බාහිර පුද්ගලයන්ට මෙත් වැඩීමට ප්‍රථම යම් සේ මම සැප කැමති වෙම් ද එසේ ම සෙසු සත්ත්වයන් කෙරෙහි ද හිත සුව කැමති බවට තමන් ශාක්‍ෂි කරණු පිණිස පළමුව තමන්ට මෙත් වැඩිය යුතු බව පැහැදිලි කරන ලදී.
මෙසේ මෙත් වැඩීමේ දී භාවිතා කරන පද පිළිබඳව අර්ථ වශයෙන් වටහාගෙන මෙනෙහි කිරීමෙන් තමන්ගේ චිත්ත සන්තානය තුළ මෛත්‍රිය වැඩි වර්ධනය කර ගැනීමට පහසු වේ. මෛත්‍රී භාවනාවේ දී බොහෝ වශයෙන් භාවිතා කරන වාක්‍ය ඛණ්ඩ 4 ක් මෙසේ ය.
1. වෛර නැත්තෙක් වේවා.
2. තරහ නැත්තෙක් වේවා.
3. දුක් පීඩා නැත්තෙක් වේවා.
4. සුවසේ ආත්මය පරිහරණය කරන්නෙක් වේවා.

වෛරය යනු තරහවේ උච්චතම අවස්ථාවක් වේ. යම් පුද්ගලයෙක් තමන්ට වරදක් සිදු කළේ නම් ඒ පුද්ගලයාට ද තමන් වරදක්, අනතුරක්, හානියක් කරන බවට ඇති හැඟීම වෛරයයි. බද්ධ වෛරය ලෙසින් ද හැඳින්වේ. මේ නිසා වෛරය යනු තරහව බලවත් වීමේ තත්ත්වයකි. එබැවින් වෛර නැති තැනැත්තෙක් වීම තරහව නැති කර ගැනීමට ද උපකාරී වේ. පළමුව වෛර නැත්තෙක් වේවා යැයි මෙත් වැඩීම මේ නිසා වැදගත් වේ. ඒ අනුව තමන්ට හානියක් කරන අයෙකුට නමුදු තමන් මෛත්‍රී කරන අයෙක් විය යුතුය. ‘මම වෛර නැත්තෙක් වෙම්වා’ යැයි මෙනෙහි කරන්නේ තමන්ගේ චිත්ත සන්තානයේ ඇති මෙම බද්ධ වෛරය නමැති ද්වේශ හුල ගලවා ඉවත් කිරීම පිණිසය.

එබැවින් බොහෝ වේලාවක් තමන්ට ‘මම වෛර නැත්තෙක් වෙම්වා’ යැයි මෙනෙහි කරන්න. වෛරය නිසා ලෝකයා පත් වන ව්‍යසනයන් ගැන සිතමින් තමන් ඒ වෛරයෙන් අත මිදෙන ආකාරය මෙනෙහි කරගන්න. ලෝකයේ බොහෝ දෙනෙක් වෛරය නිසා අඩදබර ඇති කරගෙන ව්‍යසනයට පත් වෙති. රට රටවල් අතර යුද්ධ, කලකෝලහාල ඇති වන්නේ වෛරය නිසාවෙනි. ඒ වෛරය තමන්ගේ සිතෙන් තුරන් වන ආකාරය ගැන මෙනෙහි කරගන්න. මෙසේ බොහෝ වේලාවක් මෙත් වැඩීමේ දී කිසියම් පුද්ගලයෙක් පිළිබඳ ද්වේශයෙන් යුතුව ඔහුගෙන් පළිගැනීමට අදහසක් පහළ වන විට සිතට දැනෙන අපහසු ගතිය සිතෙන් තුරන් වන ආකාරය අත්දැකිය හැකි වේ. සිතේ බර ගතිය අඩු වී සැහැල්ලු බවට පත් වන ආකාරය අත් දැකිය හැකි වේ. එවිට කිසියම් තරහ ඇති පුද්ගලයෙක් සිතට මතකයට ආ නමුදු ඔහු කෙරෙහි බලවත් අකමැත්තක් ඇති නොවී සිත මැදහත් බවකට පත් වනු අත් දැකිය හැකි වේ. මෙසේ සිතට සැහැල්ලුව දැනෙන තෙක් ‘මම වෛර නැත්තෙක් වෙම්වා’ යැයි මෙත් වැඩිය යුතු වේ.

අනතුරුව ‘මම තරහ නැත්තෙක් වෙම්වා’ යැයි ද මෙත් වැඩිය හැකි වේ. තරහව යනු සිතේ ඇති වන ගැටීම් සහගත බවයි. තවත් පුද්ගලයෙක් සමඟ සිත ගැටීමට පත් වීමයි. ඒ ගැටීම නිසා සිත ලෙඩ වේ. එබැවින් සිතේ ගැටීම් අවම කරගැනීමට තරහ නැති තත්වයකට සිත පත් කර ගත යුතු වේ. තරහව දියුණු වීම නිසාවෙනි ලෝක සත්ත්වයා වෛරය ඇති කරගන්නේ. එබැවින් තරහව තමන්ගේ සිතෙන් දුරු වන ආකාරය ගැන මෙනෙහි කරන්න. මෙසේ බොහෝ කිසියම් කාලයක් මෙත් වැඩීමේ දී තමන් තරහ නො ගන්නා තැනැත්තෙක් යැයි තමන්ට ම හැඟීමක් ඇති වේ. තමන් අන් අයට වඩා හොඳ පුද්ගලයෙක් යැයි හැඟීමක් ඇති වේ. තමන් තරහව නමැති කරදරයෙන් මිදුණු අයෙක් යන හැඟීමක් ඇති වේ. තරහ ඇති වීමේ දී සිතේ ඇති වන අපහසුතාවය පහ වී ගිය බවක් තමන්ට හැඟී යනු ඇත. සිතේ බර ගතිය අඩු වී සිත සැහැල්ලු බවට පත් වනු අත්දැකිය හැකි වේ. මෙසේ සිතට සැහැල්ලුව දැනෙන තෙක් ‘මම තරහ නැත්තෙක් වෙම්වා’ යැයි මෙත් වැඩිය යුතු වේ.

‘මම දුක් පීඩා නැත්තෙක් වෙම්වා’ යැයි ද නැවත මෙත් වැඩිය හැකි වේ. සිත නොයෙක් කරදර නිසාවෙන් දුකට පීඩාවට පත් වේ. එයින් සිතේ සැහැල්ලුව නැති වී දුකින් ගත කිරීමට සිදු වේ. සිතේ දුක් පීඩා දුරු වේවා යැයි තමන්ට මෙත් වැඩීමෙන් බලාපොරොත්තු වන්නේ නොයෙක් සිත් පීඩාවලින් ඇති වන දුක් කරදර ගතිය දුරු වීමකි. එසේ සිත දුක් කරදරවලින් නිදහස් වන ආකාරය ගැන මෙනෙහි කරමින් තමන්ට ‘මම දුක් පීඩා නැත්තෙක් වෙම්වා’ යැයි මෙත් වඩන්න. එවිට නැවතත් තම සිත සැහැල්ලු වන බව තමන්ට වැටහෙනු ඇත. දුක් පීඩාවලින් සිත නිදහස් වන බවක් දැනෙනු ඇත. දුකක් සිතට දැනෙන විට ඇති අපහසුතාවය දුරු වී මැදහත් වන ආකාරය, සිතේ බර අඩු වී සැහැල්ලු වන ආකාරය වැටහෙනු ඇත. එසේ දැනෙන තෙක් ම තමන්ට මෙත් වැඩිය යුතු වේ.
අවසාන වශයෙන් ‘මම සුවසේ ආත්මය පරිහරණය කරන්නෙක් වෙම්වා’ යැයි මෙත් වැඩිය හැකි වේ. ‘ආත්මය පරිහරණය කිරීම’ යනු අපගේ ජීවිතය පැවැත්වීමයි. එදිනෙදා කරනු ලබන සියලුම කටයුතු ආත්මය පරිහරණය කිරීමකි. තමන්ගේ සිතේ වෛරය, තරහව ආදි කෙලෙස් දුරු වීමෙන් ඇති වන සැපවත් බව ආත්මය පරිහරණය කිරීමේ සුවපත් බවයි. එබැවින් ‘සුවසේ ආත්මය පරිහණය කරන්නෙක් වෙම්වා’ යනුවෙන් මෙනෙහි කිරීමෙන් අපේක්‍ෂා කරන්නේ සියලු ආකාරවලින් සුවපත් භාවයට පත් වීමයි. මෙසේ මෙනෙහි කිරීමේ දී ද තමන්ගේ සිතේ බර බව අඩු වී සිත සැහැල්ලු වන ආකාරය අත්දැකිය හැකි වේ. එසේ සිත සැහැල්ලු බවට පත් වන තෙක් ම මෙනෙහි කිරීම කළ යුතු වේ.

මෙම වාක්‍ය ඛණ්ඩ සතර ම මෙනෙහි කිරීම කළ හැකි වේ. කිසියම් කෙනෙක් එක් වාක්‍ය ඛණ්ඩයක් පමණක් මෙනෙහි කරයි නම් එයින් ද මෛත්‍රිය වැඩීම සිදු වේ. එබැවින් ‘වෛර නැත්තෙක් වේවා’ යන වාක්‍යය පමණක් තමන් ද අනෙක් අය ද අරමුණු කරගෙන මෙනෙහි කර අවසන් කර නැවත දෙවන වාක්‍යය ගෙන මෙත් වැඩීම ආරම්භ කිරීම ද කළ හැකි වේ.

මෙහි දී වැදගත් වන්නේ කිසියම් වාක්‍ය ඛණ්ඩයකින් කරන මෙත් වැඩීමේ දී සිතේ වැඩීමක් සිදුවන තෙක් ම මෙනෙහි කිරීමයි. සිතේ සැහැල්ලු බව, මෛත්‍රිය ඇති බව තමන්ට හැඟෙන තෙක් ම අනෙක් බාහිර පුද්ගලයන් අරමුණු කරගෙන මෙත් වැඩීමට හදිසි නො විය යුතුය. එසේ වුවහොත් සිතේ වැඩීමකින් තොරව ඉදිරියට යාමෙන් භාවනාව දුර්වල වනු ඇත.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි