බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ ගමන් කිරීමේ දී ඒ අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්ත යැයි දැන හඳුනාගෙන ශ්‍රද්ධාව උපදවා ගැනීම ඉතා වැදගත් වේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය භාවනා වශයෙන් වැඩීම බුද්ධානුස්මෘතිය යි. නව අරහාදි ගුණ එකිනෙක විස්තර වශයෙන් භාවනාව වඩන තැනැත්තාට උපකාරී වීම පිණිස ඉදිරිපත් කරන බුදුගුණ විස්තරයේ ‘ලොකවිදු’ ගුණය පිළිබඳ තවත් කොටසක් මෙම ලිපියෙන් දැක්වේ.

ලොකවිදු ගුණ භාවනාව ඉතිරිය

රෝහිතස්ස දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වෙත එළඹ විමසා සිටියේ “යම් තැනක ඉපදීමක් නැති ද, ජරාවට පත්වීමක් නැති ද, මිය යාමක් නැති ද, චුත වීමක් නැති ද, හට නොගනී ද, ඒ ලෝකයේ කෙළවර පා ගමනින් ගොස් දැකගන්නට හැකි වේ ද? පාගමනින් ඒ ලෝකයේ කෙළවරට පැමිණිය හැකි ද?” යනුවෙනි.

බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ ලෝකය පාගමනින් ගොස් කෙළවර කළ නොහැකි බවයි. එසේම ලෝකයේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරීම ද කළ නොහැකි බවයි. එසේ දුක් කෙළවර කිරීම පිණිස කෙළවරට පැමිණිය යුතු ලෝකය ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ මේ බඹයක් පමණ වූ මේ සිරුරයි.

‘අපිචාහං ආවුසෝ ඉමස්මිඤ්ඤේව බ්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤිම්හි සමනකේ ලෝකඤ්ච පඤ්ඤාපේම ලෝකසමුදයඤ්ච ලෝකනිරෝධඤ්ච ලෝකනිරෝධගාමිනිඤ්ච පටිපදං’

ඇවැත්නි, එතකුදු වුවත් මම සංඥා සහිත, සිත් සහිත, බඹයක් පමණ වූ මේ සිරුරෙහි ම ලෝකයත්, ලෝකසමුදයත්, ලෝකනිරෝධයත්, ලොකනිරෝධගාමිනි පටිපදාවත් පණවමි.

මෙසේ සත්වයන් විසින් තවමත් අවබෝධ කර නොගත් බැවින් නිවන් නොදුටු ලෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සර්වප්‍රකාරයෙන් ම අවබෝධ කර ගත් බැවින් බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක. ඒ ලෝකය පිළිබඳව තමන්ට නිසි අවබෝධයක් නොමැති නිසාවෙන් ම මිනිසුන් නොයෙක් වැරදි අදහස් ඇති කර ගනිති. එසේම තමන්ට අවබෝධ කරගත නොහැකි අසීමාන්තික ලෝකය පිළිබඳ නොයෙක් විද්‍යාත්මක පරීක්‍ෂණ සිදු කරමින් මස් ඇසට පෙනෙන දේ පමණක් ම ලෝකය යැයි වරදවා ගනිති. එහෙත් මස් ඇසට නොපෙනෙන බොහෝ දේ පවතින බව නුවණින් තේරුම් කර ගත යුතු වේ.

උදාහරණයක් ලෙස වේගයෙන් කැරකෙන විදුලිපංකාවක පෙති ඇසට නොපෙනෙන තරමට වේගවත් වූ විටක එතැන කිසිවක් නැත යැයි අදහසක් ඇති කර ගත හොත් එය මිථ්‍යාවකි. එය නුවණින් තේරුම් ගත යුතු වේ. එබැවින් ඇසට නොපෙනෙන, නුවණින් තේරුම් ගතයුතු ලෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේ නොයෙක් දේශනාවන්හි දේශනා කරන ලද දේ පිළිබඳ පරීක්‍ෂණ සිදු කිරීමට උත්සහවත් වීම නිෂ්ඵල දෙයකි. එය පරීක්‍ෂණයකින් හෝ අවබෝධ කරගැනීමට තරම් තමන්ගේ නුවණ දියුණු වී නැති බව තේරුම් ගත යුතු වේ. එහෙත් ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරන ලද ලෝකය පිළිබඳ ඒ බුද්ධ දේශනය අනුව විස්තර දැනගැනීම ලෝකයේ ඇති විසිතුරු බව, එය සිතීමෙන් හෝ තර්කයෙන් තේරුම් ගැනීම අපහසු බව, නුවණින් අවබෝධ කරගත යුතු බව වටහා ගැනීමට වැදගත් වේ.

ලෝකය යන්නට ඇතුළත් දෙය කෙටියෙන් ම කිවහොත් නාම-රූප දෙක පමණකි. එය ස්කන්‍ධාදි වශයෙන් තවත් විස්තර කළ හැකි වේ. ඒ සියල්ල ඇතුළත් භූමි වශයෙන් භූමි තිස් එකක් (31) ඇති බව ඉහත දක්වන ලදී. සත්වයන් කර්මානුරූපව උපත ලබන මේ සියලුම ස්ථාන සුගති, දුගති වශයෙන් දෙයාකාරයකින් දැක්විය හැකි වේ.

සත්වයන් මරණින් මතු ස්වකීය පුණ්‍ය ශක්තිය මත සුගතිගාමීව උපත ලබන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන සේක. ‘ගති’ යනුවෙන් සත්වයන් උපත ලබන ස්ථාන හැඳින්වේ. සු යන උපසර්ගයෙන් යුතු වූ විට මනා ගති හෙවත් සත්වයන්ගේ උපත සිදු වන හොඳ ස්ථාන දැක්වේ. එසේ සුගතිගාමී උත්පත්තියක් සකස් වන ප්‍රධාන සුගති භූමි තුනක් වේ.

1. කාමසුගති භූමි සත (7) : එනම් මනුෂ්‍ය ලෝකය සහ සදිව්‍ය ලෝකයන්

2. රූපාවචර භූමි : රූපාවචර බඹලොව දහසය (16)

3. අරූපාවචර භූමි : අරූපාවචර බඹලොව සතර (4)

මනුෂ්‍ය ලෝකය

මනුෂ්‍ය ශබ්දය ග්‍රන්ථාන්තරයෙහි විවරණය කරන ආකාරය අනුව ‘මනස උසස් බැවින් මනුෂ්‍ය නම් වේ’. මනෝ උස්සන්නමස්සාති මනුස්සා. උසස් වූ මනසක් ඔහුට ඇත්තේනුයි මනුෂ්‍ය නම් වේ. ජම්බුද්වීපය, පූර්වවිදේහය, අපරගෝයානය, උත්තරකුරු දිවයින යනුවෙන් මනුෂ්‍යවාසයන් සතරක් පිළිබඳ ධර්මයේ සඳහන් වේ. එයින් ජම්බුද්වීප වැසියන් ශ්‍රේෂ්ඨ ස්මෘති ආදිය හේතුවෙන් උසස් වූ මනසක් ඇති බැවින් මනුෂ්‍ය නම් වේ. මොවුන්ට සමාන රූප ඇති බව ආදි හේතු නිසාවෙන් සෙසු මහාද්වීප වැසියන් ද මනුෂ්‍ය නම් වේ.

ජම්බුද්වීප වැසියන්ගේ ආයුෂ පිළිබඳ නිශ්චිත බවක් නැති අතර පූර්වවිදේහ වැසියන්ගේ ආයුෂ වසර 700ක් බව සඳහන් වේ. අපරගොයාන වැසියන්ගේ අවුරුදු 500ක් ආයුෂ වන අතර උත්තරකුරු වැසියන්ට අවුරුදු 1000ක් ආයුෂ වේ. ජම්බුද්වීප වැසියන්ගේ ආයුෂ අවුරුදු අසඩ්ඛෙය්‍යයේ පටන් දසඅවුරුද්ද දක්වා ද, අවුරුදු දහයේ පටන් අසඩ්ඛෙය්‍ය දක්වා ද වෙනස් වේ. මේ සඳහා ගතවන කාලය අන්තඃකල්පයක් ලෙස හැඳින්වේ. ජම්බුද්වීප වැසියන් ඇතැම් කාලයක හොඳ ප්‍රතිපත්තියේ පිහිටන අතර ඇතැම් කාලවල නොමනා ප්‍රතිපත්තියේ පිහිටති. එසේ නොමනා ප්‍රතිපත්තීන් අනුගමනය කරන කාලයේ ආයුෂ පිරිහී දස අවුරුද්ද දක්වා අඩු වේ. හොඳ ප්‍රතිපත්ති පුරණ කාලයේ ආයුෂ අසඩ්ඛෙය්‍ය දක්වා වැඩි වේ.

මිනිසුන්ගේ ආයුෂ වසර දහය දක්වා අඩු වූ කාලයේ ශස්ත්‍ර, රෝග, දුර්භික්‍ෂ යන තුන් ආකාරයෙන් එක්තරා ක්‍රමයකට සත්ව විනාශයක් සිදුවේ. එය අන්තඃකල්පයක් (අන්තරකල්පයක්) ලෙස හැඳින්වේ. එබඳු අන්තරකල්ප තුනක් වේ.

1. ශස්ත්‍රාන්තර කල්පය : සත්වයන්ගේ ද්වේෂය අධික වී නම් ආයුධ වලින් කපා කොටාගෙන සත්වයන් විනාශ වේ. මෙය ශස්ත්‍රාන්තර කල්පය නම් වේ. මෙසේ මිය යන සත්වයන් එකිනෙකා කපාකොටාගෙන මියයන බැවින්, එකිනෙකා කෙරෙහි පවතින වෛරය නිසා බොහෝ සෙයින් නිරයේ උපත ලබති.

2. රෝගාන්තර කල්පය : සත්වයන්ගේ මෝහය අධික වී නම් රෝග පීඩාදියෙන් විනාශ වේ. මෙය රෝගාන්තර කල්පය නම් වේ. මෙසේ මියයන සත්වයන් එකිනෙකා පිළිබඳව ‘මෙවැනි රෝගයක් අනෙකකුට නොවේවා’ යි මෙත් සිත් උපදවා ගන්නා බැවින් බොහෝ සෙයින් සුගතිගාමී වෙති.

3. දුර්භික්‍ෂාන්තර කල්පය : සත්වයන්ගේ ලෝභය අධික වී නම් දුර්භික්‍ෂයෙන් විනාශය වේ. මෙය දුර්භික්‍ෂාන්තර කල්පය නම් වේ. මොවුන් ආහාර පිළිබඳ ආශාව ඇතිව මියයන නිසා බොහෝ සෙයින් ප්‍රේත ලෝක වල උපදිති.

අන්තඃකල්ප විස්සක් (20) එක් අසංඛෙය්‍ය කල්පයකි. අසංඛෙය්‍ය කල්ප සතරක් (4) මහාකල්පයක් වන අතර අන්තඃකල්ප අසූවකි (80).

“ඒ භාග්‍යවතුන් වහන්සේ මේ සියලු ලෝකයන් ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරොධ වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද සර්වප්‍රකාරයෙන් ම දන්නා හෙයින් ‘ලෝකවිදූ’ නම් වන සේක.” යැයි ලෝකවිදූ ගුණය වැඩිය යුතු වේ.

මතු සම්බන්ධයි.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 46. බුද්ධානුස්සති භාවනාව – 16 කොටස