‘ඣායථ භික්‍ඛවෙ මා පමාදත්‍ථ. මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්‍ථ’ යනු බුදුරජාණන් වහන්සේගේ අවවාදයයි. ඒ අනුව නිවන් ගමනේ පියවර නඟන සෑම පුද්ගලයෙක් ම අප්‍රමාදීව සිහි නුවණින් යුතුව නිරතුරු කමටහනක් මෙනෙහි කිරීමේ නිරත විය යුතු වේ. මෙය ‘භාවනාව’ යන නමින් හැඳින්වේ. මෙසේ නිවනට උපකාරී වන බෞද්ධ භාවනා ක්‍රමය ත්‍රිපිටක පෙළ, අර්ථකථා ඇසුරෙන් විවරණය කිරීමේ ලිපි මාලාවේ ආනාපානසති භාවනාව සහ බුද්ධානුස්සති භාවනාව විස්තර කළෙමු. මෙතැන් පටන් ඇරඹෙන්නේ මෛත්‍රී භාවනාව පිළිබඳ විස්තර කිරීමයි. සියලු සත්ත්වයන්ට මෙත් වඩා මෛත්‍රී සහගත සිතින් යුතුව නිවන් මඟ ගමන් කිරීම බුදුරජාණන් වහන්සේගේ අවවාදය බැවින් ඒ සඳහා පිළිපන් සැදැහැවත් සුධීන් හට මේ ලිපි පෙළ සදූපකාරයක් වේවා.

බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකාය ඒකක නිපාතයේ දේශනා කරන ලද්දේ අසුරු සැණක් ගසන කාලයක් තරම් ඉතා කුඩා කාලයක් නමුදු යම් කෙනෙක් මෙත් සිතක් පවත්වන ලද්දේ නම් මෙත් සිත වඩන ලද්දේ නම් මෛත්‍රී මනසිකාරයක් පවත්වන ලද්දේ නම් ඒ තැනැත්තා නොසිස් දැහැන් ඇත්තෙක් වන බවයි. ශාස්තෘන් වහන්සේගේ ශාසනය ඉටු කරන ලද බවයි. භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය ඉටු කරන බවයි. අසුරු සැණක් යනු ඉතා කුඩා කාලයකි. එතරම් කුඩා කාලයක් නමුදු මෙත් සිත පැවැත්වීමෙන් මෙසේ ආනිසංස ලැබෙන්නේ නම් බහුලව මෙත් සිත වඩන්නාට ඒකාන්තයෙන් ම මහත් ඵල මහානිසංස වන බව අවබෝධ කරගත යුතු වේ.
මෛත්‍රිය යනු මිතුරු බවයි. යම් කෙනෙක් ලෝකයේ සෑම සත්වයෙකුට ම එක හා සමානව මිතුරු බව පවත්වන්නේ නම් ඔහු මෛත්‍රී කරන කෙනෙක් වේ. තමන්ට හිතවත් අයට පමණක් නොව මැදහත්, අහිතවත් අයට ද එක හා සමානව මිතුරු බව පැවැත්විය යුතු වේ. එසේ මෙත් සිත පැවැත්වීමෙන් මෙලොව පරලොව දෙකේ ම මහත් ආනිසංස අත් විඳිය හැකි වේ.

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන සමයෙක වස්සාන සමය ආසන්නයේ පන්සියයක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් කමටහන් අසාගෙන සප්පාය ගොදුරු ගමක් සොයමින් ගියහ. හිමවතට සම්බන්ධ එක්තරා වනයක් අසබඩ ගම් වැසියන්ගේ ඇරයුමෙන් ඒ වනයෙහි සාදා දුන් කුටි සෙනසුන්වල වස් එළඹුණහ. ඇරඹූ වීර්ය ඇතිව යෝනිසෝමනසිකාරයෙන් රුක්මුල්වලට එළඹ පලඟ බැඳගෙන බවුන් වඩන්නට වූහ. ඒ භික්‍ෂූන්ගේ ශීල තේජසින් ඒ රුක්වලට අධිගෘහිත දෙවිවරුන්ට එහි වාසය කළ නොහැකි විය. රජ වරුන් රාජ මහාමාත්‍යයන් ගම්වලට වැද ගම් වැසියන්ගේ නිවෙස්වල නතර වූ විට ඒවායෙන් ඉවත් වීමට සිදුවන ගම් වැසියන් කවදා නම් මොවුන් නික්මේ දැ යි බලාපොරොත්තු වන්නා සේ ඒ රුක් දෙවිවරුන් ද තමතමන්ගේ විමානවලින් ඉවත්ව ‘කවදා නම් මේ ස්වාමින් වහන්සේලා ඉවත් වන්නේ දැ’යි බලාපොරොත්තු වූහ. ‘පළමුව ම වස් එළඹි මේ භික්‍ෂූන් ඒකාන්තයෙන් මේ තෙමස ම මෙහි වසනු ඇත. අපට වාසය කිරීමට තැනක් නැති වන්නේ’ යැයි කල්පනා කළ ඒ දෙවිවරු මේ භික්‍ෂූන්ට නොයෙක් භයානක අරමුණු දක්වන්නට වූහ. ඔවුහු රාත්‍රියෙහි භික්‍ෂූන් ශ්‍රමණ ධර්ම කරන වේලෙහි නොයෙක් බියජනක යක්‍ෂ රූප මවාගෙන ඉදිරියෙහි සිටිති. බිය ජනක ශබ්ද කරති. භික්‍ෂූන් ඒ බිය ජනක අරමුණු දැක, බිය ජනක ශබ්ද අසා ඒ හේතුවෙන් දුර්වර්ණ වූහ. සුදුමැලි වූහ. ඔවුන්ට සිත එකඟ කරගැනීමට නො හැකි විය. එකඟ නොවූ සිත් ඇති බැවින් සිහි මුළා බවට පත් වූ උන්වහන්සේලාට නොයෙක් දුර්ගන්ධයන් දැනෙන්නට සැලැස්වූහ. එයින් හිස් වේදනා ඇති විය. එහෙත් කිසිවෙකුත් අන් භික්‍ෂුවකට ඒ බව දැනුම් නො දුන්හ.

දිනක් සංඝ ස්ථවිරයන් වහන්සේ සියලු දෙනා රැස් වූ අවස්ථාවක මේ එකිනෙකාගේ වෙනසට හේතු අසා තම තමන්ට අරමුණු වන භයානක අරමුණු ආදිය පිළිබඳව පවසා පිළිසරණක් අපේක්‍ෂාවෙන් ආපසු නැවත සැවැත්නුවර බලා වැඩම කළහ. තමන් මුහුණ දුන් දුෂ්කර බව භාග්‍යවතුන් වහන්සේට සැල කිරීමෙන් අනතුරුව ඒ භික්‍ෂූන්ට සප්පාය සෙනසුන පිළිබඳව ආවර්ජනය කළ භාග්‍යවතුන් වහන්සේ සියලු දඹදිව ඔවුන්ට සප්පාය අන් කිසිදු සෙනසුනක් නොදැක ඒ වනයට ම පිටත් කර යැවූ සේක. එහි දී දෙවියන්ට ප්‍රිය බව පිණිසත්, ඒ භික්‍ෂූන්ට අර්හත්වය දක්වා කර්මස්ථානයක් වශයෙනුත් මෙත්ත සූත්‍රය (කරණීයමෙත්ත සූත්‍රය) වදාළ සේක. එහි දී නිවන් සාක්‍ෂාත් කර ගනු කැමති පුද්ගලයාට කරණීය ධර්ම සහ අකරණීය ධර්ම දේශනා කළ බුදුරජාණන් වහන්සේ ‘සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු’ යනාදි වශයෙන් දෙවියන්ට ප්‍රිය වනු පිණිස ද ආරක්‍ෂාව පිණිස ද විදර්ශනා පාදක ධ්‍යාන වශයෙන් කමටහනක් ලෙස ද මෛත්‍රී කර්මස්ථානය වදාළ සේක. ඒ අනුව මෙත්ත සූත්‍රය තමන්ට ආරක්‍ෂාවක් වශයෙන් ද කර්මස්ථානයක් වශයෙන් ද භාවිත කළ ඒ භික්‍ෂූන් පන්සිය නම සව් කෙලෙස් නසා උතුම් අර්හත්වයට පත් වූහ.

එබැවින් මෙත් වැඩීම දෙව් මිනිසුන්ගේ ප්‍රිය භාවය ඇති වන මෙලොව ආනිසංස සහිත භාවනාවක් වේ. එසේ ම ඒ මෛත්‍රී ධ්‍යානය පාදක කරගෙන විදසුන් වඩා උතුම් නිර්වාණය සාක්‍ෂාත් කරගැනීමට ද හැකි වේ. බුදුරජාණන් වහන්සේ ‘අරිත්තජ්ඣානො විහරති’ යැයි අසුරු සැණක් පමණ මෙත් වඩන තැනැත්තා නමුදු නොසිස් ධ්‍යාන ඇතිව වාසය කරන බව වදාළ සේක. සිටීම්, හිඳීම් ආදි සියලු ඉරියව්වල දී ධ්‍යාන ඉපදවීමට හැකි පුද්ගලයෙක් ලෙස නොසිස්ව වාසය කරන බව බුදුරජාණන් වහන්සේ වදාළහ. බුදුරජාණන් වහන්සේගේ අවවාදය වන්නේ සියලු සත්ත්වයන් හට සම මෙත් සිත පැවැත්විය යුතු බවයි. එබැවින් මොහොතක් නමුදු මෙත් සිත පවත්වන භික්‍ෂුව බුදුරජාණන් වහන්සේගේ අවවාදය ඉටු කරන ලද්දේ වෙයි. තව ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ සිතේ සමාධියක් උපදවන භික්‍ෂුව රටවැසියා විසින් සැදැහැයෙන් පූජා කරන දානය නො සිස් ව වළඳන බවයි. එබැවින් මොහොතක් නමුදු මෙත් සිත පවත්වන භික්‍ෂුව නොසිස්ව රට වැසියාගේ දානය වළඳන්නෙක් වේ.
මෙසේ නොයෙක් ආකාරයෙන් ආනිසංස වදාරණ ලද මෛත්‍රී භාවනාව සිත එකඟ කරගෙන සමාධි ඉපදවීමටත්, මෙලොව දී ම ලැබෙන ආනිසංස සමුදායක් නිසාවෙනුත්, විදසුන් වැඩීමට පාදක කරගත හැකි බැවිනුත්, මරණින් මතු සුගති උත්පත්ති ලැබීම් වශයෙනුත් සුවිශේෂී භාවනාවක් වේ. භාවනාව ආරම්භ කරන ආධුනිකයෙකුට පහසුවෙන් ම සිත එකඟ කර ගැනීමට උපකාර කරගත හැකි භාවනාවක් වේ. එසේම ද්වේෂ චරිතවත් පුද්ගලයාට භාවනාවට පූර්වයේ සිත පිරිසිදු කරගැනීමටත් මෛත්‍රී භාවනාව වැදගත් වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි