මෙත් වඩන තැනැත්තාට මෙලොව දී ම දශ ආනිසංසයක් ද පරලොව දී එක් ආනිසංසයක් ද වශයෙන් එකොළොස් ආනිසංසයක් අත් වන බව බුදුරජාණන් වහන්සේ ‘මෙත්තාය භික්‍ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය, භාවිතාය, බහුලීකතාය, යානීකතාය, වත්‍ථුකතාය, අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය ඒකාදසානිසංසා පාටිකඩ්ඛා’ යැයි වදාළ සේක. ඒ අනුව ආනිසංස 4 ක් පසුගිය ලිපියෙන් පැහැදිලි කරන ලදී.

5. අමනුස්සානං පියෝ හෝති (අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි)
නිරන්තරයෙන් මෙත් වඩන තැනැත්තා අමනුෂ්‍යයන්ට ද ප්‍රිය වේ. අමනුෂ්‍යයන්ට ප්‍රිය වන බව ඇසීම ඇතැම් කෙනෙක් බියට පත් කරන කාරණයක් විය හැකි. සමාජයේ ඇති වැරදි මතයක් වන්නේ මෙත් වඩන තැනැත්තා පසුපස අමනුෂ්‍යයන් එන බවත් එයින් ඔහුට කරදර ඇති විය හැකි බවත් ය. එහෙත් මෙත් වඩන තැනැත්තා අමනුෂ්‍යයන්ට ප්‍රිය වන බැවින් අමනුෂ්‍යයන්ගෙන් ඔහුට කරදර සිදු නො වේ. අමනුෂ්‍යයන් විසින් මේ තැනැත්තාට නිරන්තරයෙන් සුඛ විහරණය සලසා දෙනු ලැබේ. ඒ බව පැහැදිලි කර ගැනීමට අර්ථකථාවල එන විශාඛ ස්ථවිරයන් වහන්සේගේ කථාව වැදගත් වේ.
පැලලුප් නුවර විසූ විශාඛ නම් කෙළෙඹි පුත්‍රයෙක් ලක්දිව කසාවතින් බැබළෙන බවත් සද්ධර්මය ජීවමාන බවත් ඍතු සත්ප්‍රාය බව, සේනාසන සත්ප්‍රාය බව, පුද්ගල සත්ප්‍රාය බව, ධර්මශ්‍රවණ සත්ප්‍රාය බව යනාදිය ඇති බවත් ඒ ඒ තැන කමටහනක් ගෙන භාවනා කිරීමෙන් විශේෂ අධිගමයන්ට පත් විය හැකි බවත් අසීය.

එසේ අසා තමන්ගේ සියලු භෝගස්කන්ධය පුත්‍ර දාරාදීන්ට පවරා දී හැඳ සිටි වස්ත්‍ර කෙළවර එක් කහවණුවක් ගැට ගසාගෙන නිවසින් නික්ම නැව් තොටට පැමිණ නැවක් පැමිණෙන තෙක් එක් මසක් බලාපොරොත්තු වීය. හෙතෙමේ දක්‍ෂ බැවින් නැවක් බලාපොරොත්තුවෙන් සිටි කාලය තුළ තමන් සතු කහවණුවෙන් භාණ්ඩ මිලට ගෙන විකිණීමෙන් දැහැමි වෙළඳාමෙන් කහවණු දහසක් උපයා ගත්තේය. අනතුරුව නැව් නැඟී අනුපිළිවෙළින් මහාවිහාරයට සපැමිණ පැවිද්ද ඉල්ලා සිටියේය.

පැවිදි කිරීම සඳහා සීමාවට කැඳවාගෙන වේලේ තම ඔඩොක්කුවේ තිබූ කහවණු පොදිය බිම දැමුවේය. තෙරුන් වහන්සේලා විසින් මේ කිමෙක් දැ යි ඇසූ කල ‘ස්වාමීනි කහවණු දහසකි’ යැයි පිළිතුරු දුන්නේය. ‘උපාසකය පැවිදි වූ කාලයේ පටන් කහවණු පිළිබඳ විචාරණයක් කළ නොහැකිය. එහෙයින් දැන් ම පිළිවෙළක් කරන්නැ’යි තෙරුන් වහන්සේලා විසින් දැන්වූ කල ‘විශාඛගේ පැවිදි වීම බලන්නට පැමිණි අය හිස් අතින් නොයාවා’යි කහවණු සීමා මළුවේ විසුරුවා පැවිදි වූයේය. පැවිදිව උපසම්පදා විය.

උපසම්පදාවෙන් පස් වසක් යන තෙක් ඇදුරුවරයන් සමීපයේ හැසිර භික්‍ෂු-භික්‍ෂුණී උභය ප්‍රාතිමෝක්‍ෂ ප්‍රගුණ කොට සුදුසු කමටහනක් ගෙන එක් එක් විහාරයක සාරමාසය බැගින් වසමින් හැසිරෙමින් භාවනාව ප්‍රගුණ කළහ.
සිතුල්පව් විහාරයට යාමට පිටත් වූ විශාඛ ස්ථවිරයන් වහන්සේ දෙමංසන්ධියකට පැමිණ කවර මාර්ගයකින් යන්නේ දැ යි සැක සිතී මඳක් නැවතී බලා සිටියහ. එවිට පර්වතයක අධිගෘහිත දේවතාවෙක් ‘මෙය යි මාර්ගය’ යැයි අත දිගු කොට පෙන්වීය. ඒ විශාඛ තෙරුන් වහන්සේ සිතුල්පව්වට ගොස් සාර මාසයක් එහි වාසය කොට පසු දින අලුයම පිටත් වන්නේ යැයි සිතූහ. සක්මන කෙළවර වෘක්‍ෂයේ අධිගෘහිත දේවතාවා උන්වහන්සේගේ කුටියේ පඩිපෙළ මුල හිඳ හඬන්නට වූයේය.

තෙරුන් වහන්සේ ‘මේ කවරෙක් දැ’ යි ඇසූහ. තමන් ඒ වෘක්‍ෂයට අධිගෘහිත දේවතාවා බව පැවසූ කල්හි ‘කුමකට හඬන්නේ දැ’යි ඇසූහ. ඒ දේවතාවා කියා සිටියේ තෙරුන් වහන්සේගේ ගමන නිසාවෙන් හඬන බවයි. එවිට තෙරුන් වහන්සේ අසා සිටියේ තමන් වහන්සේ එහි වාසය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනයක් ඇත් ද යන්නයි.

එවිට දේවතාවා පවසා සිටියේ ‘ස්වාමීනි, නුඹ වහන්සේ මෙහි වසන කල අමනුෂ්‍යයෝ එකිනෙකා මෛත්‍රිය ලබත්. නුඹ වහන්සේ ආපසු වැඩම කළ පසු ඔවුහු නැවත කළහ කරත්. නොමනා දේ ද කරත්’ යනුවෙනි. තෙරුන් වහන්සේ මෛත්‍රී විහරණයෙන් යුතු බැවින් එහි වාසය කිරීමෙන් දෙවියන්ට පහසුවක් වන බව ඒ දේවතාවා පවසා සිටියේය.

‘ඉදින් මා මෙහි විසීමෙන් නුඹලාට පහසුවක් වේ නම් එය සොඳුරු’ යැයි තෙරුන් වහන්සේ තවත් සාර මාසයක් එහි විසූහ. නැවතත් සාරමාසයකට ඇවෑමෙන් පිටත් වීමට සූදානම් වන විට දේවතාවා පෙර පරිදි ම හැඬීය. නැවතත් ගමන වැළැක්වූ තෙරුන් වහන්සේ මේ ක්‍රමයෙන් ඒ සිතුල්පව් විහාරයේ ම වාසය කර එහි ම පිරිනිවී ගියහ.

මෙසේ මෛත්‍රී විහරණයෙන් යුක්ත භික්‍ෂුව අමනුෂ්‍යයන්ට ප්‍රිය වේ. එයින් උන්වහන්සේට අමනුෂ්‍යයන්ගෙන් කරදර පීඩාවක් ඇති නොවන අතර පහසුවෙන් මහණදම් පුරා ගැනීමට අවකාශ සැලසේ. බුදුරජාණන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රය උගන්වා වදාළේ ද මේ ආකාරයෙන් දෙවියන්ගෙන් වන පීඩාවන් වළක්වා ගැනීමට වේ. එහි දී ද භික්‍ෂූන් වහන්සේලා මෙත් වැඩීමෙන් දෙවියන්ට ප්‍රිය වී තමන් වහන්සේලාගේ පහසු විහරණය සලසා ගත්හ. එබැවින් මෙත් වඩන තැනැත්තා අමනුෂ්‍යයන්ට ද ප්‍රිය වේ.

6. දේවතා රක්‍ඛන්ති (දෙවියෝ රකිත්)
අමනුෂ්‍යයන්ට ප්‍රිය වන බැවින් ම දෙවියන්ට ද ප්‍රිය වන මෙත්වඩන භික්‍ෂුව මව් පියන් සිය දරුවෙකු රක්නා පරිද්දෙන් දෙවියන් විසින් රකිනු ලැබේ. කරණීයමෙත්ත සූත්‍ර නිදාන කථාවෙන් මේ බව හොඳින් ම හෙළි වේ.

7. නාස්ස අගිගි වා විසං වා සත්‍ථං වා කමති (ගිනි හෝ විෂ හෝ සැත් ඔහුට නොම වදියි)
මෛත්‍රී විහරණයෙන් ගත කරන තැනැත්තාට ගින්නෙන් අනතුරක් නො සිදුවේ. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වෙසෙන සමයේ පුණ්ණ සිටු දියණිය වූ උත්තරා නම් උපාසිකාව තම සැමියාට කහවණු පසළොස් දහසකට සිරිමා නම් ගණිකාවක් පාවා දී අඩමසක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දීම් ආදි පින් කළාය. අවසන් දින දැළි කුණු වැකුණු උත්තරාව දැක සිටු පුත්‍රයා සිනහසෙනු දුටු සිරිමා ගණිකාව ඇය කෙරෙහි වෛර බැඳ මුළුතැන් ගෙයි උණු තෙල් කටාරමකින් කකියන උණු තෙල් හැන්දක් ගෙන උත්තරාවගේ හිසේ වත් කළාය. උණු තෙල් හැන්දක් ගෙන ඇය ඉදිරියට එනු දුටු උත්තරාව ‘මැය මට මිතුරියක් සේ බොහෝ උපකාර කළාය. මැය නිසාවෙන් මම අඩමසක් දානාදි පින්කම් කළෙමි. ධර්මශ්‍රවණය ලැබුවෙමි. ඉදින් මැය කෙරෙහි මාගේ කෝපයක් ඇත්නම් මේ කකියන ගිතෙල් මා දවාවා. නැත්තේ නම් නොම දවාවා’යි ඇය කෙරෙහි මෙත් සිත පැතිරවීය. එයින් ඇය මත්තෙහි වත් කළ ඒ උණු තෙල් සීසිල් දිය මෙන් විය. එබැවින් මෙත් සිත පතුරුවන තැනැත්තාට ගින්නෙන් හානියක් නොම සිදුවේ.

එසේ ම මෙත් විහරණයෙන් සිටින අයට වසවිෂ නිසාවෙන් හානි නො සිදුවේ. සංයුක්තභාණක චූළසිව ස්ථවිරයන් වහන්සේට මෛත්‍රී විහරණය නිසා වසවිෂවලින් සිදුවීමට තිබූ හානියක් වැළකුණු බව සඳහන් වේ.

එසේ ම මෛත්‍රී භාවනාව පුරුදු කර ඇති තැනැත්තාට සැතකින් කරදරයක් නො සිදුවේ. උදේනි රජු සාමාවතී ප්‍රමුඛ බිසවුන් පන්සියයක් දෙනා එක පෙළට සිටුවා එක් හීයකින් විද මරනු කැමතිව සූදානම් විය. සාමාවතිය සෙසු සියලු දෙනාට කියා සිටියේ මෛත්‍රී කරන ලෙසයි. මෛත්‍රී බලය නිසාවෙන් රජුට දුනු දිය ඇද හීය විදීමට නොහැකිව සිටියේය. එබැවින් මෙත් වඩන අයට සැත්වලින් හානි නොම සිදුවේ.
මෙසේ බොහෝ ආනිසංස ඇති බව සලකා මෛත්‍රී භාවනාව වැඩිය යුතු වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි