අප සරණගිය බුදුරජාණන් වහන්සේ අනුත්තරපුරිසදම්මසාරථි නම් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේට වඩා ශීලයෙන් ද සමාධියෙන් ද ප්‍රඥාවෙන් ද විමුක්තියෙන් ද විමුක්තිඥානදර්ශන ගුණයෙන් ද උත්තරීතර වූ අන් කිසිවෙකුත් නොමැති බැවින් ‘අනුත්තර’ නම් වන බව පසුගිය ලිපියෙන් දක්වන ලදී. මෙම ලිපියෙන් බුදුරජාණන් වහන්සේගේ පුරිසදම්මසාරථි ගුණය විස්තර වේ.

ඒ භාග්‍යවතුන් වහන්සේ දමනය කළ යුතු පුරුෂයන් දමනය කළ බැවින් ‘පුරිසදම්මසාරථි’ නම් වන සේක. පුරිසදම්ම යන්නෙන් නොදැමුණු, දමනය කිරීමට සුදුසු වූ තිරිසන්ගත පුරුෂයෝ ද මනුෂ්‍ය පුරුෂයෝ ද අමනුෂ්‍ය පුරුෂයෝ ද අදහස් වේ. භාග්‍යවතුන් වහන්සේ ඒ සියලු දෙනා දමනය කළ බැවින් පුරිසදම්මසාරථි නම් වන සේක.

භාග්‍යවතුන් වහන්සේ විසින් අපලාල නාගරාජයා, අරවාළ නාගරාජයා, නාලාගිරි හස්තිරාජයා ආදි තිරිසන්ගත සත්වයන් දමනය කරන ලදී. එසේ ම අංගුලිමාල ය, සච්චක ය, අම්බට්ඨමානවක ය, පොක්ඛරසාති ආදි බ්‍රාහ්මණවරු ය, උපාලි ගෘහපති ආදි ගෘහපතිවරු යනාදි මනුෂ්‍ය පුරුෂයෝ ද දමනය කර සරණ සිල්හි පිහිටුවන ලදී. එසේ ම ආළවක, සුචිලෝම, ඛරලෝමාදි යක්‍ෂයන් ද ශක්‍ර දේවේන්ද්‍රයා ය, බක බ්‍රහ්මයා ය ආදිකොට ඇති අමනුෂ්‍ය පුරුෂයන් ද විසිතුරු වූ විනයන උපායයන්ගෙන් දමනය කළ සේක. මෙසේ තිරිසන්ගත වූ ද මනුෂ්‍ය වූ ද අමනුෂ්‍ය වූ ද පුරුෂයන් දමනය කරන ලද බැවින් පුරිසදම්මසාරථි නම් වේ. දමනය කළ යුතු මාගමුන් ඇත ද උතුම් බව වශයෙන් පුරුෂයන් ම කියන ලදී.

දමනය කළ යුතු පුද්ගලයෝ නම් ලෝකයේ කායබල, ධනබල, ඥානබල ආදි කිසියම් බලයක් නිසාවෙන් මත් වී ගරු කළයුත්තන්ට ගරු නො කරමින් යටත් විය යුත්තන්ට යටත් නො වෙමින් අනුන්ට කරදර කරමින් ගුණවතුන්ට අවමන් කරමින් හැසිරෙන අයයි. මෙසේ කාය බලාදිය නිසාවෙන් නොදැමුණු පුද්ගලයන් කාය බල ආදියෙන් ම දමනය කිරීම ලෝකයේ සාමාන්‍යයෙන් සිදු වේ. රජවරු තම රටේ වෙසෙන සොර සතුරන් දමනය කරන්නේ මේ අයුරිනි. එහෙත් එසේ දමනය කිරීමෙන් දමනය වන තැනැත්තාට සැම විට ම යහපතක් සිදු නොවේ. ඇතැම් විට මරණයට පත් වීමට ද සිදු වේ. එසේ නැතහොත් තමන්ට යළි බලය ලැබුණු විට පෙර තත්වයට ම පත් වේ. එබැවින් කාය බල ආදිය උපයෝගී කරගෙන මැඩපවත්වමින් යම් කෙනෙක් දමනය කරයි නම් එය සැබෑ දමනය කිරීමක් නො වේ.

තථාගතයන් වහන්සේ පුරුෂයන් දමනය කරන්නේ එසේ කිසිවෙකුට අයහපතක් සිදු වන ආකාරයෙන් නොවේ. තථාගතයන් වහන්සේලා නොයෙක් විසිතුරු විනයන උපායයන්ගෙන් දැමිය යුතු පුරුෂයන් දමනය කරති. දඬු මුගුරු ගැනීමක් නොමැතිව, තමන් වහන්සේගේ කරුණා ගුණ මහිමයෙන් ම දමනය කළ යුතු පුද්ගලයන් දමනය කරන සේක.

අංගුත්තර චතුෂ්ක නිපාතයේ කේශී සූත්‍රයේ දැක්වෙන අන්දමට දිනක් කේශි නමැති අශ්වයන් දමනය කරන්නා බුදුරජාණන් වහන්සේ වෙත එළඹ සිටි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් අශ්වයන් දමනය කරන ආකාරය විමසා සිටියහ. එහි දී ඔහු කියා සිටියේ “ස්වාමීනි, මම මෙළෙකින් ද රළුයෙන් ද ඒ දෙකෙන් ම ද අශ්වයන් දමනය කරමි” යනුවෙනි. එසේ මෙළෙකින් හෝ රළුයෙන් හෝ ඒ දෙකෙන් ම දමනය කළ නොහැකි අශ්වයන්ට කුමක් කරන්නේ දැ යි අසා සිටි විට ඔහු පැවසුවේ එම අශ්වයන් තමන්ගේ ඇදුරු පරපුරට අවමානයක් වන බැවින් මරා දමන බවයි.

අනතුරුව කේශී විසින් අසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ අනුත්තර පුරිසදම්මසාරථි වන බැවින් පුරුෂයන් දමනය කරන ආකාරය කෙසේ ද යන්නයි. එහි දී භාග්‍යවතුන් වහන්සේ ද “කේශී, මම ද දමනය කළ යුතු පුරුෂයන් මෙළෙකින් ද රළුයෙන් ද ඒ දෙකෙන් ම ද හික්මවමි” යැයි වදාළ සේක.
මෙහි දී බුදුරජාණන් වහන්සේ වදාළ මෙළෙකින් හික්මවීම නම් කාය, වාක්, මනෝ සුචරිතයන්ගේ විපාක දක්වමින් එයින් සුගතියේ උපත ලබන බව දේශනා කර කාය වාක් මනෝ සුචරිතයට අනුශාසනා කිරීමයි. රළුයෙන් හික්මවීම නම් කාය වාක් මනෝ දුශ්චරිතයේ ආදීනව දේශනා කොට එයින් දුගතියේ උපත ලබන බව කියා දී ත්‍රිවිධ දුශ්චරිතයෙන් වැළකීමට අනුශාසනා කිරීමයි. මේ දෙයාකාරයෙන් ම අනුශාසනා කිරීම ද භාග්‍යවතුන් වහන්සේ විසින් කරනු ලැබේ.

මෙහි දී කේශී විසින් අසන ලද්දේ යම් හෙයකින් මේ තුන් ආකාරයෙන් ම හික්මවිය නොහැකි පුද්ගලයෙක් සිටී නම් ඒ අයට කුමක් කරන්නේ ද කියා ය. එහි දී බුදුරජාණන් වහන්සේ “කේශී, ඒ තුන් ආකාරයෙන් ම හික්මවිය නොහැකි නම්, මම ද ඔහු මරමි” යැයි පිළිතුරු දුන්හ. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ කවර හෝ අනුශාසනයකින් හික්මවාලිය නොහැකි පුද්ගලයා අවවාද නොකළ යුත්තෙක් යැයි සලකා බැහැර කරන බවයි. එය මෙම ආර්ය විනයෙහි මරණයට පත් කිරීම හා සමාන බව ද වදාළ සේක. මෙසේ තථාගතයන් වහන්සේ නොයෙක් විසිතුරු විනයන උපායයන්ගෙන් දැමිය යුතු සත්ත්වයන් දමනය කළ සේක.
මෙපමණක් නොව භාග්‍යවතුන්වහන්සේ පිරිසිදු ශීලයක පිහිටි පුද්ගලයන්ට ප්‍රථමධ්‍යානාදිය අධිගමනය කිරීමට මඟපෙන්වීමෙන්, ප්‍රථමධ්‍යානලාභීන්ට ද්විතීයධ්‍යානාදියට මඟපෙන්වීමෙන් යනාදි ලෙස මතු මත්තෙහි විශේෂ අධිගමය පිණිස අනුශාසනා කිරීමෙන් ද පුරුෂයන් දමනය කරන සේක. එසේ ම සෝතාපන්නාදි මාර්ගඵලයනට පත් වූ අයට මතු මත්තෙහි මාර්ග ඵල ප්‍රතිලාභය පිණිස පිළිවෙත් කියා දීමෙන් දමනය වූ පුද්ගලයන් ද දමනය කරන සේක.
මෙසේ තථාගතයන් වහන්සේ සර්වාකාරයෙන් ම දමනය කළ යුතු පුද්ගලයන් මෙන් ම දමනය වූ පුද්ගලයන්ට ද මතු මත්තෙහි විශේෂාධිගමය පිණිස අනුශාසනයෙන් ඒ දමනය වූ අය ද දමනය කරන හෙයින් පුරිසදම්මසාරථි නම් වන සේක.

එසේ ම මෙම අනුත්තරපුරිසදම්මසාරථි යන්න එකම වාක්‍යයක් ලෙස ගෙන ද අර්ථය දක්වනු ලැබේ. එනම් යම් සේ පුද්ගලයෙක් එක ම පළඟකින් හිඳ අෂ්ට සමාපත්තීන් ම හෝ අෂ්ටාභිභායතනයන් ම උපදවන්නේ ද එසේ භාග්‍යවතුන් වහන්සේ පුරුෂයන් දමනය කරන සේක. මේ බව බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිමනිකායේ උපරිපණ්ණාසකයේ සළායතන විභඩ්ග සූත්‍රයේ විස්තර වශයෙන් දේශනා කළ සේක. ඇතුන්, අශ්වයන් දමනය කරන පුද්ගලයන් ඒ ඇත්, අශ්වයන් ධාවනය කරන්නේ එක ම දිශාවකට වේ. එහෙත් ශාස්තෘන් වහන්සේ දමනය කරන පුද්ගලයා එක ම ඉරියව්වෙන් අෂ්ට දිශාවන්ට ම ද පෙර නොගිය නිරෝධ සමාපත්තිය, නිර්වාණය දෙසට ද මෙහෙයවන සේක. එහෙයින් තථාගතයන් වහන්සේ අනුත්තරපුරිසදම්මසාරථි නම් වන සේක.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ දමනය කළ යුතු පුරුෂයන් නොයෙක් විසිතුරු විනයන උපායයන්ගෙන් දමනය කළ බැවින් ‘අනුත්තරපුරිසදම්මසාරථි’ නම් වන සේක.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි