ප්‍රමුදිත හදින් යුත් වේනෙය්‍ය සත්ත්වයන්  හට ප්‍රණිධානයක් බඳු වූ ප්‍රිියශීලී  දර්ශන ඇති පියදස්සී සර්‍වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ  පිරිනිවී එම සසුන අතුරුදන් වූ කල මුළු ලෝක ධාතුව ම මෝහ අන්ධකාරයෙන් නිමග්න විය.

ලෝක  ධර්මතාවක් වූ ශාසන අන්තරධානයෙන් පසු සත්ත්ව සන්තානයන්හී  කෙළෙස් බරිත වීම හේතුවෙන් මනුෂ්‍යායුෂ පිරිහී ගොස් දස වර්ෂය තෙක් අඩු  වී නුවණැත්තවුන්ගේ හික්මීම හේතුවෙන් නැවත ආයුෂ වර්ධනය වී ගණනය කළ නොහැකි තරම් වූ අපරිමිත ආයුුෂ ලබා එයද  නැවත පරිහානියට පත්වී මනුෂ්‍යායුෂ  අවුරුදු ලක්‍ෂයක්  වූ කාලයක් උදාපත් වූයේ ය. එකල්හී අසහාය ශාස්තෘ පරමාර්ථදර්ශී වූ අත්‍ථදස්සී  නම් ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක.

ඒ කෙසේ ද යත් :-

තෘෂ්ණා මුල්  මුලින් උපුටන්නා  වු දානපාරමිතාව ආදී සියලු බුද්ධ කාරක  ධර්ම සපුරා තුසිත පුරයේ සන්තුසිත දිව්‍යරාජයා ව ඉපිද අපරිමිත වූ දිව්‍ය සම්පත් භුක්ති විදිමින් සකලායුෂ අනුභව කරමින් හිඳ සම්බෝධිය උදෙසා නුුවණ මුහුකුරා ගිය කල දෙවියන් ගෙන් ලත් ආරාධනයෙන් එයින් නික්මී පරම ශෝභන වූ “සෝභන” නම් නගරයේ රාජ්‍යභිශේක ලත් සාගර නම් මහ රජුගේ අගමෙහෙසිය වූ සුදස්සනා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්හ. රුවන් ගැබක හෙවූ මාණික්‍ය රත්නයක් බඳු කුමාර රත්නයෝ දස  මසක් ඇවෑමෙන් අලංකාරයෙන් පුතිමණ්ඩිත වූ  සුචින්දන උද්‍යානයේ දී අනන්ත සක්වලට පෑයූූ  එකම ඉරක්  සේ මෝහ අන්ධකාරයෙහි ගිලී සිටි සත්ත්වයන්  සංසාර සාගරයෙන් එතෙර කරන්නා වූ මහා  නෞකාවක් සේ ලෝ සතුන්ට අර්ථ දර්ශනය කරමින් සුවසේ මව් කුසින් බිහි  වූ සේක.

මහා පුරිසෝත්තමයන් වහන්සේ උපන් කෙනෙහි ම බොහෝ කාලයක් සැඟව ගිය කුල  පරම්පරානුයාත නිධානයන්  ධන ස්වාමීහූ ලැබූ  හෙයින් නම් තබන දිනයේහි  “අත්‍ථදස්සී” යැයි නම් තැබූහ.

තරුණ වියට පත් කුමරුවන් හට පිරූ පාරමී ඇති ශෝභා සම්පන්න ස්ත්‍රී රත්නයක් වූ විශාකා කුමරිය සරණ පාවා දුන් අතර  ඇය  ප්‍රධාන තිස් දහසක් ස්ත්‍රී ගණයා පිරිවරමින් තුන් ඍතූන්ට යෝග්‍ය පරම සුරභි ජනක වූ අමරගිරි, සුරගිරි, ගිරිවාහන නම් තුන් මහා ප්‍රාසාදයන් හී  ඉසුරුමත්  වූ රාජ්‍ය  සම්පත් භුක්ති විදිමින් කල් ගෙවූහ. වසර දසදහසක් ගිහිගෙය වාසය කළ බෝධිසත්ත්ව කුමාරයෝ සතර පෙරනිමිති දැකීමෙන් ගිහි ගෙය කළකිරුණු  අතර ස්වකීය අග බිසව වූ විශාකා දේවි සේල කුමරුන් බිහි කළ දවසේ සුදස්සන නම් අශ්ව රාජයා පිට නැගී අභිනික්මන් කොට පැවිදි වූ සේක. ඒ බව ඇසූ මිනිසුන් නව කෝටියක් දෙනා බෝසතුන් අනුව ගොස් පැවිදි වූහ. පැවිද්දන් නව කෝටියක් දෙනා පිරිවරා ගත් බෝධිසත්ත්වයන් වහන්සේ අට මසක් ගෙවෙන තෙක් මහා ප්‍රධන් වීර්ය ය වැඩූහ.

කල්ප කොටි ගණනින් ගෙවී ගිය මුත් ලොවට පහළ නොවන තරමේ අති දුර්ලභ වූ උදාරතර මංගල දිනය එකල උදාපත් වූයේ ය.

වෙසක් මස පුන් පොහෝ දා සියලු නාග ශරීරය ප්‍රදර්ශණය කරමින් සිටි සුචින්‍ධර නම් නාග කන්‍යාව උදෙසා උපහාර පිණිස මහජනයා විසින් රන් තලියක බහාලා ගෙනෙන ලද මධු පායාසය මහ බෝසතුන් උදෙසා පූජා කරන ලදදේ ය. ඒ මී පැණි බහාලා කරන ලද කිරිපිඩු දානය වැළඳූ  බෝධිසත්ත්වයන් වහන්සේ තරුණ වෘක්‍ෂයන් ගෙන් සමලංකෘත වූ තරුණ සල් වනයෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි ධම්මරුචි නම් නාගරාජයා විසින් පූජා කරන ලද කුස තණ මිටි අට රැගෙන ජය භූමියෙහි පිහිටි සපු බෝධි මූලයට වැඩම කළ සේක.

සසර සරණ ලෝ සතුන් හට අමා දොර විවර කරනා විජය පුර වූ බෝධි මූලයේ රියන් පනස් තුනක් පුරාවට ගෙනෙන ලද කුස තණ මිටි අට අතුරා පෙර දිගට මුහුණ ලා වජ්‍රාසනය මත වැඩ හුන් බොධිසත්ත්වයෝ පිරූ අපමණ පාරමී බෙලෙන් මර සෙන් පරදවා ලොව්තුරා සම්බුද්ධ රාජ්‍ය දිනූ සේක. සියලු බුදුවරුන්ගේ සිරිත් පරිද්දෙන්,

“අනේක ජාති සංසාරං – පෙ – තණ්හාණං ඛය මජ්ඣගාති” යි

උදාන වාක්‍ය, ප්‍රීති ඝෝෂාව පවත්වා මහ බෝ සමීපයේ ම සත් සතියක් වැඩ හුන් සේක.

කිසිවකුගේ ආරාධනයක් ලැබෙන තෙක් දහම් නොදෙසීම බුදුවරුනගේ ආචීර්ණ ධර්මතාවය කි. එහෙයින් බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි මහා බ්‍රහ්මරාජයෙකු විසින් ලෝසතුන් සසරින් මුදවාලනු වස් දම් දෙසන සේක්වා යි ආරාධනා කරන ලද්දේ ය. එම ආරාධනය පිළිගත් අත්‍ථදස්සී සර්‍වඥයන් වහන්සේ “කවරෙක් නම් මේ මහා ගාම්භීර ශ්‍රී සද්ධර්මය ප්‍රතිවේද කරගන්නාහ දැයි” ලොව බලන විට තමන් වහන්සේ හා එකට පැවිදි වූ නව කෝටියක් භිකෂු සංඝයා මේ ආර්ය්‍ය ධර්මය අවබෝධ කර ගන්නා බව දැන උන්වහන්සේලා වාසය කරන ස්ථානය වූ අනෝම නගරය සමීපයෙහි වූ අනෝම උද්‍යානයට අහසින් ම වැඩම කර එකී භික්‍ෂුන් පිරිවරමින් දම්සක් පැවතුම් දේශනාව වදාළ සේක. එකල්හී ධර්ම ශ්‍රවණයට  රැස්ව සිටි කෝටි ලක්‍ෂයක් සත්ත්වයින් හට ධර්මාවබෝධය වූහ. මෙය පළමු ධර්මාභිසමය වූයේ ය.

තවද, භාග්‍යවතුන් වහන්සේ දිව්‍ය ලෝකයෙහි ධර්ම චාරිකාවේ හැසිරෙනුයේ එහි රැස් වූ පිරිසට ධර්මය දේශනා කරන විට කෝටි ලක්‍ෂයක් දෙනා ධර්මය අවබෝධ කළහ. එය දෙවන ධර්මාභිසමය විය. එක් කලෙක අත්‍ථදස්සී සර්‍වඥයන් වහන්සේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ තම ගම් පළාත වූ කපිලවස්තු පුරයට වැඩම කළාක් මෙන් සෝභන නගරයට වැඩම කොට රැස් වූ පිරිසට ධර්මය දේශනා කළ සේක. එවිට කෝටි ලක්‍ෂයක් දෙනා ධර්මය අවබෝධ කළහ. ඒ තෙවන ධර්මාභිසමය වූයේ ය.

මෙකල් හී සුචින්‍දක නගරයෙහි රාජ පුත්‍ර වූ ශාන්ත කුමාරයාද පුරෝහිත පුත්‍ර වූ උපශාන්ත කුමාරයාද ත්‍රිවේදයෙහි සියලු සමයාන්තරයන්හී සාරයක් නොදැක නගරයේ සතර දොරටහී නුවණැති පණ්ඩිත මිනිසුන් සිව් දෙනෙකු තබා “නුඹලා යම්කිසි පණ්ඩිත ශ්‍රමණයෙක් හෝ බ්‍රහ්මණයෙක් හෝ දැක්ක හොත් ඒ පිලිබඳ ව ඇසුවහොත් ඒ පුවත අප වෙත පැමිණ සැළකරාවා” යැයි කීවේ ය. එකල්හී අත්‍ථදස්සී ලෝකනාථයන් වහන්සේ ලෝකානුකම්පාවෙන් සුචින්‍දක නගරයට වැඩම කළ සේක. එවිට නවතා සිටි නුවණැති මිනිසුන් ඔවුන් වෙත පැමිණ සුගථාගමනය සැල කළේ ය. එවිට ඒ ශාන්ත උපශාන්ත කුමාරවරු තාථාගතාගමනය පිළිබදව අසා තුටු පහටු සිතින් යුක්තව දහසක් දෙනා පිරිවරන ලදුයේ අසම බල වූ දසබලදාරීන් වහන්සේට පෙර ගමන් කොට සකසා වැඳ දානය සඳහා ආරාධනා කොට සියලු බුදුවරුන් හට ලැබෙන්නා වූ බුද්ධ ශාසනයකදී එක් වරක් පමණක් ලැබෙන්නා වූ ඒ අසදෘෂ්‍ය මහා දානය බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට සත් දිනක් පුරාවට පූජා කොට සත් වැනි දිනයේ සියලු නගරවාසී මිනිසුන් සමග ධර්ම කථා ශ්‍රවණය කළ හ. ඒ දවස් හී අනූ අට ලක්‍ෂයක් දෙනා ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව ලබා අරහත්වය පසක් කර ගත්හ. ඒ පිරිස පිරිවරාගත් බුදුරජාණන් වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කොට වදාළ සේක. එය ප්‍රථම මහා සංඝ සන්නිපාතය වූයේ ය.

යම් කලෙක වනාහී භාග්‍යවතුන් වහන්සේ තම පුත්‍ර රත්නය වූ සේල තෙරුන් වහන්සේට ධර්මය දේශනා කරනුයේ අසූ අට දහසක් දෙනා පහදවා ඒහී භිකෂු භාවයෙන් පැවිදි කරවා අරිහත්වය පසක් කරවා එම පිරිසෙහි ප්‍රාතිමෝක්ෂය උදෙසූ සේක. එය දෙවන ශ්‍රාවක සන්නිපාතය වූයේ ය.

නැවත ද මහා මංගල සමාගමනය සදහා නවම් පුන් පොහෝදා ඒකරාශී වූ දෙව් මිනිසුන් සදහා ධර්මය දේශනා කරනුයේ සැත්තෑ අට දහසක් දෙනා හට උතුම් වූ අරිහත්වය අවබෝධ කරවා ප්‍රාතිමෝක්‍ෂ උදෙසූ සේක.මෙය තෙවන ශ්‍රාවක සන්නිපාතය විය.

එකල්හී අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ චම්පක නගරයෙහි සූසීම නම් ලෝක සම්මත මහාසාල බ්‍රාහ්මනයෙක් ව උපන්හ. උන්වහන්සේ සියලු සම්පත් දිළින්දන්ට පමණක් නොව දුප්පත් පොහොසත් සැම දෙනාට ම දන් දී හිමාල සමීපයට ගොස් තවුස් පැවිද්දෙන් පැවදි වී අෂ්ඨ සමාපත්ති , පඤච අභිඤ්ඤා උපදවා මහානුභාව සම්පන්න මහා ඍද්ධි ඇත්තෙක් වී මහ ජනයා හට කුසලාකුසල කර්මයන් මෙන්  ම සාවද්‍ය නිරවද්‍ය භාවයන් කියා දෙමින් බුද්ධෝත්පාදය බලාපොරොත්තු වෙමින් සිටියහ.

ඉක්බිති පසු කලෙක අත්‍ථදස්සී ලෝකනාථයන් වහන්සේ ලොව පහළ වී ලෝ සතුන් හට කරුණා දියෙන් තෙත් කරන ලද අමා ඔසු පොවමින් සංසාර රෝගය සුවපත් කරමින් ගම් නියම් ගම් දනව් සිසාරා දහම් චාරිකාවේ වැඩම කරමින් සුදර්ශන මහා නගරයට වැඩම කළ සේක. එහි දී සුගත තථාගතයන් වහන්සේ අෂ්ට පර්ෂද් මධ්‍යයෙහි අමෘත දහම් වැසි වස්සවන කල්හී සුගත දම් දියෙන් තෙමී සිසිල් වූ මහා බෝධි සත්ත්වයෝ දෙව් ලොවට ගොස් දිව්‍යමය පරසතු, මදාරා පියුම් ආදී අනේක විද පුෂ්පයෝ දෙව් ලොවින් ගෙනැවිත් තමන් වහන්සේගේ අනේක විධ ඍද්ධි ආනූභාවය දක්වමින් දෘෂ්‍යමාන ශරීරයෙන් ම හිඳ උතුරු කුරු දිවයින, පූර්ව විදේහය, අපර ඝෝයානය හා ජම්බුද්වීපය යන සතර මහා දිවයින් හට එක පැහැර වසින්නා වූ චාතුර්ද්වීපික මහා මේඝය මෙන් හාත් පස මල් වරුසා වැස්ස වූහ. එයින් නොනැවතුන මහා බෝධි සත්ත්වයෝ මල් තොරන්, රන් දැල් ආදියෙහි මල් ගවසා මදාරා පුෂ්පච්ඡත්‍රයෙන් ලෝකනාථ වූ සුගථ තාථාගතයන් වහන්සේ පිදූහ.

එකල්හී ලොව බලා වදාළ තථාගතයන් වහන්සේගේ සර්‍වඥතා ඤාණයෙන් මේ මහා පුරුෂයා මෙයින් කල්ප එකසිය දහඅටක් ගිය තැන ගෞතම නමින් ලොව්තුරා බුදුවන බව දැන

“සෝපි මං තදා ව්‍යාකාසී – අත්‍ථදස්සී මහා මුනී

අට්ඨාරසේ කප්පසතේ – අයං බුද්ධෝ භවිස්සතී”

යැයි තුදුස් වන විවරණයත් බුදු සිරිපා මුවින් ලබා දුන් සේක. ඒ සොදුරු බුදු වදන් ඇසූ අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ අධිකතර ප්‍රීති ප්‍රමෝධයට පත්  වී ලොව්තුරා බුදු බව පිණිස ම බුද්ධකාරක ධර්ම වූ දස පාරමිතාවන් පිරීම අධිෂ්ඨාන කළහ.

මහා කාරුණික සුගථ තථාගත අත්‍ථදස්සී සර්‍වඥයන්  වහන්සේ සන්ත – උපසන්ත නම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම ප්‍රධාන ශ්‍රාවක සංඝයා පිරිවරා ගෙන අභය නම් තෙරුන්ගේ නිබඳ උපස්ථාන ලබමින් ධම්මා – සුධම්මා නම් අග්‍ර ශ්‍රාවිකාවන් ද ඇතිව, අධිෂ්ඨාන නොකර සිටියදී ම  සැම කල්හී හාත්පස යොදුනක් පමණ  බුදු රැස් විහිදෙන අසූරියන් උස ශෝභමාන වූ බුදු සිරුරු ඇතිව ලෝ සතුන් හට පතළ මහා කරුණාවෙන් දුකට පත් වූ සත්ත්වයන් හට දහම් ඇස පහළ කරවමින් නිවන් පුර පමුණුවා වසර ලක්‍ෂයක් ආයු වැළදූ අත්‍ථදස්සී බුදුරජාණන් වහනසේ අනූපම නගරයේ අනෝමාරාමයේ දී අනුපාදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවූණ සේක. බුද්ධ අධිෂ්ඨාන පරිද්දෙන් සර්‍වඥ ධාතූන් වහන්සේලා  රන් දෙණෙහි ඒකඝනව නොපිහිටා සම්භින්නව විසිරී පැවතුණ සේක.

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා.

(බුද්ධවංශ අට්ඨකථාව ඇසුරින්)

සම්පාදක :- විනයාචාර්ය පූජ්‍ය පුවක්පිටියේ සුමංගලරතන හිමි

 පරිගණක අකුරු සැකසුම :- රන්ජිත් මධුසංක