‘මෙත්තාය භික්‍ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය, භාවිතාය, බහුලීකතාය, යානීකතාය, වත්‍ථුකතාය, අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය ඒකාදසානිසංසා පාටිකඩ්ඛා’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේ දී දේශනා කරන ලද්දේ ‘ආසේවනය කරන ලද, වඩන ලද, බහුල කරන ලද, යානයක් මෙන් වසඟයේ පවත්වන ලද, පිහිටීමට වස්තුවක් මෙන් කරන ලද, අත නොහරින ලද, භාවනානුරූපීව රැස් කරන ලද, මැනවින් අරඹන ලද මෛත්‍රී චෙතොවිමුක්තිය පිළිබඳ එකොළොස් ආනිසංසයක් කැමති විය යුතු බව’යි. මෙලොවදී ම ලබන දස ආනිසංසයක් සහ පරලොව දී ලබන එක් ආනිසංසයක් වශයෙන් එකොළොස් ආනිසංසයක් මෙත් වැඩීමෙන් අත් වන බව මෙහි වදාළ සේක.

මෛත්‍රී භාවනාව වඩන යෝගාවචරයා මෙම ආනිසංස පිළිබඳ මෙනෙහි කළ යුතු වේ. භාවනාව ආරම්භ වීමට මත්තෙන් එහි ආනිසංස මෙනෙහි කිරීමෙන් එකී භාවනාවේ නියැළීමට ඡන්දය ඇති වී උනන්දුවෙන් භාවනාවේ නියැළීම සිදු වේ. එවිට ඉතාමත් ඉක්මනින් කමටහන සමෘද්ධමත් භාවයට පත් කර ගත හැකි වේ.
මෙත්තානිසංස සූත්‍රයේ දී පළමුව බුදුරජාණන් වහන්සේ මෙත් වඩන පුද්ගලයාට මෙලොව දී ම ලැබෙන ආනිසංස දහයක් (10) වදාළ සේක.
1. සුඛං සුපති (සුවසේ නින්ද යාම)
මෛත්‍රී භාවනාව වඩන පුද්ගලයා සුවසේ නින්දට එළඹෙන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. සිතේ මෙත් සිතිවිලි පැවතීම නිසා දුක් fදාම්නස්වලින් තොරව නින්දට යා හැකි පුද්ගලයා එයින් සැහැල්ලු සිතින් නින්දට එළඹේ. ඒ නිසා ම ඔහුගේ නින්ද ඉක්මනින් ඔහු වෙත ළඟා කර ගත හැකි වේ.

වර්තමානයේ ඇතැම් අය නින්ද නොලැබීම නිසාවෙන් බොහෝ පීඩාවලට පත් වෙති. නින්ද ලබා ගැනීම පිණිස ඖෂධ පවා සොයති. එහෙත් බුදුරජාණන් වහන්සේ නින්ද ළඟා කර ගැනීමට පහසු ම මඟක් ලෙස පෙන්වා දෙන්නේ මෙත් වැඩීමයි. මෙත් වඩන පුද්ගලයාගේ සිතේ කිළිටි පහව යාම නිසා ඒ පුද්ගලයා සැහැල්ලු භාවයට සන්සිඳීමට පත් වීම ඉක්මනින් නින්ද ළඟා වීමට හේතුව වේ. බොහෝ දෙනෙක් නිදාගැනීමට ගොස් නොයෙක් දේ කල්පනා කරමින් කාලය ගත කිරීම නිසා බොහෝ වේලාවක් නිදා ගත නොහැකිව ගත කරති. එහෙත් නින්දට ගොස් සිත මෙත් වැඩීමට යොමු කරගන්නා පුද්ගලයාට ඉක්මනින් නින්ද ළඟා කර ගත හැකි වේ.

2. සුඛං පටිබුඤ්ජති (සුවසේ අවදි වේ)
නිදා ගන්නා තැනැත්තාගේ අවදි වීම ද සුවපත් විය යුතුය. ඇතැම් අය අවදි වන්නේ ඉතාමත් අපහසුවෙනි. සමහර කෙනෙක් බිය වී අවදි වෙති. මෙත් වඩන පුද්ගලයාගේ නින්දෙන් අවදි වීම සුවපත් වන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

3. න පාපකං සුපිනං පස්සති (ලාමක සිහින නො දකී)
ඇතැම් කෙනෙක් නින්දට ගිය විට නොයෙක් ආකාරයේ නපුරු සිහින දකී. නපුරු සිහින දැකීමෙන් බියට පත් වී අවදි වේ. එතැන් පටන් සමහර විට හොඳ නින්දක් ලැබිය නො හැකි වේ. නපුරු සිහින දැකීමේ කරදරයෙන් මිදීම පිණිස මෙත් වැඩිය යුතු වේ.

සිහින දැකීම ආකාර 4 කට සිදු වන බව ධර්මයේ සඳහන් වේ. එනම් පෙර ගත් අරමුණක් අනුව සිහින පෙනීම, සෙම් පිත් ආදි ධාතු කිපීම නිසා සිහින පෙනීම, පූර්ව නිමිති වශයෙන් සිහින පෙනීම සහ දෙවියන් විසින් පෙන්වීම වශයෙනි. සිහින දකින්නේ කපි (වඳුරු) නින්දේ දී බව ධර්මයේ සඳහන් වේ. කපි නින්ද යනු අඩ නින්දයි. නින්දත් නොනින්දත් අතර සිටීමයි. එවිට නොයෙක් සිත් පහළ වන අතර ඒ සිත්වලට එම දින තමන් ඇසූ, කියූ, දුටු දේ අනුව ගත් නිමිති අරමුණු විය හැකි වේ. ඒ අනුව සිහින පෙනීම සිදු විය හැකිය. නිරන්තරයෙන් මෙත් වඩන පුද්ගලයාගේ ආසන්න අරමුණු ගැනීම මෛත්‍රී සහගත බැවින් නපුරු නිමිති අරමුණු නොවීම නිසා නපුරු සිහින පෙනීම සිදු නොවේ. ධාතු කිපීම නිසා හෝ පූර්ව නිමිති වශයෙන් හෝ සිහින පෙනීම සිදු විය හැකි වුව ද මෙත් සිතින් වාසය කරන තැනැත්තා සුව නින්දකට බැසගනී. සුව නින්දක දී සිහින පෙනීම සිදු නොවන බැවින් නපුරු සිහින පෙනීම ද සිදු නොවේ. ඇතැම් විට දෙවියන් විසින් ද සිහින පෙන්වීම සිදු කරයි. මෙත් වඩන තැනැත්තාට දෙවියන් ප්‍රිය වන නිසාවෙන් දෙවියන් විසින් නපුරු සිහින පෙන්වීමක් සිදු නොවේ. මෙසේ මෛත්‍රී භාවනාව හොඳින් ප්‍රගුණ කර ජීවිතයට එකතු කරගත් තැනැත්තාට නපුරු සිහින නොදැක සුව නින්දක් ලැබිය හැකි වේ.

4. මනුස්සානං පියො හොති (මිනිසුන්ට ප්‍රිය වේ)
මෛත්‍රිය යනු මිතුරු බවයි. මෛත්‍රිය වැඩීමෙන් සිදු වන්නේ සියලු දෙනාට මිතුරු බව පැතිරවීමයි. එබැවින් මෙත් වඩන තැනැත්තා මිනිසුන්ට ප්‍රිය පුද්ගලයෙක් වේ. මෙය ප්‍රායෝගිකව මෙත් වඩන පුද්ගලයාට ලැබෙන විශේෂ ප්‍රතිලාභයක් වේ. මෙත් වඩන තැනැත්තාට ඒ මෛත්‍රී භාවනාවේ බලයෙන් බොහෝ ප්‍රයෝජන අත් කර ගත හැකි වේ.

උදාහරණයක් ලෙස කිසියම් ආයතනයක නිළධාරියෙකු ලවා වැඩ කටයුත්තක් කර ගත යුතුව ඇති තැනැත්තාට මෛත්‍රී භාවනාවේ බලයෙන් පහසුවෙන් තම කටයුත්ත සිදු කර ගත හැකි වේ. නිතර මෙත් වඩා පුරුදු තැනැත්තා අදාළ පුද්ගලයා මුණ ගැසීමට පෙර ඔහු සිහියට නඟාගෙන ඔහුට ටික වේලාවක් මෙත් වැඩිය යුතු වේ. ඉන්පසු එම පුද්ගලයා වෙත ගොස් තමන්ගේ වුවමනාව පැහැදිලි කිරීමේ දී ඉක්මනින් මිතුරු භාවය ගොඩ නඟාගෙන තමන්ගේ කටයුත්ත කළ හැකි වේ.

සමහර පුද්ගලයෙක් ප්‍රකෘතියෙන් ම සැර පරුෂ බව නිසා අන් අය සමඟ මිතුරු නොවේ. එවැනි අයෙක් ලවා වැඩක් කරවා ගැනීමට මෛත්‍රී භාවනාව උපකාරී කරගත හැකි වේ. බුදුරජාණන් වහන්සේ බොහෝ දුර්දාන්ත පුද්ගලයන් හා සත්ත්වයන් දමනය කිරීමට උන්වහන්සේගේ අසමසම මෛත්‍රී බලය භාවිතා කළ සේක. අංගුලිමාල වැනි දාමරිකයෙක් තමන් වහන්සේ වෙත කඩුව අමෝරාගෙන දිව එන විට ඔහුව දමනය කිරීමට උන්වහන්සේගේ අසමසම මෙත් සිත උපකාරී විය. නාලාගිරි ඇතු කිසිදු හොඳ නරකක් නොදැන බුදුරජාණන් වහන්සේ අභිමුවට දිව එන විට ඉදිරිපත් වූයේ බුදුරජාණන් වහන්සේගේ ඒ අසමසම මෙත් සිතයි. එබඳු අසමසම මෙත් සිතක් නොමැති වුව ද අප සෑම දෙනෙකුට ම පුරුදු කළ මෙත් සිත නොයෙක් ලෙස උපකාරී කරගත හැකි වේ.

මෙසේ නොයෙක් ආකාරයෙන් මෙලොව ආනිසංස ලැබිය හැකි බැව් බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේ දේශනා කරන ලදී. එබඳු ආනිසංස කැමති සුධීමත්හු මෛත්‍රී භාවනාව වඩත්වා.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි