මෛත්‍රී භාවනාව විස්තර කෙරෙන සූත්‍ර දේශනාවල දී ඒ පිළිබඳ භාවිතා කරන විශේෂ පද කිහිපයක් හමු වේ. මෙත්තානිසංස සූත්‍රයේ ‘මෙත්තාය භික්‍ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය, භාවිතාය, බහුලීකතාය, යානීකතාය, වත්‍ථුකතාය, අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය ඒකාදසානිසංසා පාටිකඩ්ඛා’ යනුවෙන් ‘ආසේවනය කරන ලද, වඩන ලද, බහුල කරන ලද, යානයක් මෙන් වසඟයේ පවත්වන ලද, පිහිටීමට වස්තුවක් මෙන් කරන ලද, අත නොහරින ලද, භාවනානුරූපීව රැස් කරන ලද, මැනවින් අරඹන ලද මෛත්‍රී චෙතොවිමුක්තිය පිළිබඳ එකොළොස් ආනිසංසයක් කැමති විය යුතු බව’ දේශනා කරන ලදී. එබැවින් මෛත්‍රී භාවනාව පිළිබඳ ඉගෙන ගන්නා තැනැත්තා මෙම පද පිළිබඳව ද අර්ථ වශයෙන් දැන ගත යුතු වේ.

මෛත්‍රී භාවනා බලයෙන් සිත කෙලෙසුන් කෙරෙන් මුදවා ගැනීම ‘මෛත්‍රී චෙතොවිමුක්තිය’ ලෙස හැඳින්වේ. මෙත් වැඩීම් වශයෙන් කුශල සිතක් ඇති කර ගැනීමෙන් තදංග වශයෙන් කෙලෙස් ප්‍රහීණ වන අතර පුරුදු කරන ලද මෛත්‍රී භාවනාව ඇති පුද්ගලයාගේ සිත මෛත්‍රී දැහැන්ගත වීමෙන් විශ්කම්භන වශයෙන් ද කෙලෙස් ප්‍රහීණ කරයි. ඒ මතු ද නොව මෛත්‍රී භාවනාව පදනම් කරගෙන විදසුන් වඩා සහමුලින් ම කෙලෙස් ප්‍රහීණ කිරීම ද කළ හැකි වේ. එබැවින් මෙම මෛත්‍රී භාවනාවේ දී ‘මෛත්‍රී චෙතොවිමුක්තිය’ ලෙස හැඳින්වෙන්නේ පුරුදු කරගත් මෛත්‍රීය ඇති පුද්ගලයෙක් සිය සිත කෙලෙස්වලින් මුදවාගෙන මෛත්‍රී වසයෙහි පවත්වා ගැනීමයි.

මෙසේ මෛත්‍රී චෙතොවිමුත්තිය පැවැත්වීම පිළිබඳ ආසේවිතාය, භාවිතාය යනාදි වශයෙන් ආකාර කිහිපයක් දැක්වේ. ‘ආසේවනය කිරීම’ යන්නෙන් අදහස් වන්නේ ආදරයෙන් සේවනය කිරීමයි. මෙත් වැඩීම පුරුදු කරන තැනැත්තා එය ආදරයෙන් සේවනය කළ යුතු වේ. තවත් කෙනෙකුගේ බල කිරීමකට කරන මෙත් වැඩීම දියුණුවට පත් නොවේ. ඒ පිළිබඳ තමන් තුළින් ම ඇති වූ ඡන්දයක් පැවතිය යුතු වේ. මෙලොව ආනිසංස සලකමින්, පරලොව ආනිසංස සලකමින්, ලොකෝත්තර වශයෙන් නිර්වාණ ප්‍රතිලාභය සලකමින් ඒ සඳහා අවශ්‍යයෙන් ම අත නොහැර කළ යුතු කටයුත්තක් වශයෙන් මෙත් වැඩීම කරන්නේ නම් ‘ආසේවනය’ කරන ලද්දේ වෙයි.
එසේ ආදරයෙන් සේවනය කරන මෛත්‍රිය භාවනාවක් වශයෙන් පුරුදු කිරීම ‘භාවිත කිරීම’ නම් වේ. මෙලොව ආනිසංස අපේක්‍ෂාවෙන් ද පරලොව ආනිසංස අපේක්‍ෂාවෙන් ද නිර්වාණ ප්‍රතිලාභය අපේක්‍ෂාවෙන් ද මෙත් වැඩීම කළ යුතු යැයි සලකන තැනැත්තා එය භාවනා වශයෙන් වැඩීමෙන් පුරුදු කර ගත යුතු වේ.

භාවනා වශයෙන් වැඩීමෙන් පුරුදු පුහුණු වූ මෛත්‍රිය නැවත නැවත වැඩීම ‘බහුල කිරීම’ නම් වේ. නිරන්තරයෙන් භාවනා මනසිකාරයක් වශයෙන් මෛත්‍රිය වැඩීම කළ හැකි වේ. මෙත් වැඩීමට සුදුසු වචනයක් තමන්ට හුරු කර ගැනීමෙන් නිතර එය මෙනෙහි කළ හැකි වේ. ඒ තුළින් සිතේ මෙත් සිතුවිලි නිරන්තරයෙන් පවතී. නැවත නැවත මෛත්‍රි භාවනාව වැඩීමක් සිදු වේ. බහුල වේ.

යම් දක්‍ෂ රියදුරෙක් ආජඤ්ඤ අශ්වයින් යෙදූ රථය තමන් කැමති ආකාරයට හසුරුවයි. කැමති කැමති තැනට යයි. කැමති තැනින් නතර වෙයි. මෙසේ දක්‍ෂ රියදුරෙක් රථයක් තමන් වසඟයේ පවත්වන්නාක් මෙන් මෛත්‍රිය වඩන යෝගියාට ද මෛත්‍රී භාවනාව තමන් වසඟයේ පැවැත්විය හැකි විය යුතුය. එසේ යානයක් තමන් වසඟයේ පවත්වන්නාක් මෙන් කැමති ඕනෑම වේලාවක, ඕනෑම අවස්ථාවක මෛත්‍රී ධ්‍යානයට සම වැදිය හැකි ලෙස වසඟයේ පැවැත්විය හැකි විය යුතු. එය ‘යානිකතා’ නම් වේ.

යම් දෙයක් පිහිටීමට සුදුසු බිමක් වස්තුවක් නම් වේ. පිහිටීමට මනා භූමියක් ඇති විට පමණක් එහි මැනවින් පිහිටයි. සුදුසු බිමක් නොමැති තැන මනා පිහිටීමක් සිදු නොවේ. මෙත් සිත වඩන තැනැත්තාගේ සිත මෛත්‍රී සිතුවිලිවලට පිහිටීමට සුදුසු බිමක් විය යුතුය. එසේ සුදුසු බිමක් කරගත් සිතේ වඩන ලද මෛත්‍රිය මැනවින් රෝපණය වේ. මැනවින් ඵල දරයි. මෙලොව පරලොව ආනිසංස ඵලය ද කෙළවර ලොකෝත්තර නිර්වාණ ඵලය ද අත්පත් කර දෙයි. එබැවින් මෛත්‍රිය පිහිටීමට උපකාර වන භූමියක් මෙන් සිත පවත්වා ගැනීම ‘වත්‍ථුකතා’ නම් වේ.
භාවනා වශයෙන් බහුල කර වැඩීමෙන් මෛත්‍රිය නැවත නැවත එළඹ සිටියේ නම්, අත නොහැර සිටියේ නම් එය ‘අනුට්ඨිතා’ නම් වේ. මෛත්‍රී භාවනාව පුරුදු කරන යෝගියා එය එක් දිනක් සිදු කර අතහැර දැමිය යුතු නොවේ. දිනක්, දෙකක් වඩා යළි බොහෝ කාලයකට පසුව වැඩීමෙන් කියන ලද ආනිසංස ලැබිය හැකි නොවේ. මෛත්‍රී කර්මස්ථානය තමන් අත නොහැර පැවතිය යුතු වේ. එවිට පමණක් ම මෙලොව පරලොව ආනිසංස අත් විඳිය හැකි වේ.

සිතේ මෛත්‍රිය හාත්පසින් රැස් කරන ලද්දේ නම් එය ‘පරිචිත’ නම් වේ. සියලු ආකාරයෙන් සිතේ භාවනාවට සුදුසු සේ රැස් කළ මෛත්‍රියක් පවත්වා ගත යුතු බවයි. සාමාන්‍යයෙන් අපගේ සිත තුළ නිරන්තරයෙන් කෙලෙස් සිතිවිලි ඇති වීමට සුදුසු ඉඩකඩක් පවතී. මැනවින් පුරුදු නොකළ සිතක් ඇති යෝගියාගේ සිතේ රාගාදි කෙලෙස් නිතර ඇති වේ. ඇතැම් විට ඒ බව තමන් දන්නේ හෝ නො වේ. යෝගියා ප්‍රඥාව සේ දකින්නේ කෙලෙස් සිතිවිල්ලක් විය හැකි වේ. එබැවින් මෛත්‍රිය නමැති සත් චේතනාව නිරන්තරයෙන් සිතේ එක් රැස් කළ යුතු වේ. එවිට කෙලෙස් සිතිවිලිවලට පිවිසීමට සිතේ ඉඩක් නො ලැබේ.

සිතේ මෛත්‍රී සිතිවිලි අතිශයින් උපදවා ගැනීම, මැනවින් උපදවා ගැනීම කළ යුතු වේ. මෛත්‍රිය පුරුදු පුහුණු කරන යෝගියා පළමුව තමන්ට මෙත් සිත ඇති කර ගත යුතු වේ. තමන්ට තමන් මෙන් මිතුරු අන් කිසිවකුත් නැති බැවිනි. එසේ ම තමන්ගේ හිතවත්, මැදහත්, අහිතවත් යන සියලු දෙනාට මැනවින් මෙත් සිත පැවැත්විය යුතු වේ. මෙත් සිත මැනවින් ඇරඹිය යුතු වේ. එසේ මැනවින් මෙත් සිත ඇරඹීම ‘සුසමාරද්ධ’ නම් වේ.

මෙසේ ආදරයෙන් සේවනය කරන ලද, භාවනා වශයෙන් වඩන ලද, බහුලකොට වඩන ලද, තමන් වසඟයේ පැවැත්විය හැකි යානයක් මෙන් කරන ලද, පිහිටීමට බිමක් මෙන් කරන ලද, අත නොහැර පුරුදු කරන ලද, හාත්පසින් භාවනානුරූපීව රැස් කරන ලද, මැනවින් අරඹන ලද මෛත්‍රී චෙතොවිමුක්තිය ඇති යෝගියාට මෙලොව දී ම ආනිසංස දහයක් අත් විඳිය හැකි බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එසේ ම පරලොව වශයෙන් ද එක් ආනිසංසයක් වදාළ සේක.

එබැවින් මෙලොව පරලොව ආනිසංස කැමති වන සුධීහු මෛත්‍රී භාවනාව වඩත්වා.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි