මෙත් වඩන තැනැත්තාට මෙලොව දී ම දශ ආනිසංසයක් ද පරලොව දී එක් ආනිසංසයක් ද වශයෙන් එකොළොස් ආනිසංසයක් අත් වන බව බුදුරජාණන් වහන්සේ ‘මෙත්තාය භික්‍ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය, භාවිතාය, බහුලීකතාය, යානීකතාය, වත්‍ථුකතාය, අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය ඒකාදසානිසංසා පාටිකඩ්ඛා’ යැයි වදාළ සේක. ඒ අනුව මෙලොව දී ම ලැබෙන ආනිසංස 7 ක් පැහැදිලි කරන ලදී.

8. තුවටං චිත්තං සමාධියති (වහා සිත සමාධියට යයි)
මෛත්‍රී විහරණයෙන් යුත් භික්‍ෂුවගේ සිත වහා සමාධියට පත් වේ. පුද්ගලයකුගේ සිත නිරන්තරයෙන් කිළිටි කරවන ධර්මයන් වන්නේ රාගය, ද්වේෂය, මෝහය ආදිය යි. මේ ධර්මයන්ගෙන් මැඩගත් සිත් ඇති තැනැත්තාට සමාධියක් ඉපදවීම පහසු නො වේ. නිරන්තරයෙන් මෛත්‍රී විහරණයෙන් සිටිනා පුද්ගලයා තමන්ගේ සිතට අරමුණු වන සෑම අරමුණක දී ම මෙත් සිත පැවැත්වීමට උත්සාහ දරයි. ඒ අනුව නිතර මෙත් සිත පෙරදැරිව කටයුතු කරන බැවින් සිත ඉක්මනින් සමාධිමත් කර ගත හැකි වේ.

වෙනත් කර්මස්ථානයකින් සමාධියක් නො උපදවන ලද තැනැත්තාට මෛත්‍රී භාවනාවෙන් ඉතා ඉක්මනින් සමාධියක් ඉපදවිය හැකි වේ. පිළිවෙළින් මෛත්‍රිය පුරුදු කිරීමෙන් ඉතා ඉක්මනින් මෛත්‍රී ධ්‍යානය ද උපදවාගෙන සුවයෙන් වාසය කළ හැකි වේ.

9. මුඛවණ්ණො විප්පසීදති (මුව පැහැය විශේෂයෙන් පැහැදෙයි)
මෛත්‍රී භාවනාව වඩන තැනැත්තාගේ මුහුණ බෙහෙවින් පැහැපත් වේ. නිතර මෛත්‍රී විහරණයෙන් කටයුතු කරන තැනැත්තාගේ නිරන්තරයෙන් කුශල සිත් ඇති වන බැවින් ශරීරයේ රුධියට පිරිසිදු වේ. ඒ පිරිසිදු රුධිරය සියලු සිරුර පුරා ම ගමන් කිරීමෙන් සිරුර පැහැපත් වේ. විශේෂයෙන් ම මුහුණ ප්‍රසන්න බවට පත් වේ.

10. අසම්මූළ්හො කාලං කරොති (සිහි නොමුළාව කළුරිය කරයි)
නිරන්තරයෙන් මෛත්‍රී භාවනාව පුරුදු පුහුණ කරගෙන භාවිතා කරන තැනැත්තා සෑම මොහොතක ම කුශලය අරමුණු කරගත් සිහියෙන් අප්‍රමාදීව කටයුතු කරයි. එසේ නිරන්තරයෙන් කුශලය අරමුණු කරගෙන සිහියෙන් වසන තැනැත්තා මරණාසන්න මොහොතේ දී ද මුළා භාවයට පත් නො වේ. තමන් ගේ ආචීර්ණ කර්මය වශයෙන් මෙත් සිත ම එළඹ සිටී. මෛත්‍රී ධ්‍යාන ලබා සිටි තැනැත්තාට මරණාසන්න මොහොතේ ඒ මෛත්‍රී දැහැන් සිත එළඹ සිටින බැවින් නො මුළා බවට පත් වේ. නොමුළාව නින්දට පිවිසියාක් මෙන් මරණයට පත් වේ.

11. උත්තරිං අප්පටිවිජ්ඣන්තො බ්‍රහ්මලෝකූපගො හෝති (මතුයෙහි මගඵලයකට පත් නො වූයේ බඹලොව උපදියි)
මෛත්‍රී සමාපත්ති ලාභී භික්‍ෂුවට ඒ මෛත්‍රී ධ්‍යානය පදනම් කරගෙන විදසුන් වඩා සෝවාන් ආදි මගඵල පිළිවෙළින් අර්හත්වය ද සාක්‍ෂාත් කර ගත හැකි වන්නේය. එසේ නො හැකි වන භික්‍ෂුවට මරණාසන්න මොහොතේ නොමුළාව තමන්ගේ මෛත්‍රී ධ්‍යානය අරමුණු වීමෙන් මරණින් මතු බ්‍රහ්ම ලෝකයේ උපත ලැබීමට හේතු වේ.
අංගුත්තර නිකාය සත්තක නිපාතයේ මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ තමන් වහන්සේ බෝධිසත්ත්ව අවධියේ එක්තරා ආත්මභාවයක දී සත් වසක් මෛත්‍රිය වඩා සංවට්ට-විවට්ට කල්ප සතක් නැවතත් මෙලොවට නො පැමිණි බවයි. ලෝකය විනාශවන සංවට්ටකල්පයේ දී ආභස්සර බඹලොව උපත ලබා විසූහ. ලෝකය යළි නිර්මාණය වන විවට්ට කල්පයේ දී ශූන්‍ය බ්‍රහ්ම විමානයක උපත ලැබූහ.

එපමණක් ද නොව සත්වසක් මෙත් වැඩීමේ ආනිසංස වශයෙන් මහා බ්‍රහ්මයා වශයෙන් ද උපත ලැබූහ. තිස් හය වරක් ශක්‍රයාව උපත ලැබූහ. නොයෙක් සියවර සක්විති රජ විය. මෙසේ ඒ සත්වසක් මෛත්‍රිය වැඩීමේ ආනිසංස වශයෙන් නොයෙක් සැප විපාක ලද බව වදාළ සේක.

මෙසේ මෙත් වඩා ධ්‍යාන උපදවන ලද භික්‍ෂුව නො සිස් ධ්‍යාන ඇතිව කළුරිය කර මරණින් මතු බඹලොව උපත ලබයි.

මෛත්‍රී භාවනාව ආරම්භ කිරීමට කැමති යෝගියා මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ මෙත් වැඩීමේ ආනිසංස සිහිපත් කර ගත යුතු වේ. ආනිසංස සිහිපත් කරගෙන ආරම්භ කිරීමෙන් මෛත්‍රී සිත බලවත්ව පහළ කර ගත හැකි වේ.

එසේ ම මෛත්‍රී භාවනාව ආරම්භ කරනු කැමති යෝගියා මෙත් වැඩීමේ අනුසස් මෙන් ම ද්වේෂයේ ආදීනව ද සිහිපත් කර ගත යුතු වේ. ද්වේෂය නිසාවෙන් ලෝකයේ බොහෝ අනර්ථකාරී දේ සිදු වේ. ඉතා සුලුවෙන් පුද්ගලයන් දෙදෙනකු අතර ඇති වන ගැටීමක පටන් රට රටවල් යුද්ධ කිරීම්, ලෝක යුද්ධ දක්වා ම පැතිර පවත්නේ මෙම ද්වේෂයයි. ඒ තුළින් බොහෝ මිනිස් ඝාතන සිදුවේ. බොහෝ සත්ත්ව ඝාතන සිදු වේ. තවත් බොහෝ දෙනෙක් නොයෙක් දුක් පීඩාවලට පත් වේ. මේ සියල්ල ද්වේෂය නිසා ඇති වන අනර්ථයන් බව සිහිපත් කර ගත යුතු වේ.

ද්වේෂය විෂ කටුවක් මෙනි. විෂ කටුවක් ඇණුනු තැනැත්තා එයින් පීඩාවට පත් වේ. වේදනාවට පත් වේ. එසේ ම ඒ විෂ සකල ශරීරය පුරා පැතිර යයි. ඒ තුළින් බොහෝ කාලයක් දුකට පත් වේ. එසේ ම ද්වේෂය සිතේ ඇති වූ තැනැත්තා පීඩාවට පත් වේ. සිත නො සන්සුන් වීමෙන් වෙහෙසට පත් වේ. එසේ ම චිත්ත සන්තානය පුරාවට ද්වේෂය පැතිරීමෙන් බොහෝ කාලයක් අනර්ථකාරී දුක් වේදනාවන්ට පැමිණේ.

මෛත්‍රී භාවනාව මඟින් ද්වේෂය ප්‍රහාණය කළ යුතු වේ. එබැවින් ද්වේෂයේ ආදීනව මෙනෙහි කළ යුතු වේ. එසේ ම මෛත්‍රී භාවනාවෙන් අධිවාසනා ක්‍ෂාන්තිය හෙවත් ඉවසීමට පැමිණිය යුතු වේ. එබැවින් ද්වේෂයේ ආදීනවයන් සිහි කරගෙන අනතුරුව බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ඉවසීමේ ආනිසංසය ද සිහිපත් කර ගත යුතු වේ. ‘ඛන්තී පරමං තපෝ තිතික්ඛා, නිබ්බාණං පරමං වදන්ති බුද්ධා’ යැයි වදාළේ ඉවසීම හෙවත් ක්‍ෂාන්තිය උතුම් ම තපස බවයි. එසේ ම නිර්වාණය උතුම් ම බවයි. මේ බව සිහිපත් කරගෙන මෛත්‍රී භාවනාව ආරම්භ කළ යුතු වේ.
මෙසේ ආරම්භ කරන මෛත්‍රී භාවනාව පිළිවෙළින් වඩන ආකාරය මතු ලිපිවලින් අනාවරණය කිරීමට අදහස් කරමු.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි