මෛත්‍රී භාවනාව ආරම්භ කරන තැනැත්තා පළමුවෙන් ම මෛත්‍රිය වැඩිය යුත්තේ තමන්ට ම වේ. ‘මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ආත්මය පරිහරණය කරන්නෙක් වෙම්වා, සුවපත් වෙම්වා’ යනාදි වශයෙන් පළමුව තමන්ට මෙත් වැඩීම කළ යුතු වේ.

මෙත් වැඩීම පිළිබඳ සඳහන් වන සූත්‍ර දේශනා සියල්ලෙහි ම අන් අයට මෙත් වැඩීම පිළිබඳව සඳහන් වන නමුදු තමන්ට මෙත් වැඩීමක් පිළිබඳ සඳහන් නොවේ. මෙත්ත සූත්‍රයේ ද ‘සුඛිනො වා ඛෙමිනො හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා’ යනාදි ලෙස සඳහන් වේ. ඒ සෑම තැනක දී ම දේශනා කරන ලද්දේ අන් සත්ත්වයන්ට මෙත් වැඩීම පිළිබඳවයි. ඒ අනුව තමන්ට මෙත් වැඩීම දේශනාවට විරුද්ධ දැයි කෙනෙකුට සිතක් පහළ විය හැකිය.
එසේ විරුද්ධතාවයක් ඇති නොවේ. දේශනා පාළියෙහි සියලු සත්ත්වයන්ට මෙත් වැඩීමට දේශනා කරන ලද සෑම අවස්ථාවක දී ම අර්පණා භාවනා වශයෙන් මෙත් වැඩීම කියන ලදී. එනම් මෛත්‍රී ධ්‍යානය ඉපදවීම් වශයෙනි. එහෙත් තමන්ට ‘මම සුවපත් වෙම්වා’ යනාදි වශයෙන් කරනු ලබන මෙත් වැඩීම මෛත්‍රී ධ්‍යාන ඉපදවීම පිණිස නොවේ. එසේ තමන්ට මෙත් වැඩීම කියන ලද්දේ සාක්‍ෂිභාව වශයෙන් වේ. තමන් වැඩිපුරම කැමති තමන්ගේ යහපතයි. එබැවින් පළමුව තමන්ට මෙත් වඩා ‘මම මෙන් ම සියලු සත්ත්වයෝ තම තමන්ගේ සැප කැමැත්තෝ වෙති. එහෙයින් මා විසින් ඔවුන් කෙරෙහි ද මා කෙරෙහි මෙන් ම සැප කැමති වීම කළ යුතුය’ යනුවෙන් තමන් සාක්‍ෂි ස්ථානයේ තබාගෙන අන් අයට ද මෙත් වැඩිය හැකි වේ. ඒ සඳහා පළමුව තමන්ට මෙත් වැඩීමට උපදෙස් දෙනු ලැබේ.

එසේ ම තමන්ට මෙත් වැඩීමෙන් මෛත්‍රී ධ්‍යාන ඉපදවිය හැක්කේ ද නො වේ. අවුරුදු සියයක් හෝ දහසක් හෝ ‘මම සුවපත් වෙම්වා’ යනාදි වශයෙන් තමන් කෙරෙහි මෙත් වැඩීම කළ ද ඔහුට මෛත්‍රී ධ්‍යානය නොම උපදී. එහෙත් ‘මම සුවපත් වෙමි’ යනාදි වශයෙන් තමන්ට මෙත් වැඩීමේ දී ‘මම යම් සේ සැප කැමති වෙම් ද දුක පිළිකුල් කරම් ද එපරිද්දෙන් ම සෙසු සියලු සත්ත්වයෝ ද සුව කැමැත්තෝ ය. දුක් නො කැමැත්තෝ ය.’ යැයි තමා සාක්‍ෂි කොට සෙසු සතුන් කෙරෙහි හිත සුව කැමති බව උපදී. එහෙයින් පළමුව තමන්ට මෙත් වැඩීම කළ යුතු වේ.
පළමුව තමන්ට මෙත් වැඩීමක් දේශනා පාළියේ නො හමු වුව ද තමන්ගේ හිත සුව කැමති තැනැත්තා තමන් උපමා කොට අන් අයගේ ද හිත කැමති විය යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයේ වදාළ ගාථාවක් මෙසේ ය.

සබ්බා දිසා අනුපරිගම්ම චෙතසා – නෙවජ්ඣගා පියතරමත්තනා ක්වචි
එවං පියො පුථු අත්තා පරෙසං – තස්මා න හිංසෙ පරං අත්තකාමො

එහි අර්ථය මෙසේය. සියලු දස දිශාවලට සිතින් සොයා ගොස් කිසි දිශාවක තමාට වඩා අතිශයින් ප්‍රිය සත්ත්වයෙක් නොම දක්නේය. සෙසු සත්ත්වයන්ට ද වෙන වෙන ම තම තමන්ගේ ශරීරය එසේ ම ප්‍රිය වේ. එහෙයින් තමන්ට හිත සුව කැමැති තැනැත්තා අන් සත්ත්වයන් නො වෙහෙසන්නේය.

ඒ අනුව බුදුරජාණන් වහන්සේ විසින් වදාළේ සියලු සත්ත්වයන්ට වඩා තමා ම ප්‍රියතර බව සලකා තමන්ගේ හිත සුව කැමති වන්නා සේ ම අන් සියලු සත්ත්වයන් කෙරෙහි ද කරුණාව උපදවාගත යුතු බවයි. ඒ අනුව තමන් සාක්‍ෂි භාවයෙහි තබා සෙසු සතුන් කෙරෙහි මෙත් වැඩිය යුතු බව බුදුරජාණන් වහන්සේ විසින් ම දේශිත බව සැලකිය යුතු වේ.

එසේ තමන්ට කොපමණ මෙත් වැඩුව ද මෛත්‍රී ධ්‍යානය ඉපදවිය නොහැකි බව ඉහත දක්වන ලදී. තමන්ට තමන් පිළිබඳ ආත්ම ස්නේහයක් පවතී. ඒ ආත්ම ස්නෙහය ධ්‍යාන ඉපදවීමට උපද්‍රවයක් බවට පත් වේ. එහෙත් සෙසු බැහැර සත්ත්වයන් කෙරෙහි මෙත් වඩා මෛත්‍රී ධ්‍යානය උපදවන ලද තැනැත්තාට තමන් කෙරෙහි ද සීමා සම්භේදය සිදුවන බව විශුද්ධි මාර්ග සන්නයේ සඳහන් වේ.

එබැවින් පළමු කොට තමා කෙරෙහි මෙත් වැඩීම කළ යුතු වේ. ‘මම යම් සේ සුව කැමති වෙමි ද දුක පිළිකුල් කරමි ද, දුක නො කැමති වෙමි ද, සෙසු සත්ත්වයෝ ද එසේ ම තම තමන්ගේ සුව කැමති වෙති, දුක පිළිකුල් කරති, දුක නො කැමති වෙති’ යැයි සෙසු සතුන්ගේ හිත සුව කැමති බවට සාක්‍ෂි කරණු පිණිස පළමු කොට තමන් කෙරෙහි මෙත් සිත පැතිරවිය යුතු වේ. අනතුරුව තමන් සාක්‍ෂි ස්ථානයේ තබා සෙසු සත්ත්වයන්ට ද මෙත් වැඩිය යුතු වේ.
මෛත්‍රී භාවනාවේ දී මීළඟට අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ ඒ සඳහා භාවිතා කරන මනසිකාර පාඨය කුමක් ද යන්නයි. සමහර කෙනෙක් ‘මම නිදුක් වෙම්වා, නීරෝගී වෙම්වා, දුකින් මිදෙම්වා, සුවපත් වෙම්වා, නිවන් දකිම්වා’ යනාදි වශයෙන් දීර්ඝ පාඨයක් සජ්ඣායනය කරමින් මෙත් වඩති. එහෙත් ඒ තුළින් මෛත්‍රී භාවනාවේ විශේෂ තත්ත්වයකට පැමිණීම අපහසු වේ. බොහෝ දීර්ඝ භාවනා පාඨයක් මෙනෙහි කිරීමේ දී සිත එක් අරමුණකට සමාධිමත් වීම දුර්වල බැවිනි.

එබැවින් මෙත් වැඩීම පිණිස කෙටි වාක්‍යයක් භාවිතයට පුරුදු වීම වඩාත් සුදුසු වේ. ඒ සඳහා බොහෝ විට භාවිතා කරන වාක්‍ය ඛණ්ඩ 4 ක් වේ.
1. වෛර නැත්තෙක් වේවා.
2. තරහ නැත්තෙක් වේවා.
3. දුක් පීඩා නැත්තෙක් වේවා.
4. සුවසේ ආත්මය පරිහරණය කරන්නෙක් වේවා.

මේ අතරින් ද එක් වාක්‍ය ඛණ්ඩයක් පමණක් තෝරාගෙන පළමුව මෙත් වැඩීමට පුරුදු වීම වඩාත් සුදුසු වේ. උදාහරණයක් ලෙස ‘වෛර නැත්තෙක් වේවා’ යන්න තෝරාගෙන පළමුව තමන්ට ‘මම වෛර නැත්තෙක් වෙම්වා’ යැයි වැඩිය යුතු වේ. ඉන් පසු සෙසු පුද්ගලයන්ට ද පිළිවෙළින් මෙත් වැඩිය යුතු වේ.
මෙසේ මෙත් වැඩීම සඳහා පළමුව මෙම එකිනෙක වාක්‍ය ඛණ්ඩයේ අර්ථය හොඳින් වටහා ගැනීම ද වැදගත් වේ. එසේ අර්ථය හොඳින් වැටහෙන විට තමන්ගේ සන්තානයේ මෛත්‍රිය වැඩීම ද මැනවින් සිදු වන බැවිනි.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි