බුදුරජාණන් වහන්සේ හඳුනාගත යුත්තේ බාහිර ප්‍රතිරූපයෙන් නොව ගුණ වශයෙනි. නිවන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයා කුමන භාවනාවක් සිදු කළේ නමුදු පළමුව ශ්‍රද්ධාව දියුණු වීම පිණිස තථාගතයන් වහන්සේගේ ගුණ නිසි පරිදි හඳුනාගෙන කෙටි වේලාවක් හෝ බුදුගුණ වඩන්නේ නම් භාවනාවට මහෝපකාරී වේ. කෙටියෙන් බුදුගුණ භාවනාව සිදු කර අනතුරුව විස්තර වශයෙන් බුද්ධානුස්මෘති භාවනාව පුරුදු පුහුණු කිරීම පිණිස නව අරහාදි බුදුගුණයන් පිළිබඳ කෙටි විස්තරයක් මෙසේ ඉදිරිපත් කරනු ලැබේ.

විජ්ජාචරණසම්පන්න ගුණය – ඉතිරිය

පසළොස් චරණධර්මයන් අතරින් පළමු චරණධර්ම එකොළොස පිළිබඳව පසුගිය ලිපිවලින් පැහැදිලි කර දෙන ලදී. සෙසු චරණධර්ම සතර වන්නේ ප්‍රථමධ්‍යානය, ද්විතීයධ්‍යානය, තෘතීයධ්‍යානය සහ චතුර්ථධ්‍යානය යන ධ්‍යාන සමාපත්තීන් සතර වේ. රූපාවචරධ්‍යාන සතර සහ අරූපාවචරසමාපත්ති සතර යන අෂ්ටසමාපත්තීහු ම චරණධර්මයන්ට අයත් වේ. එහෙත් මෙහි ප්‍රථමධ්‍යානාදි සතර පමණක් දක්වා ඇත්තේ අරූපාවචරධ්‍යාන ද චතුර්ථධ්‍යානයට ම අයත් වන බැවිනි.

අනඳ මාහිමියන් වහන්සේ සේඛ සූත්‍රයේ දී මෙම චරණ ධර්ම සතර දේශනා කරන ලද්දේ ‘චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී’ යනුවෙනි. එනම් ‘කාමාවචර සිත ඉක්මවා සිටි ශ්‍රේෂ්ඨ චිත්තය ඇසුරු කළා වූ මේ ජීවිතයේ ම සමවදින සමවදින ක්‍ෂණයෙහි සුව ප්‍රතිලාභයට හේතු වූ ප්‍රථමධ්‍යානාදි සතරක් වූ ධ්‍යාන සමාපත්තීන් කැමති පරිදි ලබනුයේ, නිදුකින් ලබනුයේ, විපුලව ලබනුයේ වෙයි’ යන්නයි.

ඇතැම් යෝගාවචරයෙක් ප්‍රගුණ බව නිසාවෙන් කැමති කැමති ක්‍ෂණයේ සමාධියට සමවැදීමට සමත් වෙයි. එහෙත් සමාධියට ප්‍රතිපාක්‍ෂික ධර්මයන් විෂ්කම්භනය කිරීමේ දී වෙහෙසට පත් වෙයි. ඒ නිසා ම තමන් නො කැමැත්තෙන් නමුදු වහා සමාධියෙන් නැගී සිටීම සිදු වේ. කාලයක් පිරිසිඳ ඒ කාලය අවසන් වන තෙක් සමාපත්තියට සමවැදී සිටීමට නොහැකි වෙයි. මොහුගේ සමාධියට සමවැදීම ‘කිච්ඡලාභී, කසිරලාභී’ වේ. එහෙත් තවත් යෝගාවචරයෙක් කැමති කැමති ක්‍ෂණයේ සමාධියට සමවැදීමට සමත් වන අතර නො වෙහෙසී ම ප්‍රතිපාක්‍ෂික ධර්මයන් විෂ්කම්භනය කරයි. ඒ නිසා ම කැමති කාලයක් පිරිසිඳ සමාපත්තියට සමවැදී සිටීමට සමත් වෙයි. කැමති කාලයක් අවසානයේ නැඟී සිටීමට සමත් වෙයි. මේ තෙමේ ‘අකිච්ඡලාභී, අකසිරලාභී’ නම් වේ.

ප්‍රථමධ්‍යානය

‘විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි, සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති’ යනුවෙන් ප්‍රථමධ්‍යානය විස්තර වේ. එනම් කාමයන්ගෙන් හා අකුසල ධර්මන්ගෙන් වෙන් වූ විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුඛයෙන් යුත් ප්‍රථමධ්‍යානයට සමවැදී වාසය කරමි යන අර්ථයි. යම් භික්‍ෂුවක් කාමයන්ගෙන් වෙන්ව, කම්සැප අතහැර කාය විවේකය සම්පාදනය කරගෙන ආනාපානසති, කසිණ ආදි කිසියම් අරමුණක් ගෙන ක්ලේශකාමයන්ගෙන් ද වෙන්ව චිත්ත විවේකය ද සම්පාදනය කරගැනීමෙන් භාවනා වඩා විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා යනුවෙන් අංග පසකින් සමන්වාගත ප්‍රථමධ්‍යානය උපදවාගනී. ඒ ප්‍රථමධ්‍යාන සමාපත්තිය කැමති කැමති අවස්ථාවක සමවැදිය හැකි අන්දමින් නිදුකින් ලබනුයේ, විපුලව ලබනුයේ චරණ ධර්මයක් වේ.

ද්විතීයධ්‍යානය

ප්‍රමධ්‍යානය උපදවන ලද තැනැත්තා ඒ ප්‍රථමධ්‍යාන සමාධිය නමැති චිත්ත විවේකය පදනම් කරගෙන විතර්ක, විචාර අංගයන් සන්සිඳුවා ඒ චිත්තවිවේකයෙන් හටගත් ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා යන අංගයන්ගෙන් සමන්වාගත ද්විතීයධ්‍යානය උපදවාගනී. ඒ ද්විතීයධ්‍යාන සමාපත්තිය ද කැමති කැමති අවස්ථාවක සමවැදිය හැකි අන්දමින් නිදුකින් ලබනුයේ, විපුලව ලබනුයේ චරණ ධර්මයක් වේ.

තෘතීයධ්‍යානය

සංසිඳුණු විතර්ක විචාර ඇති යෝගාවචරයා ද්විතීයධ්‍යානයේ ඇති ප්‍රීතිය ද සමතික්‍රමණය කරමින් තත්‍රමධ්‍යස්ථතාවය නමැති ධ්‍යාන උපේක්‍ෂාවෙන් යුතුව වාසය කරමින් සුඛ, ඒකාග්‍රතා අංගවලින් සමන්වාගත තෘතීයධ්‍යානය උපදවාගනී. ඒ තෘතීයධ්‍යාන සමාපත්තිය ද කැමති කැමති අවස්ථාවක සමවැදිය හැකි අන්දමින් නිදුකින් ලබනුයේ, විපුලව ලබනුයේ චරණ ධර්මයක් වේ.

චතුර්ථධ්‍යානය

කායික සුඛ-දුක්ඛයන් ප්‍රහාණය කරමින් චෙතසික සෝමනස්ස-දෝමනස්සයන් ද ප්‍රහාණය කරමින් උපේක්‍ෂා වේදනාවෙන් සමන්වාගත වූ උපේක්‍ෂාවෙන් ජනිත ස්මෘති නමැති පාරිශුද්ධියෙන් යුතු චතුර්ථධ්‍යානය උපදවාගනී. ඒ චතුර්ථධ්‍යාන සමාපත්තිය ද කැමති කැමති අවස්ථාවක සමවැදිය හැකි අන්දමින් නිදුකින් ලබනුයේ, විපුලව ලබනුයේ චරණ ධර්මයක් වේ.

මෙසේ රූපාවචර ධ්‍යාන චතුෂ්කය ම උපදවාගන්නා යොගියා කසිණ අරමුණක් පදනම් කරගෙන අරූපධ්‍යාන සතරක් උපදවයි. පඨවි කසිණාදියකින් චතුර්ථධ්‍යානයට සමවැදී ඉන් නැඟී සිට කසිණ නිමිත්ත සමස්ථ අවකාශය පුරා පතුරුවනු ලැබේ. අනතුරුව ඒ පතුරවනලද කසිණ නිමිත්ත උගුළුවා ඒ කසිණය උගුළුවන ලද ආකාශය අනන්ත බව ‘අනන්තො ආකාසො’ යනුවෙන් මෙනෙහි කරමින් ආකාසානඤ්චායතනය උපදවනු ලැබේ. අනතුරුව ඒ අනන්ත ආකාශය අරමුණු කළ සිතේ අනන්ත බව ‘විඥානං අනන්තං’ යනුවෙන් මෙනෙහි කර විඤ්ඤාණඤ්චායතනය උපදවනු ලැබේ. ඉන් අනතුරුව පූර්වයේ පැවති ආකාසානඤ්චායතන සිත නැති වීම පිළිබඳව ‘නත්‍ථි කිඤ්චි’ යනුවෙන් මෙනෙහි කරමින් ආකිඤ්චඤ්ඤායතනය උපදවනු ලැබේ. අවසානයට ඒ ආකිඤ්චඤ්ඤායතන සිතේ ශාන්ත භාවය ‘සන්තමෙතං පණීතමෙතං’ යනුවෙන් මෙනෙහි කරමින් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවනු ලැබේ. මෙසේ උපදවනු ලබන අරූප සමාපත්ති සතර ම කැමති කැමති අවස්ථාවක සමවැදිය හැකි අන්දමින් නිදුකින් ලබනුයේ, විපුලව ලබනුයේ චරණ ධර්මයක් වේ.

මේ ප්‍රථමධ්‍යානාදි චරණධර්මයන් බුදුරජාණන් වහන්සේට පමණක් ඇති ගුණයන් නොවේ. එහෙත් තථාගතයන් වහන්සේගේ සමාධි ශක්තියට සම කළ හැකි සමාධියක් අන් කිසිවකුටත් නැත. සෙසු සියලුදෙනා අභිබවා ගිය සුපිරිසිදු සමාධියක් තථාගතයන් වහන්සේට ඇත. තථාගතයන් වහන්සේට තරම් ප්‍රගුණ බවකින් අන් කිසිවෙකුටත් ප්‍රථමධ්‍යානාදියට සමවැදිය නොහැකි වේ. එබැවින් ඒ තථාගතයන් වහන්සේ සෙසු පුද්ගලයන් අභිබවන සුවිසද බවකින් ‘චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී’ යනුවෙන් සඳහන් කරන ලද සතර ධ්‍යාන නමැති චරණ ධර්මයන්ගෙන් සමන්වාගත වන සේක.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ ප්‍රථමධ්‍යානාදි සතර චරණධර්මයන්ගෙන් සමන්වාගත බැවින් ‘විජ්ජාචරණසම්පන්න නම් වන සේක’ යැයි ‘විජ්ජාචරණසම්පන්න’ ගුණය වැඩිය යුතු වේ.

ත්‍රිවිද්‍යා, අෂ්ටවිද්‍යාසම්පත්තියෙන් තථාගතයන් වහන්සේගේ සර්වඥත්වය සපිරෙන්නේය. එසේ ම පසළොසක් වූ චරණධර්මසම්පත්තියෙන් මහාකාරුණිකත්වය සපිරෙන්නේය. උන්වහන්සේ සර්වඥතාඥානයෙන් සත්ත්වයන්ගේ අර්ථානර්ථයන් දැන වදාරා මහාකරුණාවෙන් අනර්ථයන් දුරු කොට සත්ත්වයන් අර්ථයෙහි ම යොදවන සේක. තථාගතයන් වහන්සේ විජ්ජාචරණසම්පන්න බැවින් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ද සුපටිපන්න වන්නෝය.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ ත්‍රිවිද්‍යා, අෂ්ටවිද්‍යා, පසළොස් චරණධර්මයන්ගෙන් සමන්වාගත වන බැවින් ‘විජ්ජාචරණසම්පන්න නම් වන සේක’ යැයි ‘විජ්ජාචරණසම්පන්න’ ගුණය වැඩිය යුතු වේ.

මතු සම්බන්ධයි.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 43. බුද්ධානුස්සති භාවනාව – 13 කොටස