මෝහ අන්ධකාරයට ප්‍රඥා ප්‍රදීපයක් වූ සුජාත නම් සර්‍වඥයන් වහන්සේ පිරිනිවන් පෑ පසු එයින් මතු කල්ප එක්දහස් එකසීයක් තරම් වූ  අති දීර්ඝ කාලයක් ගෙවී යන තෙක් ම මේ ලෝකය බුද්ධ ශූන්‍යව මෝහ අන්ධකාරයෙන් නිමග්න විය. අඳුරු තිමිරපට  සුණු විසුණු කොට උදා ළහිරු රැස යුගන්ධර ගිරිකු‍ළෙන්  මෝදු වන්නාක් සේ, පුමුදිත හදින් යුත් මිනිසුන්ට ප්‍රණිදානයක් ලැබුණාක් මෙන් තවත් එක් වර කල්පයක් ලොවට උදාපත් වූයේ ය. එය අසහාය ශාස්තෘ වූ පියදස්සී, අත්‍ථදස්සී, ධම්මදස්සී නම් සුගථ තථාගතයන් වහන්සේලා පහළ වූ කල්පය වූයේ ය.

අවිදු අඳුරට මිණි කිරණ වූ පියදස්සී නම් බුදුරජාණන් වහන්සේ සියලු බුද්ධකාරක ධර්ම සපුරා අවසන් අත්බැව්හී සන්තුසිත  දිව්‍යරාජයා වී  අනේකාකාර වූ දිව්‍ය සම්පත් භුක්ති විඳිමින් හිඳ ලොව්තුරා බුදුවෙන්නට දෙවියන්ගෙන් ලද ආරාධනයෙන් දෙව්ලොවෙන් නික්මී මනුලොව පහළ වනුයේ සුධඤ්ඤවතී නුවර රජ වූ සුදස්සන නම් මහ රජුගේ අග්‍ර මහේෂිකාව වූ චන්‍ද්‍රයා බදු මුව කමලක් ඇති ‘චන්‍ද්‍රා’ දේවියගේ කුසෙහි ඉපිද වීදුරු කරඬුවක බහාලූ මාණික්‍ය රත්නයක් බඳු බෝධිසත්ත්ව කුමාර රත්නය දස මසක් ඇවෑමෙන් වරුණ උයනේදී ලොව පහන් කරලමින් මව් කුසින් බිහිවුණු සේක. ඒ කුමාර රත්නයට නම් තබන දිනයේ දී ලෝකයාට ප්‍රිය වූ ප්‍රාතිහාර්ය‍ ය විශේෂයක්ම දැක්වූ නිසා ප්‍රිය දර්ශන ඇති හෙයින් “පියදස්සී” යැයි නම් තබන ලද්දේ ය.

කාලය ගෙවී ගොස් තරුණ වියට පැමිණි කුමරුවන් හට විමලා මහා දේවිය සරණපාවා දුන් අතර ඇය ප්‍රධාන ස්ත්‍රිත් තිස්දහසක් පිරිවරණ ලද තුන් ඍතූන්ට යෝග්‍ය වූ සුනිම්මල, විමල, ගිරිබ්‍රහා යන යස ඉසුරු පිරි මාලිගාවන් තුනෙහී කුමාරුවාණෝ වසර නවදහසක් ගෙවෙන තෙක් රජ සැප වින්දහ. මෙසේ වසර දහස් ගණනින් රාජ්‍ය ශ්‍රි වින්දනය කරන ලද මුත්, එම කාම සම්පත්තීන්හී ඇති ස්වල්ප ආශ්වාදයෙත් ආදීනවය උයන් කෙලියට ගිය කුමරුවන් හට මොනවට පසක් විය. එයින් ගිහි ගෙය කළ කිරුණු කුමරුවාණෝ ස්වකීය අග්‍ර මහේෂිකාව තම පුත් කුමරු වූ කඤ්චන කුමරු ප්‍රසූත කළ බව අසා ගිහිගෙය හැරයන්නට දැඩිසේ සිතූහ. මෙසේ සිතූ බෝධිසත්ත්වයන්  වහන්සේ එදිනම ආජඤ්ඤ රථයකින් අභිනික්මන් කොට පැවිදි වූ සේක. ඒ බව ඇසූ පුරුෂයෝ කොටියක් දෙනා  උන්වහන්සේ සමග පැවිදි වූහ. පැවිද්දන් කොටියක් පිරිවරාගත් බෝසතාණෝ සමසක් ප්‍රධන් වීර්ය ය වැඩූහ. වෙසක් පුර පසළොස්වක පොහෝ දා වරුණ නම් බ්‍රාහ්මණ ග්‍රාමයේ වසභ බ්‍රාහ්මණයාගේ දියණිය විසින් පූජා කරන ලද මධු පායාසය වළඳා සල් වනයේ දිවා විහරණය කොට සුජාත නම් ආජීවකයා විසින් පුජා කරන ලද තෘණ මිටි අටත් රැගෙන කකුධ (කුඹුක්) බෝධිය වෙත එලඹි බොසතාණෝ විජිත භූමිය වූ  බෝධිමුලයේ තිස්පස් රියනක් පුරා භුමිභාගයක තෘණ මිටි අට අතුරා ඒ මත පළක් බැඳ චතුරංග  සමන්වාගත මහා වීර්ය‍ ය අදිෂ්ඨාන කොට වීරාසනයෙන් වැඩ හිඳිමින් ආර්ය පර්යෙෂණයක යෙදෙන්නට වූහ.

පුරා කල්ප අසංඛ්‍ය ගණනින් පිරූ පාරමී බෙලෙන් පරිපාකත්‍වයට පැමිණි ඤාණය යොදවමින් කළ ආර්ය පර්යේෂණයේ ප්‍රතිඵලය වශයෙන් සර්‍වඥතා ඤාණය පහල වූ සේක. හිරු සඳු තාරකා මහා පෘථුවි නොයෙක් වාර සිය දහස් ගණනින් ඇතිව නැතිව යන තෙක් අනවරාග්‍ර සසරක සෙවූ බුද්ධත්ත්වය ලැබීම හේතුවෙන් ප්‍රමුදිත වූ සිතින් යුක්තව සියලු බුදුවරුන්ගේ සිරිත් පරිද්දෙන්

“අනේක ජාති සංසාරං – පෙ – තණ්හානං ඛයමජ්ඣගා ති”  යි

උදාන වාක්‍ය කියා එහි ම සත් සතියක් කල් ගෙවූහ.

ඉක්බිති කවරෙක් හට මුලින්ම ධර්මය දේශනා කළ යුතු වන්නේද? කවරෙක් මුලින්ම ධර්මය අවබෝධ කරගන්නේ දැයි ලොව විමසනුයේ තමන් වහන්සේ හා එකට පැවිදි වූ කොටියක් ආර්ය ධර්මය අවබෝධ කරගන්නාහ’යි දැන උසභවතී නගර සමීපයෙහි වූ උසභ (වෘෂභ) වන උයනට අහසින්ම වැඩම කොට භික්‍ෂුහු කොටියක් දෙනා පිරිවරන ලදුයේ දම්සක් පැවතුම් දේශනාව වදාළ සේක. එකල්හි නිර්මල  ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් කොටි ලක්‍ෂයක් දෙනා ධර්මාහි සමය ලැබූහ. මෙය පළමු ධර්හිසමය වූහ.

නැවතද උසභවතී නගරයට නුදුරේ සුදර්ශන පර්වතයෙහි සුදර්ශන නම් දේව රාජයෙක් වාසය කරන්නේ ය. එ් දේවතාවා මිත්‍යදෘෂ්ඨික දේවතාවෙක් වූ අතර ජම්බුද්වීප වාසී සියලු මිනිසුන් වසරක් පාසා ලක්‍ෂයක් වටිනා බලි පූජාවක් පිලියෙල කොට එම දේවතාවා හට පිරිනමන්නා හ. එම සුදර්ශන දිව්‍ය රාජයා නර රාජයා (රජු) සමඟ එකම ආසනයෙක් හී හිද එම බලි පූජාව පිලිගන්නා හ.

ඉක්බිති පියදස්සි භාග්‍යවතුන් වහන්සේ “ඒ දේවතාවා තුළ වූ මිත්‍යා දෘෂ්ටිය කඩමි” යැයි එම දේවතාවා යක්‍ෂ සමාගමනයට ගිය කල්හී ඔහුගේ විමානයට වැඩම කොට සිරි යහන මත වැඩ හිදිමින් සවනක් ඝන බුද්ධ රශ්මි ධාරාවන් විහිදුවමින් සරත් සමයේ හිරු එළිය ලත් යුගන්ධර පර්වතය මෙන් සමලංකෘතව වැඩ හුන් සේක. මෙසේ වැඩ හුන්නා වූ බුදුරජාණන් වහන්සේට එම දේවතාවගේ පරිවාර පරිචාරිකා වූ දෙවඟනන් මල් ගඳ විලවුන් ආදියෙන් දසබලදාරීන් වහන්සේට පූජා පවත්වා බුදුන් පිරිවරා ගත්හ. සුදර්ශන දිව්‍යරාජයා යක්‍ෂ සමාගමනයේ සිට පැමිණෙනුයේ තම විමානයෙන් සවනක් ඝන රෂ්මි ධාරා විහි‍දෙනු දැක “වෙනදා මාගේ විමානය නො‍යෙක් ආකාර රෂ්මි ජාලාවන්ගෙන් බබළන අසිරියක් මා නොදිටියෙමි මෙහි පැමිණියේ දෙවියෙක්ද, මනුෂ්‍යයෙක් දැ” යි බලනුයේ උදා ගිරිකුළු මත සරත් සමයේ දිවාකරයා මෙන් සවනක් රැස් විහිදුවමින් සුගථ දිවාකරයාණන් වහන්සේ දැක “මේ මුඩු මහණ මාගේ පරිවාර ජනයා පිරිවරාගෙන උතුම් වූ සිරි යහනේ සිටින්නේ ය” යැයි ක්‍රෝධයෙන් මැඩුනු සිතින්  “දැන් මොහුට මාගේ බලය පෙන්වමි” යැයි සිතා ඒ සියලු සුදර්ශන පර්වතයම එකම ගිනි ජාලාවක් කළහ. අනතුරුව එම ගිනි ජාලාවෙන් මේ මුඩු මහණ අළු වන්නට ඇතැයි බලනුයේ නොයෙක් රෂ්මි ධාරාවන්ගෙන් බබළන සිරුරු ඇති ප්‍රසන්න මුව කමලින්  සෝභාසම්පන්නව වැඩ ඉන්නා වූ සර්‍වඥයන් වහන්සේ දැක “ගින්නෙන් නොදැවුනු මේ මහණ දියේ ගිල්වා මරන්නෙමි” යැයි සිතා මාහා සැඩ ඕගයක් විමානයට අභිමුඛ කොට තැබුවේය. නමුත් සිදුවූයේ අනෙකකි.  එම සැඩ පහරින් විමානය පිරී ඉතිරී ගියද, සුගථ සිවුරේ නූල් පොටකුදු, සුගථ සිරුරේ රෝම කූපයකදු නොතෙමුනේ ය. නිසැකවම මේ මුඩු මහණ මේ මාහා සැඩ පහරින් ගසාගෙන ගොස් මියැදෙන්නට ඇතැයි දිය පහර නවතා බලන කල්හී දුටුවේ ද අනෙකකි. එනම් සරත් සමයේ නැකත් තරු පිරිවරා ගත් සඳ මඩල සේ, තම පිරිස පිරිවරාගත් භාග්‍යවතුන් වහන්සේය. මෙසේ වැඩහුන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුටු දේවතාවා තුල හටගත් ක්‍රෝධය මැඩ පවත්වා ගත නොහැකිව ‘මොහු මරන්නෙමි’ යැයි නවවිධ ආයුධ වර්ෂාවක් වැස්ස වීය. රවුද්‍ර වූ ඒ සියලුම භයංකාර ආයුධ ලොව දිනූ බුද්ධත්‍වයට අභියෝග කළ නොහැකිව නිකැළැල් සිතින් යුත් පරම පිවිතුරු ලෝකනාථයන් වහන්සේ ඉදිරියේ නානාවිද සුගන්‍දයෙන් යුත් පරම මනෝහර දසුනෙන් යුත් සුපුෂ්පිත මල් මාලා බවට පත් වී බුදු සිරිපා මුල වැටී ගියේ ය.

ඒ ආශ්චර්ය ය දුටු දේවතාවා තව තවත් කිපී බුදුරජාණන් වහන්සේ තම භවනෙන් පළවා හරිමී’යි සුගථ සිරිපතුල් වලින් ‍ගෙන මහ සමුදුරින් එහා ඇති සක්වල ගලට ගොස් ‘කිම මේ ශ්‍රමණයා ජීවත් වන්නේද’ නැතහොත් මියගොස්දැයි’ බලනුයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් අසුනෙහිම වැඩ සිටින අයුරු දැක “අහෝ! මේ මාහා ශ්‍රමණයා මහත් ඍධි ඇත්තෙකි. මාගේ විමානයෙන් ඉවත් කිරීමට නොහැක්කේය. ඉදින් ඒ බව කිසිවෙකු දැනගත හොත් මා හට  මහත් අපකීර්තියක් වන්නේ ය. එම නිසා කිසිවෙකු දැන ගැනීමට පෙර ඔහුව නෙරපිය යුතුය” යැයි දේවතාවා සිතුවේ ය. එම සිත දුටු සර්‍වඥයන් වහන්සේ ‘මෙය සියලු දෙව් මිනිසුන් හට පෙනේවා’ යි අදිෂ්ඨාන කළ සේක. එකල්හි සියලු දඹදිව් වැසි සියක් රජවරු එම දේවතාවා හට බලි පූජා කරනු වස් පැමිණෙනුයේ සුදස්සන දේව රාජයා භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා මෙහෙවර කරමින් සිටින අයුරු දැක ”අහෝ! බුද්ධ ගුණය නම් මහත් ආශ්චර්ය්‍යමය, බුද්ධ ගුණය නම් විශිෂ්ඨමය” යැයි බුදුන් කෙරෙහි වඩ වඩාත් පැහැදී සියලු දෙනා ඇදිලි බැඳ, බුදු සිරිපා හිසින් වැඳ සර්‍වඥයන්  වහන්සේ පිරිවරා ගත් හ. එවිට භාග්‍යවතුන් වහන්සේ සුදස්සන දේවරාජයා ප්‍රධාන කොට ඇති පිරිසට ධර්මය දේශනා කළ සේක. එකල්හි කොටි අනූ දහසක් වූ දෙව් මිනිසුන් හට ධර්මාවබෝධය වූහ.එහෙයින් මෙය දෙවන අභිසමය වූයේ ය.

එක් කලෙක නව යොදුනක් පමණ වූ කුමුදු නගරයේ, ගෞතම බුදුන්ට වෛරී වූ දේවදත්ත තෙරුන් මෙන් පියදස්සී බුදුන්ට වෛරී වූ සෝණ නම් තෙරනමක් මහා පදුම කුමාරයා හා එක් වී ඔහුගේ පියා මරා නැවත පිසදස්සී බුදුන් නැසීමට නො‍යෙක් උපාය ‍යොදා ඒ සියල්ල අසාර්ථක වූ තැන ද්‍රෝණමුඛ නම් ඇතු බලන ඇත් ගොව්වා හට කරුණු කියා පොළඹවාගෙන බුදුන් වහන්සේ පිඩු පණිස හැසිරෙන විට ඇතු ලිහා දමා බුදුන් ඉදිරියට යවා ”පියදස්සී ශ්‍රමණයන් ඝාතනය කරව” යැයි කරුණු කීහ. එවිට ඒ ඇත් ගොව්වා යහපත අයහපත ගැන විමසීමකින් තොරව ම ”රාජ වල්ලභ වූ මේ ශ්‍රමණයා මාව තනතුරෙන් පහකරයිදෝ” යන භීතියෙන් එසේ ය යැයි පිළිතුරු දුන්නේ ය.දෙවන දිනයේ දසබලදාරීන් වහන්සේ පිඩු පිණිස නගරයට වැඩම කරන වේලාව සලකා චණ්ඩ කුම්භස්තල ඇති සුජාත මස්තකයෙන් යුත්, දුනු බදු වූ දීර්ඝ සොඬවැල ඇති විපුල වූ මෘදු කණ් ඇති පිඟුවන් නේත්‍රා යුග්මයෙන් යුත්, සොදුරු ඇත් කඳ අසුන් ඇති අනුවෘත වූ ඝණ කෙණ්ඩා ඇති දණ අතර සැගවුණු ගුය්හ ඇති, හී හිස බදු වූ මනෝඥ දන්ත යුග්මයක් ඇති මනා වල්ග ඇති, සොදුරු වූ වල්ග මුල් ඇති, ගෞරව සම්ප්‍රයුක්ත වූ සියලු හස්ති ලක්‍ෂණ සම්පන්න වූ සුනිල මේඝයක් බදු සිත් කළු දසුන් ඇත් සිංහ වික්‍රමයෙන් යුත් සුලලිත ගමන් ඇති ජංගම පර්වත රාජයෙකු බදු, සත් තැන් බිම හෙවූ සත් අයුරින් ප්‍රභින්න වූ සියළු තැන්හී මද වැගිරෙන්නා වූ විභ්‍රමණ මාරයා බදු මහා හස්ති රාජයා පිඩු ආහාර අඳුන් ධූප ආදියෙන් දැඩි සේ මත් කොට සතුරන් නසන්නා වූ ශක්‍රයාගේ එ‍ෛරාවණ හස්තියා බදු ද්‍රෝණමුඛ හස්ති නාගයා කෙළෙස් සතුරන් නසාලූ මුණිවාරණ වූ බුද්ධ නාගයන් වහන්සේ වෙත අභිමුඛව එවූ හ.

ඉක්බිති ඒ හස්ති නාගයා මිදූ කෙනෙහිම ඇත්, ඇස්, මහීෂ, මනුෂ්‍ය ස්ත්‍රි පුරුෂයින් නසමින් ලෙයින් වැකී තප්තව දිළී ගිය සූර්ය‍ යා බදු සිරුරු ඇතිව බඩවැල් ජාලයෙන් වැසී ගිය අක්‍ෂි මණ්ඩලය ඇතිව ගැල් කවුළු කූටාගාර තොරන් ආදිය සුණු විසුණු කරමින් කවුඩු උකුසු ගිජුලිහිණි ආදීන් ඇඟ පුරා සැරි සරද්දී මරණ ලද අස් මිනිස් මහිෂාදීන්ගේ අඟ පසඟ ඇද ඇදා කඩමින් මිනි කන යක්ෂයෙකු මෙන් මස් කමින් බලනවිට භික්ෂු ගණයා පිරිවරාගෙන වැඩම කරන ලද දසබලදාරීන් වහන්සේ දුරදීම දැක, අහස් සරනා ගුරුළු රාජයෙකු මෙන් මහා වේගයෙන් එ් දෙසට දිව්වේ ය.  භය භීරුකව තැති ගත් හදින් යුක්තව ප්‍රාසාද, ප්‍රාකාර, බැමි, ගොඩැලි ගස් ඇදියට නැගී ගත් නගර වැසියෝ ඉදිරියටම දිව ඇදෙන හස්ථිරාජයා නවතාලීමට හඩගා කෑගැසූ හ. ඇතැම් උපාසකයෝ නොයෙක් උපක්‍රම යෙදූ හ.නමුත් සිදු වූයේ අනෙකකි. ක්‍රෝධ ගින්නෙන් දැවි දැවි බුද්ධාභිමුඛයට දිව ඇදෙන හස්ති නාගයාගේ ක්‍රෝධ ගින්නට අමා ගඟ වූ ,සිහිලැල් අමා විලෙන් තෙමන ලද කරුණා හදයෙන් යුක්තව බුදු නෙත් යොමා මෙත් ගං දියෙන් නහවා වදාළ සේක.

මෙත් සිතින් සිහිලැල්ව මෘදු සිත් ඇතිව ඇත් රජු තමාගේ දෝසාපරාදය දැන ලැජ්ජාවෙන් බරිතව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සිටීමටද නොහැකිව පොළොව පලාගෙන සැගවෙන්නාක් මෙන් දනින් වැටී බුදු සිරිපා හිසින් වැන්දේ ය. මෙසේ හුන්නා වූ අඳුරු පිඬක් බඳු සිරුරු ඇති හස්තියා සන්ධ්‍ය ප්‍රභාවෙන් රඤ්ජිත ස්වර්ණගිරි ශිඛර සමීපයට පැමිණි සුනිල් මේඝ කුළක්  බඳුව බැබළුණේ ය. මෙසේ මුනිරාජ සිරිපා හිසින් වැඳ හස්ති නාගයා දුටු නගර වැසියෝ ප්‍රීතියෙන් පිරී ඉපිළෙන ලදුයේ සාධු නාද, සීහ නාද, ප්‍රීති ඝෝෂා පැවැත්වූහ. සුගණ්ධ පුෂ්ප, සඳුන් ගඳ සුණු අලංකාර, සාධූකාරාදියෙන් තථාගතයන් වහන්සේට උපහාර පැවැත් වූහ. හාත්පස පිළි සී  සැරීම් (සළු ඔසවා වැනීම) කළහ. ගඟන තලයේ දෙව් බෙර නාද වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ පාමුල අඳුරු ගිරිකුලක් බඳුව වැඳී ගත් ඇත් රජ දෙස බැලූ බුදු රජ අංකුස දජජාල සංඛ චක්‍රාදියෙන් අලංකෘත වූ ශ්‍රි හස්ත තලයෙන් ඇත්කුඹ පිරිමදිමින් ඔහුගේ විත්තානුකූල වූ

“ගජවර වදතෝ සුණේහි වාචං – මමහිත මත්‍ථයුතඤ්ච තංභජාහි

තව වධ නිරතං පදුට්ඨභාවං – අපනය සන්තමුපේහි චාරුදන්තී”

යන ආදී ගාථා පෙළකින් ධර්මය දේශනාකොට වදාළ සේක.

 

මෙසේ ධර්මය දේශනා කරන විට හස්ති රාජයා සිහිය ලැබ පරම විනීත වූ විනයාචර සම්පන්න ශිෂ්‍යයෙකු සේ විය.අපගේ ශාස්තෘ ගෞතම බුදුරජාණන් වහන්සේ ධනපාල හස්ති රාජයා දමනය කරන විට මහා ජනකායක් ඒකරාශි වූ අයුරින් පියදස්සී බුදුරජාණන් වහන්සේ ද්‍රෝණ මුඛ නම් හස්ති රාජයා දමනය කරනු දැකීමට පැමිණි මහා ජන සමාගමනයට ධර්මය දේශනා කළ සේක. එකල්හි අසූකෝටි ලක්‍ෂයක් දෙනා ධර්මාවබෝධය ලැබූහ. මෙය තෙවන ධර්මාභිසමය විය.

සුමංගල නගරයෙහි පාලිත නම් වූ රාජ කුමාරයා ද, පුරෝහිත පුත්‍ර වූ සබ්බදස්සී කුමාරයා ද යන මොවුන් යහළුවන් වූහ. ඔවුන් ‘පියදස්සී බුදුරජුන් ධර්ම චාරිකාවේ හැසිරෙමින් තමාගේ නගර සමීපයට වැඩම කළේ ය’ යැයි අසා කෝටි ලක්‍ෂයක් පිරිවරාගෙන බුදුරදුන්ට පෙරගමන් කොට උන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කොට සත්දිනක් මහා දන් පවත්වා සත් වැනි දවසේ භුක්තානුමෝදනා දම් දෙසුම කෙළවර කෝටිලක්‍ෂයක් දෙනා පැවිදිව රහත් වූහ. ඒ මහා සංඝ සන්නිපාතය මධ්‍යයේ භාග්‍යවතුන් වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දෙසූ සේක. මෙය පළමු සංඝ සන්නිපාතය විය. ඉක්බිති අන්‍ය කලෙක සුදස්සන දිව්‍යරාජයා දමනය කළ තැනට ඒකරාශි වූ සමාගමනයෙහි අනූ කොටියක් දෙනා රහත් වූහ. උන්වහන්සේලා පිරිවරාගත් බුදුරජාණන් වහන්සේ පාමොක් උදෙසූ සේක. මේ දෙවන සංඝ සන්නිපාතය විය. නැවතද ‍ද්‍රෝණ මුඛ නම් හස්ති රාජයා දමනය කළ තැනට අසූ කොටියක් දෙනා පැවිදිව උතුම් අර්හත්වයට පත් වූහ. මෙය තෙවන සංඝ සන්නිපාතය වූයේ ය.

එම කාලයේ අපගේ බෝධිසත්ත්වයන් වහන්සේ කස්සප නම් බ්‍රාහ්මණයෙකුව ඉපිද ඉතිහාසය පස්වෙනි කොට ඇති ත්‍රිවේදය පාරප්‍රාප්ත මහා පඬිවරයෙකුව සිටිනුයේ සර්‍වඥයන් වහන්සේ ලොව පහළ වූ බව දැන භග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා පැහැදී කෝටි ලක්‍ෂයක් ධනය වියදම් කොට පරම රමණීය වූ සංඝාරාමයක් ඉදි කොට එයින් සඟුන් පිරිවැරූ පියදස්සී බුදුන් වහන්සේ පිදූහ. සසර පිරූ පාරමී ඇති බෝසත් කාශ්‍යප බමුණු තෙමේ සරණ සීලයෙහිද පිහිටියේ ය. මේ පුණ්‍යවන්ත බෝසතුන් වෙත බුදු ඇස යොමා මෙයින් කල්ප එකසිය දහඅටක් ගිය තැන ගෞතම නමින් ලොව්තුරා බුදුවන බුද්ධාංකුරය බව දැන

“සෝපි මං තදා ව්‍යාකාසි – සඞ්ඝමජ්ඣෙ නිසීදිය

අට්ඨාරසේ කප්ප සතේ – අයං බුධෝ භවිස්සතී” යි

සඟ මැද බුදු මුවින් වදාරා තෙළෙස්වන විවරණයත් ලබාදුන් සේක. එවිට තව තවත් බොධිකාරක ධර්ම ම සිහි කරමින් අප මහා බෝධිසත්ත්වයෝ පාරමී ධර්ම පිරූ හ.

දුක් සයුරේ නිමග්න වූ අනන්ත සත්ව ප්‍රජාවක් උදෙසා අනන්ත වූ මහා කරුණා සිත මෙහෙයවමින් ලෝකානුකම්පාවෙන් ලොවට පහළ වූ ‘පියදස්සී’ බුදුරජාණන් වහන්සේ පාලිත සබ්බදස්සී නම් අගසව් දෙනම පිරිවරමින් සෝභිත නම් උපස්ථායක තෙරුන්ගේ උපස්ථාන ලබමින් සුජාතා, ධම්මදින්නා නම් අග්‍රශ්‍රාවිකා තෙරණිවරුන් ඇතිව, සවනක් ඝණ බුදු රැසින්, දෙතිසක් මහා පුරුෂ ලකුණින් සෝභ මාන වූ අසූරියන් උස බුදු සිරුරු ඇතිව අසංඛ්‍ය ගණනින් ලෝ සතුන් නිවන් පුර පමුණුවමින් බුදු කිස සපුරන්නා වූ සර්‍වඥ රාජෝත්තමයන් වහන්සේ වසර අනූ දහසක් කල් ආයු වළඳමින් බුදුකිස නිමවා පිරිනිවනට වැඩි සේක.

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා.

(බුද්ධවංශ අට්ඨකථාව ඇසුරින්)

සම්පාදක :- විනයාචාර්ය පූජ්‍ය පුවක්පිටියේ සුමංගලරතන හිමි

 පරිගණක අකුරු සැකසුම :- රන්ජිත් මධුසංක