අප සරණ ගිය තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ‘භගවා’ නම් වන සේක. ඓශ්චර්ය භාග්‍යය, ධර්ම භාග්‍යය, යශ භාග්‍යය, ශ්‍රී භාග්‍යය, කාම භාග්‍යය, ප්‍රයත්න භාග්‍යය යන සියලු භග ධර්මයන්ගෙන් සමන්වාගත වන බැවින් ද සියලු කෙලෙස් සහ පාප ධර්මයන් මාර්ගඥානයෙන් සිඳ බිඳ දැමූ හෙයින් ද භවගමන වැමෑරූ බැවින් ද දත යුතු සියලු ධර්මයන් දැන බෙදා සෝභන ධර්මයන් භජනය කළ හෙයින් ද තථාගතයන් වහන්සේ භගවා නම් වන සේක. ඒ බව මෙසේ කියන ලදී.

භාග්‍යවා භග්ගවා යුත්තො භගෙහි ච විභත්තවා
භත්තවා වන්තගමනො භවෙසු භගවා තතො

රාගාදි කෙලෙස් බිඳ දැමූ හෙයින් (භග්ගවා) ද සය වැදෑරුම් භග ධර්මයන්ගෙන් යුක්ත වන හෙයින් (භගෙහි යුත්තො) ද සියලු ධර්මයන් බෙද බෙදා දේශනා කළ හෙයින් (විභත්තවා) ද සේවනය කළ යුතු ධර්මයන් සේවනය කළ හෙයින් (භත්තවා) ද වැමෑරූ භවගමන ඇති හෙයින් (භවෙසු වන්තගමනො) ද භගවා නම් වන සේක. මෙහි සඳහන් සය වැදෑරුම් භග ධර්මයන් පිළිබඳව පසුගිය ලිපියෙන් විස්තර කරන ලදී.

තථාගතයන් වහන්සේ සියලු රාගාදි කෙලෙස් ධර්මයන් මාර්ගඥානයෙන් සිඳ බිඳ දැමූ හෙයින් භගවා නම් වන සේක.

ක්ලේශ ධර්මයෝ නොයෙක් ආකාරයෙන් බෙදා දැක්විය හැකි වේ. අභිධර්ම පිටකයේ විභංගප්‍රකරණයේ ඛුද්දකවත්ථු විභංගයේ බුදුරජාණන් වහන්සේ මෙම කෙලෙස් ධර්මයන් ඒකක වශයෙන්, ද්වික වශයෙන්, ත්‍රික වශයෙන් යනාදි නොයෙක් ආකාරයෙන් බෙදා දක්වා තිබේ. ඒ අතරින් කිහිපයක් මෙසේ දැක්විය හැකි වේ. ලෝභ, දෝස, මෝහ, අහිරික-අනොත්තප්ප, කොධ-උපනාහ, මක්‍ඛ-පළාස, ඉස්සා-මච්ඡරිය, මායා-සාඨෙය්‍ය, ථම්භ-සාරම්භ, මාන-අතිමාන, මද-පමාද, අවිජ්ජා-භවතණ්හා, ත්‍රිවිධ අකුශලමූල, ත්‍රිවිධ දුශ්චරිත, ත්‍රිවිධ සංක්ලේශ, ත්‍රිවිධ විතර්ක, චතුර්විධ විපරියේස, ආශ්‍රව, ගන්ථ, ඔඝ, යොග, පඤ්ච චෙතොඛිල, පඤ්ච විනිබන්‍ධ, පඤ්ච නීවරණ, ඡ විවාදමූල, ඡ තණ්හාකාය, සප්ත අනුශය, අෂ්ට මිච්ඡත්ත, දශ අකුශල කර්මපථ, දෙසැටක් මිථ්‍යා දෘෂ්ටි, තණ්හා විචරිත යනාදි නොයෙක් ආකාරයෙන් බෙදා දක්වන ලද සියලු කෙලෙස් ධර්මයන් මාර්ගඥානයෙන් සිඳ බිඳ දැමූ සේක. කෙටියෙන් සඳහන් කළහොත් ක්ලේශමාර, ස්කන්‍ධමාර, අභිසංස්කාරමාර, දෙවපුත්තමාර, මච්චුමාර යන පස් මරුන් බිඳ දැමූ හෙයින් භගවා නම් වන සේක.

ලෝභාදිය අර්ථ ප්‍රකට බැවින් විස්තර නොකරමු. අහිරිකය යනු අකුශල ධර්මයන් කිරීමට නිර්ලජ්ජී ස්වභාවයයි. අනොත්තප්පය යනු අකුශලයට නිර්භය බවයි. කිපීමේ ස්වභාවය ක්‍රෝධය යි. ක්‍රෝධය වෛර බැඳීම් වශයෙන් පැවතීම උපනාහ නම් වේ. මක්‍ඛ යනු අන් අයගේ ගුණ මැකීමේ ස්වභාවය යි. අන් අයගේ ගුණ දක්වා තමන් ද එබඳු යැයි පැවසීම පළාස නම් වේ. අන් අයගේ සම්පත් නො ඉවසන ස්වභාවය ඉස්සාව යි. තමන්ගේ සම්පත් අන් අය අත්කර ගැනීම නො ඉවසීම මච්ඡරිය යි. තමන්ගේ වරද සඟවන අදහසින් උපශාන්ත භාවයක් දක්වමින් කාය වාක් කර්ම පැවැත්වීම මායා නම් වේ. තමන් වෙත නැති ගුණ හඟවන කෛරාටික බව සාඨෙය්‍ය නම් වේ. සිතේ දැඩිබව ථම්භ නම් වේ. වැඩිහිටියන්ට ගරු කළයුත්තන්ට වන්දනා කිරීම් ගරුකිරීම් ආදිය හෝ නොකරන දැඩි වූ රළු පුද්ගලයා යි. යුගග්‍රාහී භාවය සාරම්භ නම් වේ. එනම් එකට එක කරන ස්වභාවයයි. මානය සෙය්‍යමාන, හීනමාන, සදිසමාන යනාදි වශයෙන් වේ. මදය ද ජාතිමද, ගෝත්‍රමද, ආරෝග්‍යමද, යෞවනමද යනාදි වශයෙන් නොයෙක් ආකාරයෙන් වේ. ප්‍රමාදය යනු සිහි මුළා බවයි. මෝහය අවිද්‍යාව යි. භවය කෙරෙහි ඇති තෘෂ්ණාව භවතණ්හාව යි.
ලෝභ, ද්වේෂ, මෝහ යනු අකුශල මූල තුනයි. කාය-වාක්-මනෝ දුශ්චරිත ත්‍රිවිධ දුශ්චරිත නම් වේ. රාග, ද්වේෂ, මෝහ යනු ත්‍රිවිධ සංක්ලේශයන් වේ. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක යනු ත්‍රිවිධ විතර්කයෝ ය.
අනිත්‍ය දෙය නිත්‍ය යැයි ගැනීම, දුක්ඛ දෙය සුඛ යැයි ගැනීම, අනාත්ම දෙය ආත්ම යැයි ගැනීම, අශුභ දෙය ශුභ වශයෙන් ගැනීම යනු චතුර්විධ විපරියෙසයන් හෙවත් වරදවා ගැනීම් වේ. කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව යනු සතර ආශ්‍රවයෝ ය. මේවා ඕඝ වශයෙන් ද යෝග වශයෙන් ද පවතී. අභිජ්ඣා කායගන්ථ, ව්‍යාපාද කායගන්ථ, සීලබ්බතපරාමාස කායගන්‍ථ, ඉදං සච්චාභිනිවේස කායගන්‍ථ යනු සතර කායගන්ථයෝ ය.

පඤ්ච චෙතොඛිල යනු බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක කිරීම, ධර්මරත්නය කෙරෙහි සැක කිරීම, සංඝරත්නය කෙරෙහි සැක කිරීම, ශික්‍ෂාව සැක කිරීම, සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි කිපීම හා නොසතුටු සිත් ඇති වීම යන පසයි. කාමයන්හි අවීතරාගී බව, කයෙහි අවීතරාගී බව, රූපයෙහි අවීතරාගී බව, කැමතිතාක් උදරය ඇති තාක් අනුභවකොට සෙය්‍ය සුඛයෙන් ස්පර්ශ සුඛයෙන් මිද්ධ සුඛයෙන් යුතුව විසීම, එක්තරා දේවනිකායක ඉපදීමේ අදහසින් බඹසර හැසිරීම යන පස පඤ්ච චෙතසො විනිබන්‍ධ නම් වේ. කාමච්ඡන්දාදි පස පඤ්ච නීවරණ යි.

ඡ විවාදමූල නම් ක්‍රොධ, මක්‍ඛ, ඉස්සා, සාඨෙය්‍ය, පාපිච්ඡතා, සන්දිට්ඨිපරාමාස යන සය වේ. රූප තණ්හා ආදිය ෂට් තණ්හාකාය නම් වේ. කාමරාග, භවරාග, පටිඝ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, අවිජ්ජා යනු සප්ත අනුශය නම් වේ. අෂ්ට මිච්ඡත්ත යනු මිච්ඡාදිට්ඨි, මිච්ඡාසංකප්ප, මිච්ඡාවාචා, මිච්ඡාකම්මන්ත, මිච්ඡාආජීව, මිච්ඡාවායාම, මිච්ඡාසති, මිච්ඡාසමාධි යන අටයි.

තථාගතයන් වහන්සේ මේ සියලු උපද්‍රවයන් මාර්ගඥානයෙන් සිඳ බිඳ දැමූ සේක. භග්න කළ සේක. එහෙයින් භගවා නම් වන සේක. ඒ බව කියන ලදී,
භග්ගරාගො භග්ග දොසො භග්ගමොහො අනාසවො
භග්ගාස්ස පාපකා ධම්මා භගවා තෙන වුච්චති
බිඳින ලද රාග ඇති හෙයින් ද බිඳින ලද ද්වේෂ ඇති හෙයින් ද බිඳින ලද මෝහ ඇති හෙයින් ද එහෙයින් ම අනාශ්‍රව ද පාපධර්මයෝ බිඳින ලද බැවින් ද භගවා යි කියනු ලැබේ.
තථාගතයන් වහන්සේ භවගමන වන්ත කළ හෙයින් ‘භගවා’ නම් වන සේක.

භාග්‍යවතුන් වහන්සේ විසින් තුන් භවයන්හි ම වූ තෘෂ්ණාසංඛ්‍යාත ගමන, ක්ලේශාභිසංස්කාර වශයෙන් භවයන්හි පරිභ්‍රමණය වීම ආර්යමාර්ග මුඛයෙන් වමාරන ලද බැවින් නැවත අත්කර නොගන්නා ලෙස අත්හළ බැවින් ‘භවෙසු වන්තගමනො’ යැයි කිවයුත්ත භගවා යැයි කියනු ලැබේ. භව ශබ්දයෙන් ‘භ’ කාරය ද ගමන ශබ්දයෙන් ‘ග’ කාරය ද වන්ත ශබ්දයෙන් ‘ව’ කාරයද දීර්ඝ කොට ගෙන ‘භගවා’ යි කියනු ලැබේ.

මෙය නිරුක්ති නය නම් වේ. එනම් භාෂාවක නිරුක්ති සකස්වන විශේෂ ක්‍රමවේදයක් ඇත. ඒ අතර යම් නිරුක්තියක පදවලින් මෙසේ අක්‍ෂර ගෙන කරනු ලබන පද සාධනයක් ඇත. ‘මෙහනස්ස ඛස්ස මාලා’ යන විග්‍රහයේ අක්‍ෂර ගෙන ‘මෙඛලා’ යන පදය සකසා ගැනේ. එපරිද්දෙන් ම ‘භවෙසු වන්තගමනො’ යන්නෙන් භගවා යන්න සැකසේ.

එබැවින් තථාගතයන් වහන්සේ වැමෑරූ භවගමන ඇති හෙයින් භගවා නම් වන සේක.
මෙසේ තථාගතයන් වහන්සේ රාගාදි කෙලෙස් ධර්මයන් සිඳ බිඳ දැමූ හෙයින් ද භවගමන වැමෑරූ හෙයින් ද ‘භගවා’ නම් වන සේක.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි