බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ ගමන් කිරීමේ දී ඒ අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්ත යැයි දැන හඳුනාගෙන ශ්‍රද්ධාව උපදවා ගැනීම ඉතා වැදගත් වේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය භාවනා වශයෙන් වැඩීම බුද්ධානුස්මෘතිය යි. නව අරහාදි ගුණ එකිනෙක විස්තර වශයෙන් භාවනාව වඩන තැනැත්තාට උපකාරී වීම පිණිස ඉදිරිපත් කරන බුදුගුණ විස්තරයේ ‘ලොකවිදු’ ගුණය පිළිබඳ මෙම ලිපියෙන් දැක්වේ.

ලොකවිදු ගුණ භාවනාව

තථාගත සම්මාසම්බුදුරජාණන් වහන්සේ ‘ලෝකවිදූ’ නම් වන සේක. ‘සබ්බථාපි විදිතලෝකත්තා පන ලෝකවිදූ’ යනුවෙන් ලෝකවිදූ ගුණය නිර්වචනය කෙරේ. එහි අදහස වන්නේ ‘සර්වප්‍රකාරයෙන් දන්නා ලද ලෝක ඇති හෙයින් බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ නම් වන බව’යි.

“ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකය, ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරොධ වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද සර්වප්‍රකාරයෙන් ම දන්නා සේක. එහෙයින් ‘ලෝකවිදූ’ නම් වන සේක.”

ලෝකය යැයි කී විට බොහෝ විට අපගේ සිහියට නැඟෙන්නේ අප ජීවත් වන පෘථිවි ලෝකය පමණක් වේ. එහෙත් ලෝකය යන්න ඊට වඩා පුළුල් අර්ථයක් ඇති දෙයකි. ඒ පිළිබඳ සාමාන්‍ය ජනයාට ඇත්තේ ඉතා අඩු අවබෝධයකි. සෑම සත්වයෙක් ම ලෝකයට අයත් වන අතර ලෝකයේ කොටසක් වේ. එහෙත් සත්වයෝ ලෝකය ගැන හෝ තමන් ගැන නොදනිති. බුදුරජාණන් වහන්සේ ඒ ලෝකය සියල්ලෙන් සියල්ල අවබෝධ කළ සේක. සියල්ල අවබෝධ කරගත් බැවින් බුදුරජාණන් වහන්සේට ‘සර්වඥ’ යැයි කියනු ලැබේ. ලෝකවිදූ ගුණයේ දී බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ දේ ලෙස දැක්විය හැක්කේ ද මේ සියලු ලෝකයට අයත් දේම වේ. එහෙත් ගුණ වශයෙන් බුදුරජාණන් වහන්සේව හඳුනාගැනීමේ දී ලෝකය පිළිබඳ අපට අවබෝධ කරගත නොහැකි දේ අවබෝධ කරගත් අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ ‘ලෝකවිදූ’ යැයි ද හැඳින්වේ.

බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ ගුණයේ දී උන්වහන්සේ අවබෝධ කරගත් ලෝකය යන්නෙන් ලෝක තුනක් අදහස් වේ. එනම්, සංස්කාර ලෝකය, සත්වලෝකය සහ අවකාශ ලෝකය වශයෙනි.

1. සංස්කාර ලෝකය : සත්ව වූ ද සත්ව නොවූ ද (ඉන්‍ද්‍රියබද්ධ වූ ද අනින්‍ද්‍රියබද්ධ වූ ද) සියල්ල සංස්කාර ලෝකය නම් වේ.

2. සත්වලෝකය : ඉන්‍ද්‍රියබද්ධ වූ සියලුම ස්කන්‍ධ සමූහය හෙවත් සියලුම සත්ව සමූහය සත්වලෝකය නම් වේ.

3. අවකාශලෝකය : සත්වයන් නොවූ සියලුම ගස්වැල්, මහපොළව ආදිය අවකාශ ලෝකය නම් වේ.

මේ අනුව ලෝකය යන්නට සියලූම සත්වයන් ද, සත්ව නොවූ සියලු දේ ද අයත් වේ. මෙයට නාමරූප දෙක, පඤ්චස්කන්‍ධය, සප්ත විඥානස්ථිති, අෂටලෝකධර්ම, නව සත්තාවාස, දොළොස් ආයතන, අටළොස් ධාතු යනාදි සෑම ආකාරයකින් ම දක්වනු ලබන සියල්ල අයත් වේ. මෙයට අයත් දේ මෙසේ දැක්විය හැකි වේ.

මේ එක් ලෝකධාතුවක හෙවත් එක් සක්වළක ඇතුළත් භූමි තිස් එකක් (31) සඳහන් වේ. එනම් සතර අපාය (4) ය, මනුෂ්‍යලෝකය (1) ය, දිව්‍යලෝක සය (6) ය, රූපාවචර බ්‍රහ්මලෝක දහසය (16) ය, අරූපාවචර බ්‍රහ්මලෝක සතර (4) ය යන මේ තිස්එක් තලය යි. මේ තිස්එක් තලය එක් ඉරකින් හා සඳකින් ආලෝකමත් වන බව ධර්මයේ සඳහන් වේ. එසේ එක් ඉරකින් හා සඳකින් ආලෝකමත් වන ප්‍රදේශය ලෝකධාතුවක් හෙවත් සක්වළක් ලෙස හැඳින්වේ. එබඳු සක්වළ දහසක් සහශ්‍රී ලෝකධාතුව නම් වේ. එහි හිරු දහසක්, සඳු දහසක්, මහමෙර දහසක් යනාදි ලෙස සියල්ල දහස් ගුණය බැගින් වේ. මෙය සහශ්‍රී චූළනිකා ලොකධාතුව ලෙස ද හැඳින්වේ. සහශ්‍රී චූළනිකා ලෝකධාතු දහසක් ද්විසහශ්‍රී මජ්ක්‍ධිමිකා ලෝකධාතුව ලෙස හැඳින්වේ. ඒ අනුව මෙහි සක්වළ දශලක්‍ෂයකි. එබඳු ද්විසහශ්‍රී මජ්ක්‍ධිමිකා ලෝකධාතු දහසක් තිසහශ්‍රී ලෝකධාතුව නම් වේ. මෙය මහාසහශ්‍රී ලෝකධාතුව නමින් ද හැඳින්වේ. මෙයට කෝටිලක්‍ෂයක් සක්වළ අයත් වේ.

අංගුත්තරනිකාය අට්ඨකථාව දක්වන අන්දමට ශ්‍රාවකයන්ට විෂය වන්නේ සහශ්‍රී ලෝකධාතුවයි. ද්විසහශ්‍රී මජ්ක්‍ධිමිකා ලෝකධාතුව තථාගතයන් වහන්සේලාගේ ජාතික්‍ෂේත්‍රය යි. එනම් බෝසතාණන් වහන්සේගේ ප්‍රතිසන්‍ධිය, උපත, අභිනිෂ්ක්‍රමණය, බුද්ධත්වය, ධර්මචක්‍ර පැවැත්වීම, ආයුසංස්කාර වොස්සජනය, පිරිනිවන් පෑම යන අවස්ථාවන්හි මෙපමණ ප්‍රදේශයක් කම්පා වේ. තිසහශ්‍රී ලෝකධාතුව තථාගතයන් වහන්සේලාගේ ආඥාක්‍ෂේත්‍රය යි. එපමණක් ප්‍රදේශය බුදුරජාණන් වහන්සේගේ අණ පවතී. ඒ නිසා ආටානාටිය සූත්‍රය, ඉසිගිලි සූත්‍රය, ධජග්ග සූත්‍රය, බොජ්ඣඩ්ග පිරිත, ඛන්‍ධපිරිත, මෝරපිරිත, මෙත්තපිරිත, රතනසූත්‍රය යන පිරිත් වල බලය මෙම තිසහශ්‍රී ලෝකධාතුව දක්වා පවතින බව සඳහන් වේ. ඉන් ඔබ්බෙහි සියලු සක්වළ තථාගතයන් වහන්සේලාගේ විෂයක්‍ෂේත්‍රයයි. එහි සීමාවක් නැත. තථාගතයන් වහන්සේලාට සියලු සක්වළට තමන්වහන්සේගේ ආලෝකය පැතිරවිය හැකි වේ. සියලු සක්වළ වැසි සත්වයන්ට ඇසෙන සේ ධර්මය දේශනා කළහැකි වේ. බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අවබෝධ කළ බැවින් ලොකවිදූ නම් වන සේක.

ලෝකය කෙළවරක් නොපෙනෙන සීමා රහිත වූවකි. වරක් රෝහිතස්ස නම් දිව්‍යපුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ කියා සිටියේ පෙර ආත්මභාවයක රොහිතස්ස නමින් මහත් ඍද්ධි ඇති තවුසෙක්ව හිඳ තමන් ලෝකයේ කෙළවර සොයා ගිය බවයි. ඔහුගේ ඍද්ධි බලපරාක්‍රමය අනුව පෙරදිග මුහුදේ එක් පාදයක් තබා අනෙක් පාදය අපරදිග මුහුදේ තබා ගමන් කළ හැකි විය. එසේ එකිනෙක ලෝකයෙන් ලෝකයට පා තබමින් ගොස් ලොව කෙළවරට පැමිණිමේ අදහසින් වසර සියයක් වූ ආයුෂය පුරාවට කෑමබීමාදි අත්‍යවශ්‍ය කටයුතු කරන වේලාව හැර අඛණ්ඩව ගියේ ය. එහෙත් ලෝකයේ කෙළවරට නොපැමිණි බවත්, අතර මඟ දී කලුරිය කළ බවත් ඒ දිව්‍යපුත්‍රයා බුදුරජාණන් වහන්සේට පවසා සිටියේ ය.
මෙහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ ලෝකය පාගමනින් ගොස් කෙළවර කළ නොහැකි බවයි. එසේම ලෝකයේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරීම ද කළ නොහැකි බවයි.

ගමනේන න පත්තබ්බෝ
ලෝකස්සන්තෝ කුදාචනං
නච අප්පත්‍වා ලෝකන්තං
දුක්‍ඛා අත්‍ථි පමෝචනං

තස්මා හවේ ලෝකවිදූ සුමේධෝ
ලෝකන්තගූ වුසිතබ්‍රහ්මචරියෝ
ලෝකස්ස අන්තං සමිතාවි ඤත්‍වා
නාසිංසති ලෝකමිමං පරඤ්චාති

“පාගමනින් කිසි කලෙකත් ලොව කෙළවරකට පැමිණිය නොහැක්කේය. ලොව කෙළවරට නොපැමිණ දුකින් මිදීමකුත් නැත.

එහෙයින් ලොව දන්නා, මහ නුවණැති ලොව කෙළවරට ගිය වැස නිමවූ බඹසර ඇති පව් සංසිඳ වූ පුද්ගල තෙමේ ලොව කෙළවර දැන මෙලොව ද පරලොව ද නොපතයි”

යනුවෙන් ඒ ගාථාවලින් බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

මතු සම්බන්ධයි.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 45. බුද්ධානුස්සති භාවනාව – 15 කොටස