බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ ගමන් කිරීමේ දී ඒ අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්ත යැයි දැන හඳුනාගෙන ශ්‍රද්ධාව උපදවා ගැනීම ඉතා වැදගත් වේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය භාවනා වශයෙන් වැඩීම බුද්ධානුස්මෘතිය යි. නව අරහාදි ගුණ එකිනෙක විස්තර වශයෙන් භාවනාව වඩන තැනැත්තාට උපකාරී වීම පිණිස ඉදිරිපත් කරන බුදුගුණ විස්තරයේ ‘ලොකවිදු’ ගුණය පිළිබඳ තවත් කොටසක් මෙම ලිපියෙන් දැක්වේ.

ලොකවිදු ගුණය ඉතිරිය
අවකාශ ලෝකය, සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය යන ත්‍රිවිධ ලෝකයන් ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරෝධය වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද නිරවශේෂයෙන් අවබෝධ කළ බැවින් තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක. ඒ මේ ලෝකය තිස් එක් භූමි තලයකින් සමන්විත වන අතර එහි මිනිස් ලොව, සදිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සහ අපාය භූමි අතරින් අට මහා නරකයන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ දේශනය පරිදි විස්තර කරන ලදී. ඒ අට මහා නිරයයන්ට අමතරව කුඩා ඔසුපත් නරක යනුවෙන් තවත් දුගති භූමි කොටසක් ඇත. ඒ පිළිබඳව මෙම ලිපියෙන් දැක්වේ.

කුඩා නරක/ඔසුපත් නරක
එක් එක් මහා නිරයට පිටින් සතර පැත්තේ එක් එක් දිශාවේ ඒ මහා නිරයට පිරිවර වශයෙන් කුඩා නරක සතර (4) බැගින් ඇත්තේය. ඒවා උස්සද නරක හෙවත් ඔසුපත් නරක නම් වේ. ඒ අනුව එක් මහා නිරයකට සතර පැත්තේ සතර බැගින් ඔසුපත් නරක දහසයක් (16) ඇත. අටමහා නිරයට ම ඔසුපත් නරක 128ක් ඇත. ගූථනරකය, කුක්කුලනරකය, සිම්බලිවනය, අසිපත්තවනය, වේතරණී නදිය, ලෝහකුම්භි නරකය ආදි නම් වලින් හැඳින්වෙන්නේ මෙම නරකයන් වේ.

දේවදූත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ දීර්ඝ කාලයක් ගතවූ පසු යම් කලෙක ඒ අවීචි මහානිරයේ පෙරදිග දිශාවේ දොර විවරවේ. නිරයේ පැසෙන සත්වයා ඒ දැක ඒ දොරටුවෙන් පිටතට නික්මිමට දිව යයි. එසේ දිව යනවිට ඔහුගේ සිවිය ද, සම ද, මස ද, නහාරු ද, ඇට ද, ඇටමිදුලු ද පිළිස්සේ. එයින් මහත් දුකකට පත් වේ. එහෙත් තමන්ගේ කර්මවිපාකය අවසන් නොවූ බැවින් මරණයට පත් නොවේ.
එසේ දිවගොස් පෙරදිග දොරටුවෙන් ඉවතට යන ඒ නිරිසත්වයා ගූථනරකය නම් කුඩා නිරයට වැටේ. එහි හිදිකටු තුඩු බඳු තුඩ සහිත ප්‍රාණීන් ඇති අතර ඔවුහු සිවිය, සම්, මස්, නරහ, ඇට සිඳ පිවිස ඇටමිදුලු කා දමයි. එයින් මහත් දුකකට පත්වේ. එහෙත් අකුසල විපාකය අවසන් වනතෙක් මරණයට පත් නොවේ.

ඒ ගූථනිරයේ සිටින සත්වයා එයින් ඊට අනතුරුව ඇති කුක්කුල නිරයේ වැටේ. එහි දී ද නොයෙක් දුක්විඳී. ඒ කුක්කුල නිරයට අනතුරුව සිම්බලීවනය නම් නිරය ඇති අතර එහි සියක් යොදුන් උස ඇති, සොළොස් අඟුල් කටු ඇති, ගිනිගෙන දැවෙන මහත් හිඹුල්ගස් වෙති. ඔහු ඒ හිඹුල්ගස්හි නංවනු ලැබෙයි. එයින් ද මහත් දුකකට පත්වේ. ඒ සිම්බලීවනයට අනතුරුව අසිපත්වනය වේ. ඔහු එහි පිවිසෙයි. ඒ අසිපත් වනයේ ඇති අසිපත් වාතයෙන් සැලී නිරිසත්වයාගේ අත් ද, පා ද, කන්, නාසාදිය ද සිඳියි. එයින් ද මහත් දුකකට පත්වේ. ඒ අසිපත්වනයට අනතුරුව වේතරණී නම් තඹ ලෝදිය නදියක් වෙයි. ඔහු එහි වැටී ඉහළට ද පහළට ද ගසාගෙන යයි. එයින් ද මහත් දුකකට පත්වේ. එහෙත් කර්මවිපාකය අවසන් නොවන්නේ නම් මරණයට පත් නොවේ.

අනතුරුව නිරිපල්ලෝ බිලීකොකු වලින් ඒ සත්වයන් උඩට ගෙන ‘කුමක් කැමති වේ දැ’යි විමසා පිපාසා බව දැන්වූ කල්හි රත් වූ යකඩ අඩු වලින් මුව විවර කොට ලොහොදිය පොවති. මෙසේ දුක් විඳි නමුදු කර්මවිපාකය ගෙවී යන තාක් මරණයට පත් නොවේ. අවසන් නොවන දුක් සමුදායක් පමණක් ම පවතී.

තව ද මහාපදාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ නිතර විවරව පවතින්නා වූ යටින් ද පිහිටීමක් නැත්තා වූ ඇස් අඳුරු කරවන ගණ අඳුරක් ඇත්තා වූ ලෝකාන්තරික නිරය නම් නිරයක් ඇති බව දේශනා කරන සේක. ඒ පිළිබඳ අර්ථකථාවේ සඳහන් වන්නේ සක්වල තුනක් අතරෙහි එක් ලෝකාන්තරික නිරයක් ඇති බවයි. එය කරත්ත රොද තුනක් එකිනෙක හපා තැබූ විට මැද ඇති වන අවකාශය වැනි වේ. එය ප්‍රමාණයෙන් යොදුන් අටදහසක් වේ. මව්පියන්ට ධාර්මික ශ්‍රමණබ්‍රාහ්මණයන්ට අපරාධ කිරීම්, දිනපතා ප්‍රාණඝාතාදිය කිරීම් ආදි ඉතා දරුණු වූ අකුසල කර්ම කළවුන් මෙහි උපදින බව සඳහන් වේ. ඔවුන්ගේ සිරුර ගවු තුනක් පමණ වේ. වවුලන්ගේ මෙන් දිගු නිය ඇති අතර ඔවුහු වවුලන් මෙන් නිය වලින් සක්වල ගලේ එල්ලී සිටිති. යම් හෙයකින් තල්ලු වී අනෙක් සත්වයෙක් ළඟට ගිය විට ඔහුට ආහාරයක් ලැබුණේ යැයි අල්ලාගැනීමට තැත් කරන අතර එයින් පෙරළී ලෝකය දරන්නා වූ දියෙහි වැටේ. සුළඟ හමන විට ද එල්ලී සිටිය නොහැකිව ඇදගෙන දියෙහි වැටේ. දියෙහි වැටෙනවාත් සමඟ ම ඒ දිය අතිශය ශීතල වූ බැවින් ලුණු දියෙහි පිටිපිඩක් දියවී යන්නා සේ දියවී යයි.

මෙසේ ලෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනය අතිශය විසිතුරු ය. සාමාන්‍ය පුද්ගලයන්ට දැකිය නොහැකි වූ සමස්ථ ලෝකය පිළිබඳ ඒ භාග්‍යවතුන් වහන්සේ නිරවශේෂයෙන් අවබෝධ කරගෙන වදාළ සේක. එහෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක.
ලෝකයට අයත් සතර අපාය භූමි අතරින් නරකය පිළිබඳව පමණක් මෙහි විස්තර කරන ලදී. තිරිසන් අපාය අප කා හටත් ප්‍රකටව පවතී.
ප්‍රේත අපාය පිළිබඳව ද බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් දේශනා කර ඇත. ප්‍රේතයන් ජාති වශයෙන් දොළොස්වැදෑරුම් බව සඳහන් වේ. එනම්, වන්තාසක, කුණපඛාදක, ගූථඛාදක, අග්ගිජාලමුඛ, සුචිමුඛ, තණ්හට්ටිත, සුනිජ්ඣාමක, සත්‍ථඩ්ග, පර්වතඩ්ග, අජගරඩ්ග, වේමානික, මහිද්ධික යනුවෙනි. එසේ ම අර්ථකථාවන්හි පරදත්තූපජීවී, ඛුප්පිපාසික, නිජ්ඣාමතණ්හික, කාලකඤ්ජික යනුවෙන් ප්‍රේතයන් ප්‍රධාන කොටස් හතරක් බව සඳහන් වේ.

අසුර අපායෙහි සිටින සත්ත්වයන් ලෙස හැඳින්වෙන්නේ ප්‍රේත අසුරයන් වේ. අසුර ශබ්දය සත්ත්වකොට්ඨාශ කිහිපයකට ව්‍යවහාර වන අතර ප්‍රධාන වශයෙන් දේව අසුර, ප්‍රේත අසුර යැයි දෙකොටසකි. එයින් ප්‍රේත අසුරයන් විනිපාතික, කාලකඤ්ජික යැයි දෙකොටසකි. එසේ ම ඇතැම් පොතක දේව අසුර, විනිපාතික අසුර, වේමානික අසුර, ලෝකන්තරික අසුර, ප්‍රේත අසුර යනුවෙන් අසුරයන් ප්‍රධාන කොටස් පසක් ලෙස ද සඳහන් වේ.
මේ තිස්එක් තලයේ සහ ඉන් එපිට වාසය කරන සියලුම සත්වයන් සත්වලෝකය ලෙස හැඳින්වේ. එම සත්වලෝකය සප්ත විඥානස්ථිතියක් ලෙස, නව සත්තාවාසයක් ලෙස, ලෝක නවයක් ලෙස, පඤ්චස්කන්‍ධයක් ලෙස, දොළොස් ආයතනයක් ලෙස, ධාතු දහ අටක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.

මෙසේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මේ සියලු ලෝකයන් ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරොධ වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද සර්වප්‍රකාරයෙන් ම දන්නා හෙයින් ‘ලෝකවිදූ’ නම් වන සේක.” යැයි ලෝකවිදූ ගුණය වැඩිය යුතු වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි