නව අරහාදි බුදුගුණ අතරින් අවසන් බුදුගුණය වන්නේ ‘අරහං’ ගුණය යි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශීලාදි ගුණයෙන් විශිෂ්ට වූ එහෙයින් ම සියලු සත්ත්වයන්ට උතුම් වූ බැවින් ගෞරව වශයෙන් ‘භගවා’ යැයි කියනු ලැබේ.

භගවාති වචනං සෙට්ඨං – භගවාති වචනමුත්තමං
ගරුගාරව යුත්තො සො – භගවා තෙන වුච්චතීති

යනුවෙන් විශුද්ධිමාර්ගයේ සඳහන් වන්නේ භගවා යනු ශ්‍රේෂ්ඨ පුද්ගලයකු, උතුම් පුද්ගලයකු, ගරු කළ යුතු පුද්ගලයකු දැක්වීම සඳහා භාවිතා කරන වචනයක් බවයි. එය එසේ ම ය. ලොව තථාගතයන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කිසිවකුත් නැත්තේය. තථාගතයන් වහන්සේට වඩා උත්තම කෙනෙක් නැත්තේය. තථාගතයන් වහන්සේ සියලු දෙනාගේ ගරු බුහුමන් ලැබීමට සුදුසු වන සේක. එබැවින් උන්වහන්සේ ‘භගවා’ නම් වන සේක.
‘භගවා’ යන පදයේ අර්ථය බොහෝ ආකාරවලින් විවරණය කළ හැකි වේ. ඒ අතරින් බුද්ධානුස්සති භාවනාවට වැදගත් වන ආකාරයෙන් ‘භගවා’ පදයේ අර්ථ කිහිපයක් මෙසේ දැක්විය හැකි වේ.

1. බුදුරජාණන් වහන්සේ සියලු භාග්‍ය ධර්මයන්ගෙන් සමන්වාගත වූ හෙයින් ‘භගවා’ නම් වන සේක.
2. සියලු කෙලෙස් සහ පාප ධර්මයන් මාර්ගඥානයෙන් සිඳ බිඳ දැමූ හෙයින් ‘භගවා’ නම් වන සේක.
3. භවගමන වැමෑරූ බැවින් ‘භගවා’ නම් වන සේක.
4. දත යුතු සියලු ධර්මයන් දැන බෙදා සෝභන ධර්මයන් භජනය කළ හෙයින් ‘භගවා’ නම් වන සේක.

සියලු භාග්‍ය ධර්මයන්ගෙන් සමන්වාගත වූ හෙයින් ‘භගවා’ නම් වන සේක
බුදුරජාණන් වහන්සේ සියලු භාග්‍ය ධර්මයන්ගේ සමන්විත බැවින් භාග්‍යවත් වන සේක. භාග්‍ය ධර්මයන් සයක් ඇත. එනම් ඓශ්චර්ය භාග්‍යය, ධර්ම භාග්‍යය, යශ භාග්‍යය, ශ්‍රී භාග්‍යය, කාම භාග්‍යය, ප්‍රයත්න භාග්‍යය යනුවෙන්. තථාගතයන් වහන්සේ ලොව අන් සියලු සත්ත්වයන් ම අභිබවා මෙම භාග්‍ය ධර්මයන්ගෙන් යුක්ත හෙයින් ‘භගවා’ නම් වන සේක.
1. ඓශ්චර්‍ය්‍ය භාග්‍යය
ඓශ්වර්‍ය්‍යය යනු ඉසුරුමත් බවයි. එනම් තමන් වහන්සේගේ සිත ද අන් පුද්ගලයන් හා වස්තූන් ද තමාගේ වසඟයේ පැවැත්විය හැකි බවයි.

ලෝකයේ සාමාන්‍ය පුද්ගලයෝ තමන්ගේ සිතට වසඟ වෙති. තමන් ඇසින් දකින දෙයට ඇලුම් කරමින් නැතහොත් එය පිළිකුල් කරමින්, කනින් අසන දෙයට ඇලුම් කරමින් නැතහොත් පිළිකුල් කරමින් යනාදි ලෙස නොයෙක් ආකාරයෙන් සිතට වසඟ වෙති. එසේ සිතට වසඟ වී ඇතැම් අය තමාගේ ජීවිතය පවා විනාශ කරගනිති. එහෙත් තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ සිත වශී භාවයට පත්කරගෙන කැමති ආකාරයට පවත්වා ගන්නා සේක. තමාගේ සිත වශී භාවයට පත් කරගෙන ලෝකයා පිළිකුල් කරන දෙය පිළිබඳ පිළිකුල් නොවන සංඥාවෙන් යමෙකුට වාසය කළ හැකි නම්, ලෝකයා පිළිකුල් නොකරන දෙය පිළිබඳ පිළිකුල් සංඥාවෙන් වාසය කල හැකි නම් ඒ පුද්ගලයා සිත පිළිබඳ ඉසුරුමත් වන්නේය. තථාගතයන් වහන්සේ මෙසේ ස්වකීය සිත වසඟයෙහි පවත්වන බැවින් චිත්තේශ්වර වන සේක.

තථාගතයන් වහන්සේ ධ්‍යාන සමාපත්තීන් ස්වකීය වසඟයෙහි පවත්වන බැවින් සමාධිසමාපත්තීශ්වර වන සේක. අනේක ප්‍රකාර ඍද්ධීන් පිළිබඳ වශීභාවය ඇති බැවින් ඍද්ධීශ්වර වන සේක. ලෞකික යැයි සැලකෙන ශරීරය කුඩා කිරීම, මහත් කිරීම, කැමති තැනකට සැණෙකින් ගමන් කිරීම, නොයෙක් ගිනි ජල ආදිය මැවීම ආදි ඍද්ධි බලයන් අන් කිසිවෙකුට ද නොමැති අසාධාරණ ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේට ඇත.
තව ද තථාගතයන් වහන්සේ ධර්මයට අධිපති වන බැවින් ධර්මේශ්වර වන සේක. සංඝයාට අධිපති වන බැවින් සංඝේශ්වර ද වන සේක. නොයෙක් ගණයන්ට අධිපති වන බැවින් ගණේශ්වර වන සේක. ලෝකයට ම අධිපති වන බැවින් ලෝකේශ්වර වන සේක.

මෙසේ තමන් වහන්සේගේ සිත පිළිබඳවත් අන් පුද්ගලයන් හා වස්තු පිළිබඳවත් ඓශ්චර්‍ය්‍යයෙන් සමන්වාගත වන බැවින් තථාගතයන් වහන්සේ ‘භගවා’ නම් වන සේක.

2. ධර්ම භාග්‍යය
ධර්ම භාග්‍යය යනු තථාගතයන් වහන්සේට ඇති ලෝකෝත්තර ධර්ම හා උත්තරීතර ශීලාදි ගුණයන් වේ. සෙසු පුද්ගලයන් අභිබවා ලෞකික වූ ධ්‍යාන අභිඥාවන් ඇත්තා සේ ම තථාගතයන් වහන්සේ ලෝකෝත්තර ගුණයන්ගෙන් ද සියලුදෙනා අභිබවනය කරන සේක. ලෝකෝත්තර ධර්මයන් නම් අර්හත්ඵලය සහ නිර්වාණයයි. තථාගතයන් වහන්සේ මේ ලෝකෝත්තර ධර්මයන්ගෙන් සමන්වාගත වන බැවින් භගවා නම් වන සේක.
තව ද තථාගතයන් වහන්සේ සෙසු ශ්‍රාවකයන්ට නොමැති අසාධාරණ ඥාන සයකින් යුක්ත වන සේක. ඉන්ද්‍රියපරොපරියත්ත ඥානය, සත්තානං ආසයානුසයෙ ඥානය, යමක පාටිහාරිය ඥානය, මහා කරුණා සමාපත්ති ඥානය, සර්වඥතා ඥානය, අනාවරණ ඥානය යන සේ අසාධාරණ ඥානයන්ගෙන් ද සමන්වාගත වන බැවින් තථාගතයන් වහන්සේ ‘භගවා’ නම් වන සේක.

3. යශ භාග්‍යය
යශස යනු පිරිවර සම්පත්තියයි. කීර්තිය යැයි ද කිව හැකිය. තුන් ලෝකයේ ම පතළ කීර්තියක් ඇති බැවින් කිසියම් ප්‍රදේශයක නොව සමස්ථ තුන් ලෝකයේ ම යථාභූත ගුණයෙන් ම පැමිණියා වූ අතිශයෙන් ම සුපිරිසිදු වූ කීර්තියක් හා පිරිවර සම්පත්තියක් ඇති බැවින් බුදුරජාණන් වහන්සේ ‘භගවා’ නම් වන සේක.
බුද්ධත්වය පිණිස පෙරුම් දම් පුරන බෝධිසත්ත්ව අවධියේ පටන් උන්වහන්සේට මහත් පිරිවර සහිත විය. සිද්ධාර්ථ කුමාර අවධියේ ද මහත් පිරිවර සිටි අතර බුද්ධත්වයෙන් අනතුරුව ද අසංඛෙය්‍ය ගණන් සුවිශාල ගිහි පැවිදි පිරිසකට නිවන් මඟ කියා දීමෙන් මහත් පිරිවර සහිත වූහ. අදටත් බුදුන් සරණ ගිය පිරිස අප්‍රමාණ්‍යය. එබැවින් ලොව අන් කිසිවෙකුටත් නොමැති තරම් පිරිවර සම්පත්තියකින් යුත් බැවින් තථාගතයන් වහන්සේ ‘භගවා’ නම් වන සේක.

4. ශ්‍රී භාග්‍යය
දකින්නවුන්ගේ ඇසට සිතට ප්‍රසාද එළවීමට සමත් වූ නැවත නැවත දැකීමේ ආශාව ඇති කරන්නා වූ රූප ශෝභාවක් ඉරියව් පැවැත්වීමේ ශෝභාවක් ක්‍රියාවන්ගේ ශෝභාවක් යනාදි ලෙස පවත්නා ශෝභනත්වය ශ්‍රී භාග්‍යය නම් වේ. තථාගතයන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන්, අසූවක් අනු ව්‍යඤ්ජන ලක්‍ෂණවලින් කේතුමාලාලංකාරයෙන් ව්‍යාමප්‍රභාවෙන් යුක්ත අසමසම රූප සෞන්දර්යයක් ඇති හෙයින් සර්වාංග ප්‍රත්‍යංග ශ්‍රී සම්පත්තිය හෙවත් ශෝභනත්වයෙන් යුක්ත වන සේක. එසේ හෙයින් තථාගතයන් වහන්සේ ‘භගවා’ නම් වන සේක.

5. කාම භාග්‍යය

ආත්මාර්ථය හෝ පරාර්ථය පිණිස යම් දෙයක් සිතා ප්‍රාර්ථනා කරයි නම් ඒ ප්‍රාර්ථනා සිද්ධිය කාම භාග්‍යය නම් වේ. දීපංකර පාද මූලයේ ලත් අභිනීහාරයේ පටන් බුද්ධත්වයට පත් වීම දක්වාත් අනතුරුව ලෝක සත්ත්වයාට නිවන් මඟ කියා දීම් වශයෙනුත් තථාගතයන් වහන්සේ තමන් වහන්සේ කැමති කැමති අර්ථ සිද්ධිය සම්පාදනය කරගත් සේක. එහෙයින් ‘භගවා’ නම් වන සේක.

6. ප්‍රයත්න භාග්‍යය
ආත්මාර්ථ පරාර්ථසාධනය පිළිබඳව වූ බලවත් වීර්යය ප්‍රයත්න භාග්‍යය නම් වේ. ලෝකයේ මහත් වීර්යයෙන් කළ යුතු කටයුතු අතරෙහි බුද්ධත්වයට පත් වීම තරම් මහත් වූ අන් කිසිදු කටයුත්තක් නැත. තථාගතයන් වහන්සේ ඒ සම්මා වායාම නම් වූ ප්‍රයත්නයෙන් යුත් බැවින් ‘භගවා’ නම් වන සේක.
මෙසේ තථාගතයන් වහන්සේ ඓශ්චර්‍ය්‍යාදි සය වැදෑරුම් වූ භාග්‍ය ධර්මයන්ගෙන් යුක්ත වූ හෙයින් ‘භගවා’ නම් වන සේක.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි