මනෝ දුශ්චරිතවලට බිය වීමයි. පව් කම් කිරීමෙන් මතු අත් විය හැකි අනිටු විපාක දැක එයට බියෙන් පවින් වැළකීමයි. බෝසතාණන් වහන්සේ අනේක සංසාරයන්හි පවට බිය වීම නමැති ඔත්තප්ප ගුණය පුරුදු පුහුණු කර බෝ මැඩ දී සර්වඥතාඥානයට පත් වූ සේක. තථාගතයන් වහන්සේට මෙන් පාපය ගැන බියක් අන් කිසිවෙකුට නැත. එබැවින් තථාගතයන් වහන්සේ ඔත්තප්ප නමැති චරණ ධර්මයෙන් සමන්වාගත වන සේක.

8. බහුශ්‍රැතභාවය

බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මුල, මැද, අග යහපත් වූ අර්ථව්‍යඤ්ජන සම්පන්න ධර්මය බොහෝ සෙයින් අසනලද බව, දරාගන්නාලද බව, වචනයෙන් පුරුදු කරනලද බව, මනසින් විමසා බලනලද බව, තමාගේ දැක්මෙන් ප්‍රතිවේධ කරනලද බව යන ආකාරයෙන් තේරුම් ගෙන පුරුදු පුහුණ කරන ලද්දේ බහුශ්‍රැත නම් වේ. බෝසතාණන් වහන්සේ නොයෙක් ලෙස දීර්ඝ සංසාරයේ මෙම ධර්මය ඉගෙනගෙන පුරුදු පුහුණු කරන ලද්දේ බෝ මැඩ දී තමන් වහන්සේ විසින් ම අවබෝධ කරන ලද්දේය. ධර්මස්වාමී වූ තථාගතයන් වහන්සේගේ ධර්මඥානය ගැන අමුතුවෙන් කිවයුත්තක් නැත. එහෙයින් මෙම බහුශ්‍රැතභාවය නමැති චරණ ධර්මයෙන් සමන්වාගත වන සේක.

9. වීර්යය

අකුශල ධර්මයන් ප්‍රහාණය කිරීමෙහි, කුශල ධර්මයන් ඉපදවීමෙහි නොපසුබස්නා බව, ඉදිරියට යන බව වීර්යය නම් වේ. බෝසතාණන් වහන්සේ අභිනීහාරයේ පටන් සසරේ බුද්ධත්වය වෙනුවෙන් නොපසුබස්නා වීර්යයෙන් යුතුව වීර්යය පාරමිතාවක් ලෙස සම්පාදනය කළ සේක. බුද්ධත්වයෙන් පසු අකුශලය ප්‍රහාණයට, කුශලය ඉපදවීමට උත්සාහයක් නැති නමුදු ලෝක සත්වයාගේ යහපත පිණිස සැම කල්හි උත්සාහවත් වන සේක. එබැවින් තථාගතයන් වහන්සේ මෙම වීර්යය නමැති චරණ ධර්මයෙන් සමන්වාගත වන සේක.

10. ස්මෘතිය

අකුශල පක්‍ෂයෙහි සිත පවතින්නට නොදී කුශලය මතු කර දෙන්නා වූ, බොහෝ කල් ගත වූ කරන කියන ලද කටයුතු පවා සිතට නඟා දෙන්නා වූ ප්‍රඥා සම්ප්‍රයුක්ත ස්මෘතිය චරණ ධර්මයක් වේ. තථාගතයන් වහන්සේ සෙසු සියලු දෙනා අභිබවා ගිය ස්මෘතියකින් යුක්ත වන බැවින් මෙම ස්මෘතිය නමැති චරණ ධර්මයෙන් යුතු වන සේක.

11. ප්‍රඥාව

මෙහි අදහස් කරන ලද ප්‍රඥාව යනු තදඩ්ග වශයෙන් කෙලෙස් ප්‍රහාණය කරන විදර්ශනා ප්‍රඥාව ද සමුච්ඡේද වශයෙන් කෙලෙස් ප්‍රහාණය කරන මාර්ග ප්‍රඥාව ද වේ. සංස්කාර ධර්මයන්ගේ ඉපදීම් බිඳීම් දෙක දැකීමට සමත් වන්නා වූ විශ්කම්භන වශයෙන් ද සමුච්ඡේද වශයෙන් ද කෙලෙසුන් දුරින් ම දුරු කිරීමට සමර්ථ වූ සුපරිශුද්ධ වූ විදර්ශනා ප්‍රඥාව සහ මාර්ග ප්‍රඥාවයි. තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව පිළිබඳව අමුතුවෙන් කිව යුත්තක් නැත. ලෝකයේ අන් සෑම පුද්ගලයෙක් ම අභිබවනය කරන අසමසම ප්‍රඥාවකින් තථාගතයන් වහන්සේ සමන්වාගත වන සේක. එබැවින් උන්වහන්සේ ප්‍රඥාව නමැති චරණ ධර්මයෙන් යුක්ත වන සේක.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, බහුශ්‍රැතභාවය, වීර්යය, ස්මෘතිය, ප්‍රඥාව යන සප්ත සද්ධර්මයන්ගෙන් සමන්වාගත බැවින් ‘විජ්ජාචරණ සම්පන්න නම් වන සේක’ යැයි ‘විජ්ජාචරණ සම්පන්න’ ගුණය වැඩිය යුතු වේ.

මතු සම්බන්ධයි.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 42. බුද්ධානුස්සති භාවනාව – 12 කොටස