බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ ගමන් කිරීමේ දී ඒ අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්ත යැයි දැන හඳුනාගෙන ශ්‍රද්ධාව උපදවා ගැනීම ඉතා වැදගත් වේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය භාවනා වශයෙන් වැඩීම බුද්ධානුස්මෘතිය යි. නව අරහාදි ගුණ එකිනෙක විස්තර වශයෙන් භාවනාව වඩන තැනැත්තාට උපකාරී වීම පිණිස ඉදිරිපත් කරන බුදුගුණ විස්තරයේ ‘සුගත’ ගුණය පිළිබඳ මෙම ලිපියෙන් දැක්වේ.

සුගත ගුණ භාවනාව

අප සරණගිය ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ ‘සුගත’ නම් වන සේක. ඒ බුදුරජාණන් වහන්සේ ‘සුගත’ යැයි පවසන්නේ අර්ථ සතරකිනි.

1. ශෝභන ගමන් ඇති හෙයින් ‘සුගත’ නම් වන සේක. (සොභන ගමනත්තා)

2. සොඳුරු වූ නිර්වාණයට වැඩමකළ බැවින් ‘සුගත’ නම් වන සේක. (සුන්දරං ඨානං ගතත්තා)


3. නිසි පිළිවෙත් පිරීමෙන් නිර්වාණයට පැමිණි හෙයින් ‘සුගත’ නම් වන සේක. (සම්මා ගතත්තා)


4. මනා වචන කියන හෙයින් ‘සුගත’ නම් වන සේක. (සම්මා ගදත්තා)

ශෝභන ගමන් ඇති සේක

මෙහි ගමන යනුවෙන් අදහස් කරන්ගේ ආර්ය මාර්ගය වේ. එනම් භාග්‍යවතුන් වහන්සේ විසින් නිර්වාණයට පැමිණෙන ලද මාර්ගය යි. ඒ ආර්ය මාර්ගය නිවැරදි මාර්ගයක් බැවින් එහි බාධාවක් නැත. ගැටීමක් නැත. මුළා වීමක් නැත. එහි ගමන් ගන්නා තැනැත්තා උතුම් නිර්වාණය කරා පැමිණෙන බැවින් සියලු අනර්ථයන් දුරු කරමින් එසේ ම ලෝකෝත්තර සම්පත්තීන් උදාපත් කරගනිමින් ගමන් කරයි. එබැවින් ඒ ආර්ය මාර්ගය සොඳුරු වේ.

භාග්‍යවතුන් වහන්සේ සෙසු ශාස්තෘන් වහන්සේලා මෙන් වැරදි මාර්ගයේ ගමන් කළේ නොවෙයි. තමන් වැරදි මාර්ගයක ගමන් කරමින් වැරදි ප්‍රතිපදාවක් පූරණය කරමින් තමන් නොපැමිණි නිවණක් අන් අයට පෙන්වා දුන්නේ නොවේ. තමන් නිවැරදි මාර්ගයේ ගමන් කරමින් සෙසු අයට ද ඒ නිවැරදි මාර්ගය කියා දුන් සේක.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ නිරවද්‍ය වූ ආර්ය මාර්ගයෙන් සියලු අනර්ථයන් දුරු කරමින් සියලු ලෝකෝත්තර සම්පත් පුරුදු කරමින් උතුම් වූ නිර්වාණයට වැඩි හෙයින් ‘සුගත’ නම් වන සේක.

සොඳුරු වූ නිර්වාණයට වැඩි සේක

නිර්වාණය සොඳුරු ස්ථානයක් වේ. එහෙයින් එය අමෘත නිර්වාණය යනුවෙන් ද හැඳින්වේ. ‘මත’ යනු මරණයට පත් වූ බවයි. ‘අමත’ යනු නොමැරෙන බවයි. නිර්වාණය මරණයෙන් තොර බැවින් ‘අමත’ යැයි හැඳින්වේ. මරණය පමණක් නොව සියලු දුක්ඛස්කන්ධයන්ගෙන් තොර ස්ථානයක් බැවින් නිර්වාණය සොඳුරු ස්ථානයක් වේ.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් අසුන්දර වූ දුක්ඛ සංස්කාරයන්ගේ පැවතීමක් නොමැති වූ අත්‍යන්තයෙන් සැප ඇති හෙයින් ඒකාන්තයෙන් සුන්දර නම් වූ නිවනට පැමිණි හෙයින් ‘සුගත’ නම් වන සේක.

මනා පිළිවෙතින් නිවනට වැඩි සේක

තථාගතයන් වහන්සේ විසින් සෙසු ශාස්තෘන් මෙන් වැරදි මාර්ගයේ ගමන් කළේ නොවේ. නිවනට පැමිණීම පිණිස ඇති නිවැරදි ම මාර්ගයේ නිවැරදි ම පිළිවෙත් පුරමින් වැඩි සේක. සෙසු ශාස්තෘන් මෙන් කෙලෙස් අප්‍රහීණව තිබිය දී කෙලෙස් ප්‍රහීණ යැයි නොම වදාළ සේක. සෝතාපත්ති මාර්ගාදි ඒ ඒ මාර්ගයෙන් යම් යම් කෙලෙස් ප්‍රහීණ කරන ලද්දේ ද ඒ කෙලෙස් කරා නැවත නොපැමිණෙමින් අර්හත්වය දක්වා ම වැඩි සේක. මෙසේ ඒ ඒ ප්‍රහීණ කෙලෙසුන් යළි නොම උපදවන්නා වූ මනා පිළිවෙතින් නිවන කරා වැඩි හෙයින් ‘සුගත’ නම් වන සේක.

තව ද ඒ තථාගතයන් වහන්සේ දීපඩ්කර පාද මූලයේ නියත විවරණ ලැබීමේ පටන් බෝ මැඩ දක්වා සමතිංස පාරමී පුරමින් මනා පිළිවෙතින්, ශාස්වත-උච්ඡේද යන දෘෂ්ටීන්ට නොපැමිණෙමින්, කාමසුඛල්ලිකානුයෝගය-අත්තකිලමතානුයෝග යන මේ අන්තද්වයට නොපැමිණෙමින් නිර්වාණයට වැඩි සේක. මෙසේ මධ්‍යම ප්‍රතිපදාව නමැති මනා පිළිවෙතින් නිවන කරා වැඩි හෙයින් ද ‘සුගත’ නම් වන සේක.
මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ නිසි පිළිවෙත් පිරුමෙන් උතුම් නිර්වාණයට වැඩි හෙයින් ‘සුගත’ නම් වන සේක.

මනා වචන කියන සේක

ඒ භාග්‍යවතුන් වහන්සේ සුදුසු තැන ම සුදුසු වචනයක් ම වදාරණ සේක. මජ්ක්‍ධිමනිකායේ අභයරාජකුමාර සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සුදුසු වචනයක් ම සුදුසු ස්ථානයේ ම වදාරණ බව මෙසේ වදාළ සේක.

“තථාගතයන් වහන්සේ අර්ථයක් නැත්තා වූ, අර්ථය අන් ලෙසකින් විද්‍යමාන වූ, මෙලොව පරලොව අනර්ථයෙන් යුක්ත වූ, යම් වචනයක් දනී ද, ඒ වචනය අන් අයට අප්‍රිය අමනාප වූයේ ද (සිල්වතෙකුට දුසිල්වතෙක් යැයි චෝදනා කිරීම වැනි) ඒ වචන තථාගතයන් වහන්සේ නො කියන සේක.

එසේ ම තථාගතයන් වහන්සේ අර්ථයක් ඇත්තා වූ, අර්ථය ඒ ආකාරයෙන් ම විද්‍යමාන වූ, මෙලොව පරලොව අනර්ථයෙන් යුක්ත වූ, යම් වචනයක් දනී ද, ඒ වචනය අන් අයට අප්‍රිය අමනාප වූයේ ද (දුසිල්වතෙකුට දුසිල්වතෙක් යැයි නොමනා ලෙස චෝදනා කිරීම වැනි) ඒ වචන තථාගතයන් වහන්සේ නො කියන සේක.

එසේ ම තථාගතයන් වහන්සේ අර්ථයක් ඇත්තා වූ, අර්ථය ඒ ආකාරයෙන් ම විද්‍යමාන වූ, මෙලොව පරලොව අර්ථයෙන් යුක්ත වූ, යම් වචනයක් දනී ද, ඒ වචනය අන් අයට අප්‍රිය අමනාප වූයේ ද, (දෙව්දත් අපායගාමී වන්නේය යනාදි ලෙස කියන) ඒ වචන කීමට තථාගතයන් වහන්සේ සුදුසු කල් දනී.

එසේ ම තථාගතයන් වහන්සේ අර්ථයක් නැත්තා වූ, අර්ථය අන් ලෙසකින් විද්‍යමාන වූ, මෙලොව පරලොව අනර්ථයෙන් යුක්ත වූ, යම් වචනයක් දනී ද, ඒ වචනය අන් අයට ප්‍රිය මනාප වූයේ ද (වේදය පිළිගන්නා අයට ප්‍රාණඝාතාදියෙන් සුගතිගාමී විය හැකි යැයි කීම බඳු වූ) ඒ වචන තථාගතයන් වහන්සේ නො කියන සේක.

එසේ ම තථාගතයන් වහන්සේ අර්ථයක් ඇත්තා වූ, අර්ථය ඒ ආකාරයෙන් ම විද්‍යමාන වූ, එහෙත් මෙලොව පරලොව අනර්ථයෙන් යුක්ත වූ, යම් වචනයක් දනී ද, ඒ වචනය අන් අයට ප්‍රිය මනාප වූයේ ද (පිසුණාවාචා කීම වැනි) ඒ වචන තථාගතයන් වහන්සේ නො කියන සේක.

එසේ ම තථාගතයන් වහන්සේ අර්ථයක් ඇත්තා වූ, අර්ථය ඒ ආකාරයෙන් ම විද්‍යමාන වූ, මෙලොව පරලොව අර්ථයෙන් යුක්ත වූ, යම් වචනයක් දනී ද, ඒ වචනය අන් අයට අප්‍රිය අමනාප වූයේ ද, (සුදුසු ස්ථානයේ දාන ශීලාදි කථා කිරීම වැනි) ඒ වචන කීමට තථාගතයන් වහන්සේ සුදුසු කල් දනී.”

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ සර්වාකාරයෙන් වාග් දුශ්චරිතයන් දුරු කොට භූත වූ, තථ්‍ය වූ, මෙලොව පරලොව අර්ථ සහිත වූ දෙයක් ම මැනවින් කියන බැවින් ‘සුගත’ නම් වන සේක යැයි මෙසේ ‘සුගත’ ගුණය වැඩිය යුතු වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 44. බුද්ධානුස්සති භාවනාව – 14 කොටස