බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ ගමන් කිරීමේ දී ඒ අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්ත යැයි දැන හඳුනාගෙන ශ්‍රද්ධාව උපදවා ගැනීම ඉතා වැදගත් වේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය භාවනා වශයෙන් වැඩීම බුද්ධානුස්මෘතිය යි. නව අරහාදි ගුණ එකිනෙක විස්තර වශයෙන් භාවනාව වඩන තැනැත්තාට උපකාරී වීම පිණිස ඉදිරිපත් කරන බුදුගුණ විස්තරයේ ‘ලොකවිදු’ ගුණය පිළිබඳ තවත් කොටසක් මෙම ලිපියෙන් දැක්වේ.

ලොකවිදු ගුණ භාවනාව ඉතිරිය
භාග්‍යවතුන් වහන්සේ ලෝකය, ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරොධ වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද සර්වප්‍රකාරයෙන් ම දන්නා හෙයින් ‘ලෝකවිදූ’ නම් වන සේක. එසේ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරන ලද ලෝකය තිස්එක් භූමි තලයකින් සමන්විත වන අතර එහි මිනිස්ලොව සහ දිව්‍යලෝක සය පිළිබඳ ඉහත විස්තර කරන ලදී.

රූපාවචර බ්‍රහ්මලෝක
යම් පුද්ගලයෙක් ප්‍රථමධ්‍යානාදිය උපදවා එකී ධ්‍යානයෙන් නොපිරිහී කලුරිය කළේ වී නම් මරණින් මතු රූපාවචර බ්‍රහ්මලෝකයක උපදී. එසේ උපත සිදුවන බඹලොව දහසයක් (16) පිළිබඳව සඳහන් වේ. මේවා එකිනෙක ධ්‍යාන භේදය අනුව මෙසේ දැක්විය හැකි වේ.
ප්‍රථමධ්‍යාන භූමි
ප්‍රථමධ්‍යානය වඩා නොපිරිහුණු ධ්‍යානයෙන් යුතුව කලුරිය කොට උපත ලබන රූපාවචර බ්‍රහ්මලෝක තුනක් වෙති. මේවා සමතලයක පිහිටා තිබේ. එනම් පරනිම්මිතවසවර්ති දිව්‍යලෝකයෙන් මත්තෙහි යොදුන් පණස්පන්ලක්‍ෂ අටදහසක් (5,508,000) ඉහළින් පිහිටා තිබේ. එකිනෙක බ්‍රහ්මයන්ගේ ආයුෂ පමණක් වෙනස් වේ. මේ බඹතල තුනේ ම උපදනා බ්‍රහ්මයෝ එක ම රූපාවචර ප්‍රථමධ්‍යාන විපාක සිතෙන් ප්‍රතිසන්‍ධි ගනී.
1. බ්‍රහ්මපාරිසජ්ජය
මහාබ්‍රහ්මයන්ගේ පිරිස වූ මෙහෙකරුවන් වූ බ්‍රහ්මයෝ බ්‍රහ්මපාරිසද්‍ය නම් වෙති. විභඩ්ගප්‍රකරණයෙහි සඳහන් වන ආකාරයට ප්‍රථමධ්‍යානය මඳ වූ ඡන්ද, චිත්ත, විරිය, වීමංසාවන්ගෙන් යුතුව වඩා මෙම බ්‍රහ්මපාරිසද්‍යයේ උපත ලබති. මෙහි ආයුෂ අසංඛ්‍ය කල්පයකින් 1/3 කි.
2. බ්‍රහ්මපුරෝහිතය
මහාබ්‍රහ්මයන්ගේ පුරෝහිත භාවයෙහි සිටියා වූ බ්‍රහ්මයෝ බ්‍රහ්මපුරෝහිත නම් වෙති. ප්‍රථමධ්‍යානය මධ්‍යම වූ ඡන්ද, චිත්ත, විරිය, වීමංසාවන්ගෙන් යුතුව වඩා මෙම බ්‍රහ්මපුරෝහිතයේ උපත ලබති. අසංඛ්‍ය කල්පයකින් 1/2 ක් ආයුෂ වේ.
3. මහාබ්‍රහ්මය
වර්ණවත් බැවින් ද, දීර්ඝායුෂ්ක වන බැවින් ද මහත් වූ බ්‍රහ්මයෝ මහාබ්‍රහ්ම නම් වෙති. ප්‍රථමධ්‍යානය ප්‍රණීතව වඩා මෙහි උපත ලබති. මොවුන් සහස්සබ්‍රහ්ම, ද්විසහස්සබ්‍රහ්ම ආදි වශයෙන් වෙති. සක්වළ දහසකට අධිපති වූවෝ සහස්සබ්‍රහ්ම නම්වෙති. සක්වළ දෙදහසකට අධිපති ද්විසහස්සබ්‍රහ්ම නම් වෙති. අසංඛ්‍ය කල්පයක් ආයුෂ වේ.

ද්විතීයධ්‍යාන භූමි
ද්විතීයධ්‍යානය උපදවා නොපිරිහී කලුරිය කර උපතලබන බඹතල තුනක් සඳහන් වෙති. ඒ අනුව (චතුෂ්ක ක්‍රමයට) රූපාවචර ද්විතීයධ්‍යාන විපාක සිතින් මෙම බඹතල තුනේ ම ප්‍රතිසන්‍ධි ගනී. ධ්‍යාන පඤ්චක ක්‍රමයට නම් ද්විතීය හා තෘතීය ධ්‍යාන විපාක සිත් දෙකින් ම ප්‍රතිසන්‍ධි ගන්නේ මෙම ද්විතීය ධ්‍යාන බඹතලයන්හි වේ. මේවා ප්‍රථමධ්‍යාන භූමියෙන් යොදුන් පණස්පන්ලක්‍ෂ අටදහසක් (5,508,000) මත්තෙහි සමානතලයක පිහිටා තිබේ. එකිනෙක බ්‍රහ්මයන්ගේ ආයුෂ පමණක් වෙනස් වේ.
1. පරිත්තාභ (4)
අල්ප වූ ආලෝකයක් ඇති බ්‍රහ්මයන් පරිත්තාභ නම් වෙති. ද්විතීයධ්‍යානය මඳ වශයෙන් උපදවා නොපිරිහී කලුරිය කර මෙම බඹතලයේ උපත ලබති. මහාකල්ප දෙකක් ආයුෂ වේ.
2. අප්පමාණාභ (5)
අප්‍රමාණ වූ ආලෝකයක් ඇති බ්‍රහ්මයන් අප්පමාණාභ නම් වෙති. ද්විතීයධ්‍යානය මධ්‍යමවශයෙන් උපදවා මෙහි උපත ලබති. මහාකල්ප 4 ක් ආයුෂ වේ.
3. ආභස්සර (6)
දඬුවැටපහනෙන් ගිනිදැල් විහිදෙන්නාක් වැනි වූ ආලෝකයක් ශරීරයෙන් විහිදෙන්නා වූ බ්‍රහ්මයෝ ආභස්සර නම් වෙති. ද්විතීයධ්‍යානය ප්‍රණීත වශයෙන් උපදවා මෙහි උපත ලබති. මහාකල්ප 8 ක් ආයුෂ වේ.

තෘතීයධ්‍යාන භූමි
රූපාවචර තෘතීයධ්‍යානය උපදවා නොපිරිහී කලුරිය කර උපතලබන බඹලොව තුනක් සඳහන් වේ. ඒ අනුව රූපාවචර තෘතීයධ්‍යාන (පඤ්චක ක්‍රමයට නම් චතුර්ත්‍ථ ධ්‍යානය) විපාක චිත්තයෙන් මෙම බඹතල තුනේ ම ප්‍රතිසන්‍ධි ගනී. ද්විතීයධ්‍යාන බඹතලයෙන් යොදුන් පණස්පන්ලක්‍ෂ අටදහසක් (5,508,000) මත්තෙහි එක ම තලයක මෙම බඹලොව තුන ම පිහිටා ඇත.
1. පරිත්තසුභ (7)
එකඝන වූ නිශ්චල ආලෝකය සුභ නම්වේ. අල්ප වූ එකඝන වූ නිශ්චල ආලෝකයක් ඇති බ්‍රහ්මයන් පරිත්තසුභයේ වාසය කරති. රූපාවචර තෘතීයධ්‍යානය මඳ වශයෙන් වඩා මෙහි උපත ලබයි. මහාකල්ප 16 ක් ආයුෂ වේ.
2. අප්පමාණසුභ (8)
අප්‍රමාණ වූ ඒකඝන නිශ්චල ආලෝකයක් ඇති බ්‍රහ්මයන් අප්පමාණසුභ නම් වෙති. ඔවුන්ගේ වාසභූමිය අප්පමාණසුභය නම් වේ. තෘතීය ධ්‍යානය මධ්‍යම වශයෙන් වඩා මෙහි උපත ලබයි. මහාකල්ප 32 ක් ආයුෂ වේ.
3. සුභකිණ්හ (9)
සුභ නම් වූ ඒකඝන නිශ්චල ආලෝකයෙන් ගැවසීගත්තා වූ බ්‍රහ්මයන් සුභකිණ්හක නම් වේ. ඔවුහු සිය ශරීරප්‍රභාවෙන් එකඝනව, රන් මඤ්ජුසාවක තබන ලද ඉතා පැහැපත්ව දිලිසෙන රන් පිඬක් සේ සශ්‍රීක යැයි සඳහන් වේ. එබැවින් සුභකිණ්හක නම් වෙති. රූපාවචර තෘතීයධ්‍යානය ප්‍රණීත වශයෙන් වඩා මෙහි උපත ලබයි. මහාකල්ප 64 ක් ආයුෂ වේ.

චතුර්ථධ්‍යාන භූමි
රූපාවචර චතුර්ථධ්‍යානය (පඤ්චක ක්‍රමයට පඤ්චමධ්‍යානය) උපදවා නොපිරිහී කලුරිය කර උපත ලබන බඹතල තුනක් පිළිබඳ සඳහන් වේ. මේ අතරින් වේහප්ඵලය සහ අසංඥසත්තය තෘතීයධ්‍යාන භූමිය මත්තෙහි යොදුන් පණස්පන්ලක්‍ෂ අටදහසක් (5,508,000) ඉහළින් එක ම තලයක පිහිටා තිබේ. ඉන් මත්තෙහි යොදුන් පණස්පන්ලක්‍ෂ අටදහස බැගින් ඉහළට සුද්ධාවාස බඹලොව පස එකිනෙකට උඩින් පිහිටා තිබේ.
1. වේහප්ඵල (10)
ධ්‍යානානුභාවයෙන් හටගත් මහත් වූ විපාකයෝ මොවුන්ට ඇති බැවින් වේහප්ඵල නම් වෙති. මහාකල්ප 500 ක් ආයුෂ වේ.
2. අසංඥසත්වය (11)
සංඥා විරහිත වූ සත්වයන්ගේ උත්පත්තිය සිදුවන බඹතලය අසංඥ සත්වය නම් වේ. ඇතැම් කෙනෙක් තීර්ථායතනයන්හි පැවිදිව වායෝ කසිණ භාවනාවෙන් චතුර්ථධ්‍යානය උපදවා එයින් නැගී සිට, ‘සිත නිසාවෙන් ම රාග ද්වේෂ මෝහයන් ඇති වේ’ යැයි සිතේ දොස් දැක ‘අචිත්තක බව ම හෙවත් සිතක් නැති බව ම සුදුසු යැ’යි ඒ සිත නැති බව මේ ආත්මභාවයේ ම නිර්වාණය වන්නේ යැයි සිතා සංඥා විරාග භාවනා කරති. ඒ සංඥා විරාග භාවනාවෙන් පඤ්චමධ්‍යානය සමාපත්තිය වඩා මේ අසංඥසත්වයේ උපත ලබති.
ඔවුන්ට උත්පත්තික්‍ෂණයෙහි රූපස්කන්‍ධය පමණක් ම පහළ වේ. එය ද කිසියම් ඉරියව්වකින් පහළ වූයේ නම් මහාකල්ප 500 ක් ඒ ඉරියව්වෙන් ම අචිත්තකව හිඳ චුත වේ. එවිට කාමාවචර සංඥාව ඉපිද මේ කාමභූමියෙහි (මිනිස් ලොව) උපදී. රූපස්කන්‍ධය පමණක් පහළ වන බැවින් මෙම අසංඥ තලය ‘එක වෝකාර භවය’ ලෙස ද හැඳින්වේ.

“ඒ භාග්‍යවතුන් වහන්සේ මේ සියලු ලෝකයන් ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරොධ වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද සර්වප්‍රකාරයෙන් ම දන්නා හෙයින් ‘ලෝකවිදූ’ නම් වන සේක.” යැයි ලෝකවිදූ ගුණය වැඩිය යුතු වේ.

මතු සම්බන්ධයි.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි