බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ ගමන් කිරීමේ දී ඒ අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්ත යැයි දැන හඳුනාගෙන ශ්‍රද්ධාව උපදවා ගැනීම ඉතා වැදගත් වේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය භාවනා වශයෙන් වැඩීම බුද්ධානුස්මෘතිය යි. නව අරහාදි ගුණ එකිනෙක විස්තර වශයෙන් භාවනාව වඩන තැනැත්තාට උපකාරී වීම පිණිස ඉදිරිපත් කරන බුදුගුණ විස්තරයේ ‘ලොකවිදු’ ගුණය පිළිබඳ තවත් කොටසක් මෙම ලිපියෙන් දැක්වේ.

ලොකවිදු ගුණ භාවනාව ඉතිරිය

භාග්‍යවතුන් වහන්සේ ලෝකය, ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරොධ වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද සර්වප්‍රකාරයෙන් ම දන්නා හෙයින් ‘ලෝකවිදූ’ නම් වන සේක. එසේ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරන ලද ලෝකය තිස්එක් භූමි තලයකින් සමන්විත වන අතර එහි මිනිස්ලොව පිළිබඳ ඉහත විස්තර කරන ලදී.

සදිව්‍ය ලෝක

දන්දීම් ආදි පුණ්‍යසම්පත්තිය මහත් වන විට කාම සුගති භූමි අතරින් දිව්‍යලෝක සයෙහි උත්පත්තිය සිදු වේ. එකී දිව්‍යලෝක සය (6) නම්,

1. චාතුම්මහාරාජිකය 2. තාවතිංසය 3. යාමය 4. තුසිතය
5. නිම්මාණරතිය 6. පරනිම්මිතවසවර්තිය යනුවෙනි.

චාතුම්මහාරාජික දිව්‍යලෝකය

මනුෂ්‍ය ලෝකයට යොදුන් හතලිස් දෙදහසක් (42,000) ඉහළින් පිහිටා ඇති බව සඳහන් වේ. සතරවරම් දෙවිවරුන්ට භක්ති ඇති බැවින් චාතුම්මහාරාජික යන නම් ලැබෙන බව සඳහන් වේ.

සතරවරම් දෙවිවරු ලෙස සඳහන් වන්නේ ධතරට්ඨ, විරූළ්හක, විරූපක්‍ඛ, කුවේර යන සතරදෙනා වෙති. මහාසමය සූත්‍රයේ ‘පුරිමං දිසං ධතරට්ඨෝ, දක්‍ඛිණේන විරූළ්හකෝ’ යනාදි ලෙස සඳහන් වන්නේ මොවුන් පිළිබඳව වේ. ගණ්ඩබ්බ, කුම්භණ්ඩ, නාග, යක්‍ෂ යන සතරකොට්ඨාසයන්ට අධිපති දෙවිවරු මේ නම් වලින් දැක්වේ. ඒ අනුව මේ සත්වකොට්ඨාසයන් චාතුම්මහාරාජිකයේ සිටින බව පැහැදිලි වේ.

මිනිස් ලොව වසර පණසක් (50) චාතුම්මහාරාජික දෙවියන්ට එක් දිවා රැයකි. එබඳු දින තිසක් (30) මාසයක් වන අතර මාස දොළොසක් වසරක් වේ. එබඳු වසර 500ක් චාතුම්මහාරාජිකයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ වලින් වසර අනූ ලක්‍ෂයක් (9,000,000) චාතුම්මහාරාජිකයේ ආයුෂ වේ. එහෙත් අල්පෙශාක්‍ය වූ හෝ මහේශාක්‍ය වූ හෝ බූමාටු දෙවියන්ගේ හා විමාන ප්‍රේතාදීන්ගේ ආයුෂ මෙතෙකැයි නිශ්චිත නැත.

තාවතිංස දිව්‍යලෝකය

‘තෙත්තිංස ජනා තත්‍ථ උපපන්නාති තාවතිංසා’ යනුවෙන් දැක්වෙන බැවින් මඝමානවක තුමා සමඟ තෙතිස් දෙනෙක් එහි උපන් බැවින් තාවතිංස නම්වේ. මෙහි අධිපති වන්නේ ශක්‍ර දෙවේන්‍ද්‍රයායි. මහමෙර මුදුනේ ඇති බව සඳහන් වේ. චාතුම්මහාරාජික දිව්‍යලෝකයේ පටන් යොදුන් හතලිස් දෙදහසක් (42,000) ඉහළින් පවතී. මෙම දෙවිවරු ද පර්වතස්ථ සහ ආකාශස්ථ වශයෙන් සිටී.

මිනිස් ලොව වසර 100ක් තව්තිසා වැසි දෙවියන්ට එක් දිවා රැයකි. එබඳු දින තිසක් (30) මාසයක් වන අතර මාස දොළොසක් වසරක් වේ. එබඳු වසර 1000ක් තාවතිංසයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ වලින් වසර තුන්කෝටි සැට ලක්‍ෂයක් (36,000,000) චාතුම්මහාරාජිකයේ ආයුෂ වේ.

යාම දිව්‍යලෝකය

‘දිබ්බං සුඛං යාතා පයාතා සම්පත්තාති යාමා’ ලෙස සඳහන් වන පරිදි දිව්‍යමය වූ සැපයට ගියාහු ද පැමිණියාහු ද, සම්ප්‍රාප්ත වූවාහු ද එහෙයින් ඒ දෙවියෝ යාම නම් වෙති. මෙය තාවතිංසයට යොදුන් 42,000ක් ඉහළින් පිහිටා ඇත.

මිනිස් ලොව වසර 200ක් යාම දෙවියන්ට එක් දිවා රැයකි. එබඳු දින තිසක් (30) මාසයක් වන අතර මාස දොළොසක් වසරක් වේ. එබඳු වසර 2000ක් යාමයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ වලින් වසර දහහතරකෝටි සතලිස් ලක්‍ෂයක් (144,000,000) යාමයේ ආයුෂ වේ.

තුසිත දිව්‍යලෝකය

තුසිත යන පදය විභඩ්ග අටුවාවේ දක්වන්නේ ‘තුට්ඨා පහට්ඨා තුසිතා’ යනුවෙනි. එනම් තුටු පහටු සිත් ඇත්තාහු තුසිත නම් වෙති. තමන්ගේ ශ්‍රී සම්පත්තිය හේතුකොටගෙන ප්‍රීතියට පැමිණි දෙවියන්ගේ වාසස්ථානය යන අර්ථයෙන් ද තුසිත නම්වේ. මෙය යාම දිව්‍යලෝකයේ පටන් යොදුන් 42,000ක් ඉහළින් පිහිටා ඇත.

මිනිස් ලොව වසර 400ක් තුසිත දෙවියන්ට එක් දිවා රැයකි. එබඳු දින තිසක් (30) මාසයක් වන අතර මාස දොළොසක් වසරක් වේ. එබඳු වසර 4000ක් තුසිතයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ වලින් වසර පණස්හත්කෝටි සැටලක්‍ෂයක් (576,000,000) තුසිතයේ ආයුෂ වේ.

නිම්මාණරතිය

‘පකතිපටියත්තාරම්මණතෝ අතිරේකේන රමිතුකාමකාලේ යථාරුචිතේ භෝගේ නිම්මිනිත්වා රමන්තීති නිම්මාණරතී’ යනුවෙන් දැක්වෙන බැවින් ප්‍රකෘතියෙන් පිළියෙළ වූ අරමුණට වඩා වැඩිතරම් අරමුණකින් සිත්අලවනු කැමති කල්හි සිතට රිසි පරිදි වූ භෝගසම්පත්තීන් නිර්මිත කොට සිත්අලවත් ද එහෙයින් ඒ දෙවියෝ නිම්මාණරතී නම් වෙති. එනම් තමන් විසින් නිර්මාණය කරගන්නා ලද ශ්‍රී සම්පත්තියෙහි ඇලෙන බැවින් නිම්මාණරතී නම් වේ. මෙය තුසිතයෙන් යොදුන් 42,000ක් ඉහළින් පිහිටා තිබේ.

මිනිස් ලොව වසර 800ක් නිම්මාණරතී දෙවියන්ට එක් දිවා රැයකි. එබඳු දින තිසක් (30) මාසයක් වන අතර මාස දොළොසක් වසරක් වේ. එබඳු වසර 8000ක් නිම්මාණරතියේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ වලින් වසර දෙසිය තිස්කෝටි සතලිස් ලක්‍ෂයක් (2,304,000,000) නිම්මාණරතියේ ආයුෂ වේ.

පරනිම්මිතවසවර්තිය

චිත්තාචාරං ඤත්‍වා පරේහි නිම්මිතේසු භෝගේසු වසං වත්තෙන්තීති පරනිම්මිතවසවත්තී’ යැයි විභඩ්ග අටුවාවේ කියූ ආකාරයට සිතේ පැවැත්ම දැන අන්අය විසින් නිර්මිත කළා වූ භෝගසම්පත්තීන් තමාගේ වසඟයේ පවත්වන බැවින් ඒ දෙවියෝ පරනිම්මිතවසවර්ති නම් වෙති. මෙය නිම්මාණරතියට යොදුන් 42,000ක් ඉහළින් පිහිටා ඇත.

මිනිස් ලොව වසර 1600ක් පරනිම්මිතවසවර්ති දෙවියන්ට එක් දිවා රැයකි. එබඳු දින තිසක් (30) මාසයක් වන අතර මාස දොළොසක් වසරක් වේ. එබඳු වසර 16,000ක් පරනිම්මිතවශවර්තියේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ වලින් වසර නවසිය විසිඑක්කෝටි සැට ලක්‍ෂයක් (9,216,000,000) පරනිම්මිතවසවර්තියේ ආයුෂ වේ.

ඡ එතේ කාමාවචරා – සබ්බකාමසමිද්ධිනෝ
සබ්බේසං එකසඩ්ඛාතෝ – ආයු භවති කිත්තකෝ

ද්වාදසකෝටි සතං තේසං – අට්ඨවීසඤ්ච කෝටියෝ
පඤ්ඤාස සතසහස්සානි – වස්සග්ගේන පකාසිතා

මෙකී සයක් වූ කාමාවචරයෝ සියලු පඤ්චකාමයෙන් සමෘද්ධ වූවාහු වෙත්. සියලු කාමාවචරයන්හි එක් රැස් කොට පිඬුකළ ආයු ප්‍රමාණය කොතෙක් වෙයි ද යත්,

ඒ සයක් කාමාවචර දෙවියන්ගේ ආයුෂ මිනිසුන්ගේ අවුරුදු ගණනින් එක්දහස් දෙසිය විසිඅටකෝටි පණස්ලක්‍ෂයක් (12,285,000,000) යැයි ප්‍රකාශ කරන ලදී.

“ඒ භාග්‍යවතුන් වහන්සේ මේ සියලු ලෝකයන් ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරොධ වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද සර්වප්‍රකාරයෙන් ම දන්නා හෙයින් ‘ලෝකවිදූ’ නම් වන සේක.” යැයි ලෝකවිදූ ගුණය වැඩිය යුතු වේ.

මතු සම්බන්ධයි.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 47. බුද්ධානුස්සති භාවනාව – 17 කොටස