විවාද යනු විවිධ වාද, අදහස් යන්න යි. විවාද රහිත සමාජ සංස්ථාවක් සෙවීම අසීරු ය. මන්ද යත්? සමාජයීය මනුෂ්‍යයා විවිධ අදහස් හා විවිධාකල්පයන්ගෙන් යුක්ත බැවිනි. එසේ වුවත් විවාද රහිත සමාජ සංස්ථාවක් බලාපොරොත්තු විය යුත්තේ විවාද නොකිරීම පරමාදර්ශී ගුණයක් නිසා ය. විවාදයට තුඩු දෙන හේතු කොපමණ වුව ද තිබිය හැකිය. එබැවින් සමාජයීය සත්ත්වයා වශයෙන් තමා විවාදයට රුකුළක් නොවන එක හේතුවකුදු දැන සොයා විවාදය වර්ජනය කිරීම පිණිස පිය මං කිරීමට සමතෙකු වීම සංවර්ධනීය ආකල්පය හා සදාචාරය යි. එම සංවර්ධනීය ආකල්පය හා සදාචාරය ගොඩනංවා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම මහත් රුකුළක් දෙන්නකි.

භස්සාරාමයෙහි යෙදෙන මිනිසා විවාදයෙන් වෙන් වීම ද කැමැති නොවන්නේය. විටෙක කතා නොකර සිටීම සැපතක් යැයි සිතුණ ද දිගින් දිගට ම එසේ සිටීම අපහසු වන්නේය. ඊට හේතුව නම් තමන් පුරුදු කරගත් දෑ අත්හැරීම අසීරු වීම ය. ඊට ස්වකීය චිත්ත සන්තානය මනාව භාවිත කළ යුතු වන්නේය.
විවාදයෙහි නිමාවක් දැකීම පහසු නො වේ. විවිධ අදහස් හා ආකල්ප ඇති මිනිසා තුළ ඇති මනෝ සංවේදනාවන් බොහෝ ය. ඔහු ලබා ඇති ජීවිත අත්දැකීම හෝ විෂයික දැනුම විවිධාකාර ය. එම දැනුම මත පදනම්ව එක දෙයක් පිළිබඳව විවිධ පුද්ගලයාගේ දෘෂ්ටිකෝණය අනේකවිධ වේ. එබැවින් ද විවාදය උද්ගත වීම සිදුවේ. එහි දී කෙනෙක් අනෙකෙකුගේ අදහස මත පිහිටන්නට නොහැකි වෙත්. තමන් කියන්නක් ම හෝ ස්ව අධ්‍යාශය ම නිවැරදි වන බවත් අනෙකෙකුගේ අධ්‍යාශය වැරදි වන බවත් යැයි මෙසේ සිතීමට පෙළඹේ. මෙබඳු අදහස් මිනිසා තුළ ඇත්තේ පුරාතන යුගයේ පටන් ම බව සූත්‍ර දේශනාවල සඳහන් වන මෙම “ඉදමෙව සච්චං මොඝමඤ්ඤං” යන පාඨයෙන් පැහැදිලි වේ. එබැවින් බුද්ධෝපදේශයන් ද අප අනුගමනය කළ යුත්තේ වෙනත් පිරිස සමග වාද විවාද ඇති කරගැනීමට නොව සසර කතරින් එතෙර වීම සඳහා ය. විවාදයකින් තොරව ජීවත් වීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්ම කාරණා විවිධ ය.

ගැටළුවක් විසඳීමේ දී කරන විවිධ අදහස්වලින් යුත් සංවාදය, විවාදය යැයි නො ගත යුතු ය. විවාද කිරීම දුකට ම හේතුවක් වේ. විවාදකයා සතුටින් වාද නො කරයි. එම අවස්ථාවන්හි දී තමන්ට නොදැනී ද්වේෂය හටගැනීම සිදුවේ. ප්‍රතිවාදකයා කෙරෙහි වෛරය ද ඇති විය හැකිය. එය ද නොසංසිඳී වැඩිදුර යාමෙන් ප්‍රාණඝාතාදී අකුසල් කිරීමට ද නැඹුරුව පැවතිය හැකිය. විවාදකයා තම අදහස් ම නිවැරදි යැයි සිතමින් අනෙක් අය ස්ව අධ්‍යාශයන්ගෙන් පැරදවීමට අවනත කරගැනීමට ප්‍රයත්න දරයි. දිනීම වෛරය ඇති කරවන බවත් පරාජිතයාට දුකක් ඇති වන බවත් ජය පරාජය දෙක අතහැර උපශාන්ත පුද්ගලයා සැපවත්ව කටයුතු කරන බව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව යි. එබැවින් විවාද කිරීමෙන් වැළකීමට නිතර ම යුහුසුලු විය යුතු වේ.
මේ ලෝකයේ විවාද කරන පිරිස කවරහු ද යැයි කෝසල රජතුමා බුදුරජාණන් වහන්සේට එක් අවස්ථාවක දී මෙසේ ප්‍රකාශ කරයි. “ස්වාමීනි භාග්‍යවතුන් වහනස, රජවරු රජවරුන් සමග විවාද කරති. ක්‍ෂත්‍රියයෝ ක්‍ෂත්‍රියයන් සමග විවාද කරති. බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයන් සමග විවාද කරති. ගෘහපතියෝ ගෘහපතිවරුන් සමග විවාද කරති. මව්පියෝ දූපුතුන් සමග ද දූපුත්තු මව්පියන් සමග ද සහෝදරයා සහෝදරිය සමග ද සහෝදරිය සහෝදරයා සමග ද යහළුවා යහළුවා සමග ද විවාද කරති.” මෙම ප්‍රකාශනය තුළින් සෑම තරාතිරමක පිරිස ඔවුනොවුන් සමග විවාද කරගන්නා බව ගම්‍යමාන වේ.

බුදු සසුන තුළ ද භික්‍ෂූන් අතර විවාදයක් හටගත් අවස්ථා නොමැත්තේ නො වේ. එබඳු එක් අවසථාවක් ලෙස කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ දී සිදු වූ සිදුවීම සිහි කළ හැකිය. එහි දී ධර්මධර හා විනයධර යන භික්‍ෂු දෙපිරිස අතර විවාදයක් හටගත්තේය. එම කථා ප්‍රවෘත්තිය විනයට්ඨකථාවේ සඳහන් වන්නේ මෙ පරිදි ය. එක ආවාසයක විනයධර හා සූත්‍රාන්තික යැයි භික්‍ෂූන් වහන්සේලා දෙනමක් වැඩසිටියහ. එක දවසක් සූත්‍රාන්තික භික්‍ෂුව වැසිකිළියට ගොස් මළ දෝනා ජලය භාජනයෙහි ම ඉතිරි කොට තැබුවේය. පසුව විනයධර භික්‍ෂුව වැසිකිළියට ගිය විට ඒ බව දැක “ඔබ වහන්සේ විසින් ජලය ඉතිරි කරන ලද්දේ දැ”යි සූත්‍රාන්තික භික්‍ෂුවගෙන් විමසුවේය. එම සූත්‍රාන්තික භික්‍ෂුව තමන් විසින් කළ බව පිළිගත් විට “එසේ ජලය ශේෂ කිරීමෙහි ආපත්තියක් ඇති බව නො දන්නේහිදැ”යි විමසුවේය. සූත්‍රාන්තික භික්‍ෂුව නොම දන්නේ යැයි පිළිතුරු දුන්නේය. එවිට එසේ කිරීමේ ආපත්තියක් ඇති බව විනයධර භික්‍ෂුව පැවසුවේය. “ආපත්තිය ඇත්තේ නම් තමන් පිළිගෙන දේශනා කරමි”යි සූත්‍රාන්තික භික්‍ෂුව පැවසුවේය. එවිට විනයධර භික්‍ෂුව “ඇවැත්නි, නොදැන අසිහියෙන් කරන ලද්දේ නම් ඇවැත් නො වේ” යැයි කී විට ඒ සූත්‍රාන්තික භික්‍ෂුව ආපත්තියෙහි ආපත්ති නැති දෘෂ්ටියෙහි පිහිටියේය. එමෙන් ම විනයධර භික්‍ෂුව ද ස්වකීය නිශ්‍රිතකයන් (නිස සමාදන්ව සිටින ශිෂ්‍යයන්) ඉදිරියේ “සූත්‍රාන්තික භික්‍ෂුව ආපත්තියට පැමිණියේ නමුදු ඒ බව නො දනියි” යැයි සැලකළේය. විනයධර භික්‍ෂුවගේ නිශ්‍රිතකයෝ සූත්‍රාන්තික භික්‍ෂුවගේ නිශ්‍රිතකයන් දැක “නුඹලාගේ උපාධ්‍යායන් වහන්සේ ආපත්තියට පැමිණිය ද ආපත්ති භාවය නො දනියි” යැයි කීහ. ඒ සූත්‍රාන්තික භික්‍ෂුවගේ නිශ්‍රිතකයෝ ඔවුන්ගේ උපාධ්‍යායන් වහන්සේට (සූත්‍රාන්තික භික්‍ෂුවට) ඒ බව කීහ. එවිට සූත්‍රාන්තික භික්‍ෂුව “මේ විනයධර භික්‍ෂුව මුලින් ආපත්ති නැති යැයි කියා දැන් ආපත්ති වන බව කියයි. මොහු බොරු කියන්නෙකි.” යැයි කීවේය. ඒ සූත්‍රාන්තික භික්‍ෂුව නිශ්‍රිතකයෝ විනයධර භික්‍ෂුවගේ නිශ්‍රිතකයන්ට “නුඹලාගේ උපාධ්‍යායන් වහන්සේ බොරු කියන්නෙක්” යැයි කීහ. මෙසේ ඔවුනොවුන් අතර කලහය වර්ධනය විය. ඉන්පසුව විනයධර භික්‍ෂුව අවකාශය ලබා එම සූත්‍රාන්තික භික්‍ෂුවට ආපත්තිය නොදැකීමෙහි උක්ඛේපනීය කර්මය කළේය.”

මෙසේ ඇති වූ එම ඩබර හා විවාදයේ දී භාග්‍යවතුන් වහන්සේ දෙපිරිසට ම එසේ විවාද නොකරගන්නට අනුශාසනා කළ ද එය නොසංසිඳුණි. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය ඇහුම්කන් නොදුන්හ. භාග්‍යවතුන් වහන්සේ ධරමාන කාලයේ දී පවා භික්‍ෂූන් වහන්සේලා මෙසේ විවාද කරගත්තේ නම් අද විවාද කරගැනීම පිළිබඳව කියනුම කවරේ ද? එසේ වුවත් අපි විවාද කරගැනීමට නොපෙළඹිය යුතු ය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම විවාදය සංසිඳවීම සඳහා දුන් උපදෙස් ඉතා වැදගත් ය. එය පක්‍ෂපාතී බවකින් තොරව මහාකරුණාවෙන් යුතුව ම විවාදය සංසිඳවීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දකි. එම භික්‍ෂු දෙපිරිසට වෙන වෙන ම දුන් අවවාදය මෙසේ ය.
“භෙදගරුකෙහි භික්ඛවෙ භික්ඛූහි න සො භික්ඛු ආපත්තියා අදස්සනෙ උක්ඛිපිතබ්බො.” (මහණෙනි, භේදගරුක භික්‍ෂූන් වහන්සේලා විසින් එම භික්‍ෂුව ආපත්තිය නොදැකීමෙහි උක්ඛේපනීය කර්මය නො කළ යුතු ය. උක්ඛේපනීය කර්මය ප්‍රකෘතිමත් භික්‍ෂූන් වහන්සේලාගේ සහවාසයෙන් බැහැර කිරීම ය. එය නැවත ප්‍රකෘතිමත් කළ හැකිය.)
“භෙදගරුකෙන භික්ඛවෙ භික්ඛුනා පරෙසම්පි සද්ධාය සා ආපත්ති දෙසෙතබ්බා.” (මහණෙනි, භේදගරුක භික්‍ෂුව විසින් අන්‍යයන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් හෙවත් විශ්වාසයෙන් එම ආපත්තිය දෙසිය යුතු ය. ආපත්ති දෙසීම නම් ‘සමාව ගැනීම’ හා සමාන ය. එසේ වුවත් ආපත්ති දෙසීම නම් තමන් වහන්සේ විසින් කළ වරද නොඑසේ නම් තමන් වහන්සේ පත් වූ ආපත්තිය ආරෝචනය කොට එබඳු වරදට හෝ ආපත්තියට මතු පත් නො වී ආයති සංවරයෙහි පිහිටන බවට ප්‍රතිඥා දීමක් සිද්ධ වේ.)

මෙම ප්‍රකාශනයන්ගෙන් පැහැදිලි වන්නේ කෙනෙක් නිරතුරුව ම අනුන්ට වරද පැටවීමට නොව සංස්ථාවක හෝ ඇසුරු කරන සමාජයේ ඔවුනොවුන් අතර බිඳීමක් ඇති නොවීම සඳහා කටයුතු කළ යුතු බව ය. යම් ක්‍රියාවකට නිවැරදි ප්‍රතිචාරය වුව ද ඒ තුළින් මහත් අනර්ථයක් වන්නේ නම් එය කිරීමෙන් වැළකීම නැතහොත් දූරදර්ශීව කටයුතු කළ යුතු බව එම බුද්ධෝපදේශයෙන් පැහැදිලි වේ.
එසේ ම යමෙකු විසින් දැන දැන වරද නොකළ විට හෝ නොකළ වරදක් අන්‍යයන්ට වරදක් සේ පෙනුණු විට හෝ අන්‍යයන් විසින් වරද යැයි පෙන්වා දුන් විට එය පිළිගැනීමට තරම් තමන් බහා තැබූ මානය ඇති කෙනෙකු බවට පත් විය යුතු බව එම දේශනා පාඨය තුළින් ගම්‍යමාන වේ. එය ද කළ යුතු වන්නේ බිඳීම වැළැක්වීම සඳහා ය. මෙය පුද්ගලයෙකු තුළ ප්‍රගුණ කළ යුතු නම්‍යශීලී භාවය යි.
බුදුරජාණන් වහන්සේ විසින් කිරීමට යැයි අනුදැන වදාළ කෘත්‍යයන් දෙකක් ඇත. ඒවා නම්,

1.  ආර්ය තුෂ්ණීම්භාවය (අරියො වා තුණ්හීභාවො)
2. ධාර්මික කථාව කිරීම (ධම්මී වා කථා)
තුෂ්ණීම්භාවය යනු නිශ්ශබ්දතාව ය. ආර්ය තුෂ්ණීම්භාවය නම් හුදෙක් නිශ්ශබ්දතාව ම නො වෙයි. මෙම නිශ්ශබ්තාවයෙහි ස්මෘතිය ද පිහිටයි. නිශ්ශබ්දතාවෙන් යුතුව නොහොත් දොඩමලු නො වී අනේකවිධ අකුසල් සිතිවිලි සිතේ ඇති කරගනිමින් අතීතය හා අනාගතය පිළිබඳව මනෝ ලෝකයේ අතරමං වීම ආර්ය තුෂ්ණීම්භාවය නො වේ. එබැවින් ආර්ය තුෂ්ණීම්භාවය නම් සතිය පදනම් කරගත්තකි. එහි දොඩමලු නො වී නිශ්ශබ්දතාවය ඇති කරමින් කුසල් සිතිවිලිවලින් යුතුව වර්තමානයේ ජීවත් වීම සිදුවේ. එසේ ආර්ය තුෂ්ණීම්භාවයේ යෙදෙන පුද්ගලයා විවාද කිරීමට නො පෙළඹේ. තමන් සිහියෙන් යුක්ත වීම මෙන් ම වාචාල භාවයෙන් මිදෙන නිසා ය.

ධාර්මික කථාව නම් නොකළ යුතු දශ කථාවන්ගෙන් වෙන්ව කළ යුතු යැයි අනුදැන වදාරා ඇති දශ කථාවන්හි යෙදීම යි. එසේ ද නො වේ නම් කෙලෙස් වඩන නිරයට ඇද දමන කථාවන්ගෙන් මිදී කුසල් සිතිවිලි ජනනය කරන, පහන් සිත ඇති කරන, ශ්‍රද්ධාදි ගුණයන් වර්ධනය කරන දහම් කථාවක යෙදීම එවැනි ධර්ම කථාව පිළිබඳව සාකච්ඡා කිරීම ධාර්මික කථාව හෙවත් ධම්මී වා කථා යනුවෙන් අදහස් වේ.

මෙම කාරණද්වය ම අනුගමනය කිරීම විවාදයකින් තොරව කටයුතු කිරීමට හේතු වේ. රහතන් වහන්සේලා නිතර ම මේ ගුණාංගයන්ගෙන් යුතුව දිවි ගත කළ බව අපට සූත්‍ර දේශනාවන්ගෙන් පැහැදිලි වේ. එබඳු එක් අවස්ථාවක් නම් චූළගෝසිංග වනයේ වැඩවාසය කළ අනුරුද්ධ තෙරුන්, නන්දිය තෙරුන් හා කිම්බිල තෙරුන්ගේ කථා ප්‍රවෘත්තිය යි. එක්තරා අවස්ථාවක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චූළගොසිංග වනයට වැඩම කළ අවස්ථාවේ දී දුර දී ම දුටු උයන්පල්ලා වනයට නොපිවිසෙන ලෙසත් එම වනයේ ස්ථවිරයන් වහන්සේලා තුන් නමක් තමන්ට හිත කැමැතිව වාසය කරන බැවින් කරදර නොකරන ලෙස කියා සිටියේය. එවිට අනුරුද්ධ මහරහතන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේ සමග කථා කරන බව අසා උයන්පල්ලාට “ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම නොවළක්වනු මැනවි. මේ වඩින්නේ අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ” යැයි කීහ. ඉන්පසුව එක් තෙරුන් වහන්සේ කෙනෙක් පෙරගමන් කොට භාග්‍යවතුන් වහන්සේගේ පා සිවුරු පිළිගත්හ. එක තෙරුන් වහන්සේ කෙනෙක් ආසනය පැනවූහ. එක තෙරුන් වහන්සේ කෙනෙක් පා දොවන ලෑල්ල, පා දෝනා ජලය, පා තබන පුටුව එළවූහ. භාග්‍යවතුන් වහන්සේ වාඩි වීමෙන් අනතුරුව පා සේදූහ. ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හිඳ පිළිසඳර හෙවත් සුව දුක් විචාරීමේ කථාවේ යෙදුණහ. එහි දී තමන් වහන්සේලා සමගිව, සතුටින් යුතුව, විවාදයකින් තොරව, කිරි හා ජලය මුසුව ඇත්තාක් මෙන් ඔවුනොවුන් දෙස පියැසින් බලමින් වැඩ වෙසෙන බව අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්‍රකාශ කළහ. උන්වහන්සේලා තුන් දෙනා ම ඔවුනොවුන් කෙරෙහි ප්‍රකටව මෙන් ම අප්‍රකටව ද මෛත්‍රී කායකර්ම, වාක්කර්ම හා මනෝකර්ම පවත්වමින් වාසය කරන බවත් තමන් වහන්සේගේ සිත බහා තබා සද්ධිවිහාරිකයන් වහන්සේලාගේ සිත් සේ පවතින බව ද නානා කයින් යුක්ත වුව ද එක් සිත් ඇතිව ම වෙසෙන බව ද පැවසූහ. එසේ ම භාග්‍යවතුන් වහන්සේ විසින් උන්වහන්සේලාගේ අප්‍රමාදී බව, කෙලෙස් තැවීමේ වීර්යය හා භාවනාවට යෙද වූ සිත පිළිබඳ විමසූ විට “අප අතරින් යම් කෙනෙක් පළමු ගමෙන් පිණ්ඩාපතය රැගෙන වනඩි්නේ ද උන්වහන්සේ අසුන් පනවති. පා දොවන ජලය, පා දොවන ලෑල්ල, පා තබන පුටුව තබති. අවක්කාරපාතිය (පිණ්ඩපාතය වැඩියෙන් ම ඇත්තේ නම් තබන භාජනය) සෝදා තබති. පානීය ජලය මෙන් ම පරිභෝග ජලය එළවා තබති. යම් කෙනෙකුන් වහන්සේ පසුව ගමෙන් පිණ්ඩපාතය කර වඩින්නේ ද උන්වහන්සේ ඉදින් කැමැති නම් වළඳා ඉතිරි වූවක් වේ නම් වළඳති. අකැමැත්තේ නම් නිල් තෘණ නැති තැන හෝ ඉවත් කරති. සතුන් නැති දියෙහි හෝ පා කොට යවති. උන්වහන්සේ අසුන් නැවත හකුලති. පා දොවන ජලය, පා දොවන ලෑල්ල, පා තබන ලෑල්ල, අවක්කාරපාති නම් භාජනය සෝදා තැන්පත් කොට තබත්. පානීය හා පරිභෝග පැන් ද තැන්පත් කරති. දන්හල අමදිති. එසේ ම යම් කෙනෙකුන් වහන්සේ හිස් වූ පැන් කළය හෝ පරිභෝග ජලය තබන කළය හෝ වැසිකිළි ජල භාජනය හෝ දකින්නාහු නම් උන්වහන්සේ ඒවා එළවා තබත්. තනිව නොහැක්කේ නම් අතින් සංඥාවක් කොට දෙවැන්නකු කැඳවා එළවා තබත්. ඒ හේතුවෙන් අපි කථා නො කරමු. දවස් පහකට වරක් මුලු රෑ ම දැහැමි කථාවෙහි යෙදෙමු” යැයි මෙසේ ප්‍රකාශ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් සාධුකාර දී ප්‍රශංසා කොට දැහැමි කථාව ද කළ සේක.

මේ චූළගෝසිංග වනයේ වැඩවාසය කළ තෙරුන් වහන්සේලා තුන් නමගේ කථා ප්‍රවෘත්තිය යි. උන්වහන්සේලා විවාදයකින් තොරව විසූ ආකාරය එයින් මනාව පිළිබිඹු වේ. එබැවින් අප ද විවාද නොකොට ජීවත් වීම සඳහා ඉතා වටිනා පියවර දෙකක් නම් කුසලාරම්මණයෙන් යුත් නිශ්ශබ්දතාව භජනය කිරීම හෝ දැහැමි කථාවේ යෙදීම යි.

තමන් තුළ අවස්ථාවෝචිතව නම්‍යශීලී බව ඇති කරගැනීම, වරද පිළිගැනීම, ඉවසීම, නිහඬතාව නොහොත් භස්සාරාමයේ නොයෙදීම, දැහැමි කථාවේ යෙදීම යන මෙවැනි පිළිවෙත අනුගමනය කිරීම තුළින් අඬ-ඩබර, කලකෝලාහල, රණ්ඩු-සරුවල්, වාදවිවාදයන්ගෙන් මිදී කටයුතු කිරීමට ශක්‍යතාව වර්ධනය වේ. මේවා කළ යුතු වන්නේ කරුණු දෙකක් සලකාගෙන ය. ඉන් එකක් නම් ලෞකික ශුභ සිද්ධිය සඳහා ය. අනෙක නම් ලෝකෝත්තර අර්ථය සාධනය කරගැනීම සඳහා ය. මේ පිළිවෙත ලෞකික වශයෙන් ශුභ සිද්ධිය සැලසීම නැතහොත් සමාජයේ ජීවත්වීමේ දී කරදරයන්ගෙන් බේරී ජීවත්වීමට උපකාරී වන්නා සේ ම තමන් තුළ ඉවසීම, මෛත්‍රිය, සතිය, ශ්‍රද්ධාව යනාදි කුසල ධර්මයන් දියුණු කිරීමෙන් සකල ක්ලේශයන්ගෙන් විනිර්මුක්තව ලැබෙන නිර්වාණාධිගමය සඳහා ද ගුණය පිරෙනු නොඅනුමාන ය.

සම්පාදක

පූජ්‍ය නේපාලයේ සෝමරතන හිමි