අප සරණ ගිය තථාගත සම්මාසම්බුදුරජාණන් වහන්සේ ‘සම්මාසම්බුද්ධ’ වන බව මීට ඉහත පැහැදිලි කර දෙන ලදී. එසේ ම උන්වහන්සේ ‘බුද්ධ’ නම් ගුණයෙන් ද සමන්වාගත වන සේක. මේ ගුණ දෙක අතර වැඩි වෙනසක් දක්නට නොලැබේ. එහෙත් සම්මාසම්බුද්ධ ගුණයෙන් අවධාරණය කරන්නේ බුදුරජාණන් වහන්සේ පරෝපදේශ රහිතව ම චතුරාර්ය සත්‍යය මැනවින් අවබෝධ කළ බවයි. බුද්ධ ගුණයෙන් අවධාරණය කරන්නේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය මැනවින් ම අවබෝධ කරගෙන ලෝක සත්ත්වයාට ද අවබෝධ කරවීමෙහි සමර්ථ වූ බවයි.

බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තත්ත්වාකාරයෙන් අවබෝධ කොට වදාළ සේක. එසේ ම පන්සාළිස් වසරක් මුළුල්ලේ නොයෙක් ආකාරයෙන් අන් සත්ත්වයන්ට ද අවබෝධ කරවූ සේක. තමා ලත් දෙය ‌දොර වසාගෙන අනුභව කරන මසුරු පුද්ගලයෙක් මෙන් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය සඟවාගෙන ආත්මාර්ථය පමණක් සලකාගෙන සිටියේ නොවේ. දොර හැර දන්දෙන කෙනෙක් මෙන්, දන් දිය හැකි තැන් සොය සොයා දන් දෙන්නාක් මෙන් ලෝකසත්ත්වයන්ට චතුරාර්ය සත්‍යය අවබෝධ කරවීම නමැති ලෝකාර්ථ චර්යාවෙහි නිරත වූ සේක. එසේ හෙයින් බුද්ධ නම් වන සේක.

ලෝකයේ අවබෝධ කරගත යුතු දේ ඥෙය්‍ය ධර්ම නම් වේ. එසේ ලෝකයේ ඥෙය්‍ය ධර්ම යැයි යම් කිසි දෙයක් තිබේ නම් බුදුරජාණන් වහන්සේ ඒ සියල්ල නිරවශේෂයෙන් ම අවබෝධ කළ සේක. එසේ හෙයින් තථාගතයන් වහන්සේ අර්හත් මාර්ගඥානය කෙළවර ලබන සර්වඥතාඥානයේ වශයෙන් බුද්ධ නම් වේ.

පටිසම්භිදාමග්ගපාළියේ දක්වා ඇත්තේ බුදුරජාණන් වහන්සේ තුදුස් ඥානයකින් සමන්වාගත වන බැවින් බුද්ධ නම් වන බවයි. එනම් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ද සාධාරණ ඥාන අටකින් ද අසාධාරණ ඥාන සයකින් ද සමන්වාගත වන සේක. චතුරාර්ය සත්‍ය ඥාන සතර සහ සිව් පිළිසිඹියා ඥාන ශ්‍රාවකයන්ට ද සාධාරණ වේ. දුක්ඛාර්යසත්‍යය දන්නා නුවණ, සමුදයාර්යසත්‍යය දන්නා නුවණ, නිරෝධාර්යසත්‍යය දන්නා නුවණ සහ මාර්ගාර්යසත්‍යය දන්නා නුවණ යනු චතුරාර්යසත්‍ය ඥාන වේ. සිව් පිළිසිඹියා ඥාන නම් අත්ථපටිසම්භිදා ඥානය, ධම්මපටිසම්භිදා ඥානය, නිරුත්තිපටිසම්භිදා ඥානය සහ පටිභානපටිසම්භිදා ඥානය යි.

ශ්‍රාවකයන්හට අසාධාරණ ඥාන සයක් බුදුරජාණන් වහන්සේට ඇත. ඒවා ෂඞ් අසාධාරණ ඥාන නම් වේ. එනම් ඉන්ද්‍රියපරොපරියත්තඥානය, සත්තානං ආසයානුසයේ ඥානය, යමකප්‍රාතිහාර්ය ඥානය, මහාකරුණාසමාපත්ති ඥානය, සර්වඥතාඥානය සහ අනාවරණඥානය යනුවෙනි. අන් සත්ත්වයන්ගේ හා පුද්ගලයන්ගේ ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් මුහුකුරා ගොස් ඇති නැති බව දැනගැනීමට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇති නුවණ ඉන්ද්‍රියපරොපරියත්තඥානය නම් වේ. භාග්‍යවතුන් වහන්සේ එසේ දැනගෙන ඒ ඒ සත්ත්වයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩීම සලකා ධර්මය දේශනා කරන බැවින් ඒ ධර්ම දේශනය ශ්‍රවණයෙන් ඒ සත්ත්වයන්ට වහා ධර්මාවබෝධය කළ හැකි වේ.

එසේ ම තථාගතයන් වහන්සේ සත්ත්වයන්ගේ ආශය අනුශය දැනගන්නා නුවණ සත්තානං ආසයානුසයේ ඥානය නම් වේ. ආශය යනු වාසස්ථානයට නමකි. යම් පුද්ගලයෙක් යම් කරුණක් දැඩි සේ පිළිගෙන එහි ම පිහිටා කටයුතු කරයි නම් එය ආශය ලෙස හැඳින්වේ. එනම් සම්‍යක්දෘෂ්ටිය හා මිථ්‍යාදෘෂ්ටියයි. ඒ දෘෂ්ටි දෙක සත්ත්වයන්ට වාසස්ථානයක් වේ. එසේ ම විදර්ශනාඥානය සහ මාර්ගඥානය ද පුද්ගලයන්ට පිහිටා කටයුතු කිරීමට ආධාර වන බැවින් ආශය නම් වේ. සත්ත්වසන්තානයෙහි ප්‍රහීණ නොවී ඉතිරිව පවත්නා කාමරාගාදිය අනුශය නම් වේ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන පුද්ගලයන්ගේ මෙම දෘෂ්ටි වශයෙන් හෝ විදර්ශනාඥාන, මාර්ගඥාන වශයෙන් හෝ ඇති ආශය ද ප්‍රහීණ නොවී ඉතිරිව පවත්නා කාමරාගාදී අනුශය ද දැනගෙන ම ඔවුන්ට සුදුසු පරිදි ධර්මය දේශනා කරන සේක.

එක්වර ප්‍රාතිහාර්ය දෙකක් දැක්වීමේ නුවණ යමකපාටිහාරියඤාණය නම් වේ. මෙය ද ශ්‍රාවකයන්ට ලැබිය නොහැකි බුදුරජාණන් වහන්සේලාට ම පමණක් ලැබිය හැකි ඥානයකි. දුක්ඛිත සත්ත්වයන් ගැන කම්පාවන ස්වභාවය, ඒ සත්ත්වයන් දුකින් මුදවාලීමේ කැමැත්ත කරුණාව නම් වේ. භාග්‍යවතුන් වහන්සේගේ කරුණා ගුණය අති මහත් බැවින් එය මහාකරුණාව නම් වේ. මවකට තම දරුවන් පිළිබඳ කරුණාවක් ඇත්තේය. පියෙකුට ද එසේ ම ය. එහෙත් සෙසු දරුවන් පිළිබඳව තම දරුවා මෙන් කරුණාවක් නොමැති විය හැකිය. ලෝකයේ සියලුම සත්ත්වයන් පිළිබඳව ම එක හා සමාන කරුණාවක් ඇත්තේ ලොව්තුරා බුදුවරයෙකුට පමණි. බුදුරජාණන් වහන්සේ සෑම දිනක ම දෙවරක් මහාකරුණාසමාපත්තියෙන් නැගී සිට ලොව බලා පිහිට විය යුතු සත්ත්වයන්ට පිහිට වන සේක.

ලොව ඇති සංඛත, අසංඛත සියලු ධර්ම සමූහය නිරවශේෂයෙන් දන්නා නුවණ සර්වඥතාඥානය නම් වේ. එනම් භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ නොදුටු, නොදත් දෙයක් නොමැති බවයි. ඒ සර්වඥතාඥානයට ආවරණය වූ කිසිවක් නොමැති බව අනාවරණඥානය නම් වේ. ආවරණයක් යනු බිත්ති ආදියකින් වැසී පැවතීමයි. එසේ වැසී ඇති විට එයින් එහා ඇති දේ නො පෙනේ. භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතාඥානයට එසේ ආවරණයන් නොමැති බැවින් එයට නොපෙනෙන දෙයක් ඇත්තේ නොවේ. මෙසේ තථාගතයන් වහන්සේ තුදුස් ඥානයකින් සමන්වාගත වන බැවින් බුද්ධ නම් වන බව පටිසම්භිදාමග්ගපාළියේ ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාළ සේක.

තව ද පටිසම්භිදාමග්ගපාළියේ බුද්ධ පදය ආකාර ගණනාවකින් විවරණය කර ඇත. ඒ අනුව චතුරාර්ය සත්‍යය අවබෝධ කළ බැවින් බුද්ධ නම් වන සේක. චතුරාර්ය සත්‍යය සත්ත්වයන්ට අවබෝධ කරවන බැවින් බුද්ධ නම් වන සේක. සියල්ල දත් බැවින් බුද්ධ නම් වන සේක. සියල්ල දක්නා බැවින් බුද්ධ නම් වන සේක. අන්‍යයන් විසින් අවබෝධ කරවිය යුත්තකු නොවන බැවින් බුද්ධ නම් වන සේක. නා නා ගුණයන් වෑස්සෙන බැවින් බුද්ධ නම් වන සේක. කාමාදි ආශ්‍රවයන් ක්‍ෂය කළ බැවින් බුද්ධ නම් වන සේක. උපක්ලේශ විරහිත බැවින් බුද්ධ නම් වන සේක. ඒකාන්තයෙන් රාගය දුරු කළ හෙයින් බුද්ධ නම් වන සේක. ඒකාන්තයෙන් ද්වේශය දුරු කළ හෙයින් බුද්ධ නම් වන සේක. ඒකාන්තයෙන් මෝහය දුරු කළ හෙයින් බුද්ධ නම් වන සේක. ඒකාන්තයෙන් නික්ලේශී බැවින් බුද්ධ නම් වන සේක. ඒකායන මාර්ගයේ ගිය බැවින් බුද්ධ නම් වන සේක. එකලාව අනුත්තර සම්මාසම්බෝධිය අධිගමනය කළ බැවින් බුද්ධ නම් වන සේක. අබුද්ධිය නසා බුද්ධි ප්‍රතිලාභය කළ බැවින් බුද්ධ නම් වන සේක.

අර්හත් මාර්ගඥානය සියලු කෙලෙසුන් කෙරෙන් විමුක්ත වන හෙයින් විමෝක්‍ෂය නම් වේ. ඒ විමෝක්‍ෂාවසානයේ උපදනා බැවින් අර්හත් ඵලය විමෝක්‍ෂාන්ත නම් වේ. ඒ අර්හත් ඵලය ලද කල පමණක් ලැබිය හැකි සර්වඥතාඥානය විමෝක්‍ෂාන්තික ඥාන නම් වේ. බුද්ධ යනු බුදුරජාණන් වහන්සේ සතු මේ සර්වඥතාඥානාදි ගුණ විශේෂය නිසා ම ලැබෙන නමක් වේ.

මෙසේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය මැනවින් ම අවබෝධ කරගෙන ලෝක සත්ත්වයාට ද අවබෝධ කරවූ බැවින් බුද්ධ නම් වන සේක.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි