මෛත්‍රී භාවනාව වඩනු කැමති පුද්ගලයන් පළමුව ද්වේෂයේ ආදීනව මෙනෙහි කර මෙත් වැඩීමේ ආනිසංස මෙනෙහි කොට තම චිත්ත සන්තානය තුළ ඉවසීමේ ගුණය වැඩි දියුණු කරගනිමින් මෛත්‍රී විහරණය ඇති කර ගැනීම පිණිස මෛත්‍රී භාවනාව ආරම්භ කළ යුතු වේ.

මෙත්ත සූත්‍රාදියේ දී බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාවට උපදෙස් දෙන ලද්දේ වුව ද ප්‍රායෝගිකව මෛත්‍රී විහරණය ඇති කරගැනීමේ දී ඒ සූත්‍ර දේශනාවන්ගේ අර්ථ විග්‍රහය මැනවින් සිදු කර ගත යුතු වේ. ප්‍රායෝගිකව මෛත්‍රී භාවනාව වඩන ආකාරය පිළිබඳ විශිෂ්ඨතම අර්ථ විග්‍රහය හමු වන්නේ විශුද්ධි මාර්ගයේ බ්‍රහ්මවිහාර නිර්දේශයේ ය. එහි දී පළමුව මෛත්‍රී භාවනාව වැඩීම පිළිබඳ දීර්ඝ විවරණයක් සැපයෙන අතර එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කොට අත්දැක ඇති ප්‍රත්‍යක්‍ෂ භාවනා මාර්ගයක් වේ. වර්තමානයේ භාවනාව පිළිබඳ නොයෙක් විවරණයන් හමු වුව ද ඒ බොහෝ භාවනා විවරණයන් බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනයට නො ගැළපෙනවා මෙන් ම ප්‍රායෝගිකව චිත්ත සමාධිය ඇති කරන භාවනා නොවේ. එබැවින් පෞරාණික මහාවිහාරීය භාවනා මාර්ගය තුළ විවරණය වන මෛත්‍රී භාවනාව මෙහි දී විස්තර කරනු ලැබේ.

විශුද්ධි මාර්ගයේ දැක්වෙන අන්දමට මෛත්‍රී භාවනාව ආරම්භ කරන යෝගාවචරයා විසින් පළමු කොට ම පුද්ගල දෝෂයෝ දැන ගත යුතුය. පුද්ගල දෝෂ යනු භාවනාවට හානිකර පුද්ගලයන් ය. ඇතැම් කෙනෙකුට පළමුව මෛත්‍රී කිරීම සුදුසු නොවේ. එවන් අයෙකුට මෛත්‍රී කිරීමෙන් භාවනාව ආරම්භ කරන තැනැත්තාට භාවනාව සමෘද්ධමත් කර ගැනීමට නො හැකි වේ. ඒ අනුව කවුරුන් කෙරෙහි පළමුව මෛත්‍රිය නො වැඩිය යුතුය දැයි පළමුව ම දැන ගත යුතුය.

මෙත් වැඩීමේ දී අප්‍රිය පුද්ගලයා ය, අතිශය ප්‍රිය සහායකයාය, මධ්‍යස්ථ පුද්ගලයාය, වෛරී පුද්ගලයාය යන සතර පුද්ගලයන් කෙරෙහි පළමුව නොම වැඩිය යුතුය. එසේ ම ස්ත්‍රී ලිංගාදි ලිංග විසදෘෂ පුද්ගලයන්ට ද පළමුව නො වැඩිය යුතුය. එනම් පුරුෂයෙක් විසින් පළමුව මෙත් වැඩීම ස්ත්‍රියක් කෙරෙහි නො කළ යුතුය. ස්ත්‍රියක් විසින් පළමුව පුරුෂයෙකුට මෙත් වැඩීම නො කළ යුතුය.

අප්‍රිය පුද්ගලයෙකුට පළමුව මෙත් වැඩීමේ දී ඒ අප්‍රිය තැනැත්තා ප්‍රිය ස්ථානයේ තබන්නට දරන උත්සාහයෙන් යෝගියා වෙහෙසට පත් වේ. එනම් අප්‍රිය බව ප්‍රිය බවට ඍජුවම ප්‍රතිපක්‍ෂ බැවින් අප්‍රියයා ප්‍රිත තැන තබන්නට උත්සාහ කිරීමේ දී වෙහෙසට පත් වේ. වැඩුණු මෛත්‍රී භාවනාවක් ඇති තැනැත්තාට එය අපහසුවක් නොවේ.
අතිශය ප්‍රිය සහායකයා කෙරෙහි ගේහසිත ප්‍රේමය ඇති වන බැවින් පළමුව මෙත් වැඩීම නො කළ යුතු වේ. වැඩුණු මෛත්‍රී භාවනාවක් නොමැති විට පළමුව මෙත් වැඩීමේ දී අතිශය ප්‍රිය සහායකයා මධ්‍යස්ථ බවට පත් කර ගත යුතු වේ. ඒ අතිශය ප්‍රිය සහායකයාට ඉතා කුඩා දුකක් ඇති වුව ද තමන්ට එය බලවත්ව දැනෙයි. එබැවින් අතිශය ප්‍රිය සහායකයාට ද පළමුව මෙත් වැඩීම නො කළ යුතු වේ.

උපේක්‍ෂාව ඇති කර ගත යුතු මධ්‍යස්ථ පුද්ගලයා සම්භාවනීය බවට ද ප්‍රිය කටයුතු බවට ද නො පැමිණේ. පළමුව මෙත් වැඩීමේ දී ඒ මධ්‍යස්ථ තැනැත්තා ගෞරවනීය තැනක ප්‍රිය තැනක තැබීමට දරන උත්සාහයේ දී යෝගියා වෙහෙසට පත් වේ. එබැවින් මධ්‍යස්ථ තැනැත්තාට ද පළමුව මෙත් වැඩීම නො කළ යුතු වේ.
වෛරී තැනැත්තා සිහි කිරීමෙන් ද සිතට ක්‍රෝධය උපදී. එබැවින් වැඩුණු මෛත්‍රී විහරණයක් නොමැති තැනැත්තාට වෛරී පුද්ගලයා කෙරෙහි පළමුව මෙත් වැඩීම කළ නොහැකි වේ. මෛත්‍රිය පුරුදු පුහුණු කරගෙන සෑම දෙනා කෙරෙහි ම සම සේ මෙත් වැඩීමට හැකි තත්ත්වයට පත් වූ යෝගියාට වෛරී පුද්ගලයාට ද මෙත් වැඩිය හැකි වේ. මේ නිසා වෛරී පුද්ගලයාට ද පළමුව මෙත් වැඩීම සිදු නො කළ යුතු වේ.

එසේ ම ලිංග විශභාග තැනැත්තාට ද විශේෂයෙන් අරමුණු කොට මෛත්‍රී වැඩීම නො කළ යුතු වේ. එනම් අසවල් කාන්තාව සුවපත් වේවා, අසවල් පුරුෂයා සුවපත් වේවා යනාදි වශයෙන් පුරුෂයෙක් ස්ත්‍රියකට මෙත් වැඩීම ද ස්ත්‍රියක් පුරුෂයෙකුට මෙත් වැඩීම ද නො කළ යුතු වේ. එසේ ලිංග විශභාග පුද්ගලයාට මෙත් වැඩීමේ දී රාගය උපදී. එබැවින් වැඩුණු භාවනාවක් නොමැති තැනැත්තා පළමුව ඒ ලිංග විශභාග තැනැත්තා විශේෂයෙන් අරමුණු කොට මෙත් වැඩීම නො කළ යුතු වේ.

මියගිය තැනැත්තන්ට මෙත් වැඩීමේ දී ධ්‍යානයක් හෙවත් අර්පණා සමාධියක් හෝ උපචාර සමාධියක් හෝ ඉපදවිය නො හැකි වේ. මෛත්‍රිය පැතිරවීමට අයෝග්‍ය ස්ථානයක් ලෙස මළවුන් කෙරෙහි ද මෛත්‍රී භාවනාව සිද්ධ නොවන බව සඳහන් වේ.

එක්තරා තරුණ භික්‍ෂුවක් තමන්ගේ ආචාර්යයන් වහන්සේ අරමුණු කරමින් මෙත් වැඩීම ආරම්භ කළේය. එහෙත් මෛත්‍රිය නො පවතින්නේය. උන්වහන්සේ මහාස්ථවිරයන් වහන්සේ සමීපයට ගොස් තමන්ට මෛත්‍රි ධ්‍යානය ප්‍රගුණ නොවන බව පැවසීය. සමවැදීමට නො හැකි වන බව පැවසීය. එහි දී මහාස්ථවිරයන් වහන්සේ අවවාද දුන්නේ තමන් මෙත් වඩන තැනැත්තා ජීවත් වේ ද නැද්ද යන්න සොයා බලන ලෙසයි. ඒ පිළිබඳ සොයා බැලීමෙන් තමන්ගේ ආචාර්යයන් වහන්සේ මරණයට පත් වී ඇති බව සොයා ගන්නා ලද බව විශුද්ධි මාර්ගයේ සඳහන් වේ. එබැවින් මෛත්‍රී භාවනාව මිය ගිය පුද්ගලයන් විෂයෙහි ද වැඩීම නො කළ යුතු වේ.

මෛත්‍රී භාවනාව වැඩීම ආරම්භ කරන තැනැත්තා සියල්ලට ම පළමුවෙන් තමන්ට මෛත්‍රිය වැඩීමට පුරුදු විය යුතුය. ‘මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ආත්මය පරිහරණය කරන්නෙක් වෙම්වා, සුවපත් වෙම්වා’ යනාදි වශයෙන් පළමුව තමන්ට මෙත් වැඩීම කළ යුතු වේ.
මෙහි දී බොහෝ දෙනෙකුට ඇති වන ගැටලුවක් වන්නේ බුදුරජාණන් වහන්සේ කිසිදු සූත්‍ර දේශනාවක තමන්ට මෛත්‍රී වැඩීමක් පිළිබඳව දේශනා කර නොමැති වීමත් සෑම තැන්හි ම අන් අයට මෙත් වැඩීම ගැන පමණක් ම දේශනා කර තිබීමත් නිසා තමන්ට මෙත් වැඩීම කළ යුතු ද යන්නයි. මෙත්ත සූත්‍රයේ ද හමු වන්නේ ‘සුඛිනො වා ඛෙමිනො හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා’ යනුවෙනි. කිසිදු ආකාරයකට තමන්ට මෙත් වැඩීමක් ‘අහං සුඛිතො හොමි’ යනාදි වශයෙන් හමු නොවේ. ඒ පිළිබඳව මීළඟ ලිපියෙන් විවරණය කරමු.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි