ප්‍රිය පුද්ගලයාගේ පටන් අප්‍රිය අමනාප පුද්ගලයා දක්වා වෙන වෙන ම පිළිවෙළින් මෙත් වැඩීම කළ යුතු බව පසුගිය ලිපියෙන් පැහැදිලි කරන ලදී. පළමුව තමන්ට මෙත් වඩා අනතුරුව ප්‍රිය නමුත් ගෞරවයෙන් ඇසුරු කරන සම්භාවනීය පුද්ගලයෙකුට මෙත් වඩන්න. අනතුරුව ප්‍රිය පුද්ගලයාගේ පටන් අප්‍රිය අමනාප පුද්ගලයා දක්වා මෙත් වඩන්න. ඒ සෑම පුද්ගලයෙකුට ම මෙත් වැඩීමේ දී එක සමාන මට්ටමකට මෛත්‍රී සිත පවතින තුරු මෙත් වැඩීම සිදු කළ යුතු වේ.

මෙසේ පුද්ගලයන් පස් දෙනෙකුට හය දෙනෙකුට පමණ වෙන වෙන ම මෙත් වඩා සිත පුරුදු කර ගත යුතු වේ. එවිට සිතේ මෛත්‍රිය නිරන්තරයෙන් ම පවතින්නට පටන් ගනු ඇත. පුද්ගලයන් වැඩි පිරිසක් වෙන වෙන ම තෝරා ගැනීම ද වරදක් නැත.

අප්‍රිය අමනාප පුද්ගලයා දක්වා මෙත් වඩා අවසන් වූ පසු දැන් තමන් මෙත් වැඩූ පුද්ගලයන් සියලු දෙනා එක වර අරමුණු කර සියලු දෙනාට ම මෙත් වැඩීම සිදු කළ හැකි වේ. ප්‍රිය පුද්ගලයාගේ පටන් අප්‍රිය පුද්ගලයා දක්වා සියලු දෙනා ම එක සිතට කැටි වී ගොනු වී අරමුණු වන බව ඔබට වැටහෙනු ඇත. ඒ පුද්ගලයන් කිසිවෙකු අතර වෙනසක් නොමැතිව සම මට්ටමෙන් මෙත් සිත පවතින ආකාරය වැටහෙනු ඇත. තමන් ද සමඟ සියලු දෙනා එකම මට්ටමකට වෛර නැති පුද්ගලයන් බව සිතට දැනෙනු ඇත.

මෙසේ ප්‍රිය අප්‍රිය පුද්ගලයන් සියලු දෙනාට එක හා සමාන මට්ටමකින් මෙත් සිත පැවැත්විය හැකි වීම මෛත්‍රී භාවනාවේ සීමා සම්භින්දනය ලෙස හැඳින්වේ. මෛත්‍රී භාවනාවේ අර්පණාවට හෙවත් ධ්‍යානයට පත් වන්නේ මෙම සීමා සම්භින්දනයෙනි. එබැවින් මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන ඉපදවීම සෙසු භාවනාවලට වඩා පහසු බවක් ඇත.

සීමා සම්භින්දනය සිදු වුවහොත් ඒ යෝගියා මෛත්‍රී භාවනාවෙන් අර්පණා සිත උපදවා ඇත. එනම් ප්‍රථම ධ්‍යානයට සම වැදී ඇත. දැන් එය තව දුරටත් ප්‍රගුණ කර ගත යුතු වේ. මේ නිසා ප්‍රිය අප්‍රිය සියලු දෙනා එකට අරමුණු කරමින් සම මට්ටමින් මෙත් සිත පැවැත්විය හැකි මට්ටමට භාවනාව දියුණු වූ විට ඒ මෛත්‍රී සිත පවතින අවස්ථාවේ තවත් පුද්ගලයන් අරමුණු කර මෙත් සිත පැවැත්වීමට හැකි දැයි පරික්‍ෂා කර බැලිය හැකි වේ. කලින් අරමුණු නො කළ පුද්ගලයෙක් අරමුණු කළහොත් ඒ පුද්ගලයා ද ක්‍ෂණිකව ම අනෙක් පුද්ගලයන්ගේ සම මට්ටමට පත් වනු ඇත. ඒ පුද්ගලයා අරමුණු කරගෙන ද අනෙක් අය හා සමානව මෙත් සිත පවතිනු ඇත. මෙසේ පුද්ගලයන් කිහිප දෙනෙක් අරමුණු කර එහි ඇති ආශ්චර්යය තමන්ට ම වටහා ගත හැකි වේ.

දැන් යෝගියා තමන්ගේ මෙත් සිත තරමක් දුරට දියුණු කරගෙන ඇත. මීළඟට එය තවදුරටත් ප්‍රගුණ කිරීම පිණිස මෛත්‍රිය පැතිරවිය හැකි වේ. ප්‍රිය අප්‍රිය සියලු දෙනා අරමුණු කර ඇති වූ මෙත් සිත තමන් සිටින ප්‍රදේශයට පැතිරවිය හැකි බව තමන්ට වැටහෙනු ඇත. සමහර කෙනෙකුට මෙම අවස්ථාවේ ආලෝකයක් වැනි යමක් වැටහීමට ඉඩ ඇත. එසේ නැතිනම් සියලු පුද්ගලයන් එකතු වී අරමුණු වූ සිතක් දැනෙනු ඇත. ඒ සිත හෝ ආලෝකය තමන් සිටින ප්‍රදේශයට පැතිරවීමට උත්සාහ කළ යුතු වේ.

ඒ අනුව පළමුව තමන් සිටින කුටිය හෝ කාමරයට මෙත් සිත පැතිරවිය හැකි වේ. සමාධිමත් සිත තියුණු ඇතැම් යෝගාවචරයෙකුට මෙසේ අරමුණු කිරීමේ දී ඒ ප්‍රදේශය සිතට පෙනීමට ද හැකි ය. එහෙත් එසේ වීම අත්‍යවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ තමන්ට අරමුණු කරන මුළු ප්‍රදේශයට ම මෙත් සිත පැතිරෙන බව වැටහීමයි. එසේ වැටහෙන විට ඒ ප්‍රදේශය පුළුල් කළ යුතු වේ.

පළමුව කුටිය හෝ කාමරය අරමුණු කළේ නම් එතැනින් මුළු සේනාසන ඉඩම හෝ ගෙවත්ත අරමුණු කර ඒ දක්වා මෙත් සිත පැතිරවිය හැකි වේ. එවිට ඒ සමස්ථයට මෙත් සිත පැතිරෙන බව වැටහෙනු ඇත. එතැනින් ගමට, ගමෙන් රටට, රටෙන් ලෝකයට, ලෝකයෙන් විශ්වයට මෙත් සිත පතුරවන්න. මුළු ලෝකයම තම මෙත් සිතෙන් ආවරණය වී ඇති බව වැටහෙනු ඇත. එවිට සිතට ශක්තිමත් සමාධිමත් බවක් වැටහෙනු ඇත. මේ දක්වා නිවැරදිව මෙත් සිත වැඩිය හැකි වූයේ නම් දැන් සිත අර්පණා සමාධියකට සම වැදී පවතිනු ඇත. එබැවින් ඒ සිතෙන් නැගී සිට ධ්‍යානාංග ප්‍රත්‍යවේක්‍ෂා කළ හැකි වේ.

තම සිත මෛත්‍රී අරමුණ තුළට කිඳා බැස ඇති ආකාරයක් වැටහෙන යෝගාවචරයා දැන් එම සිත මුදවාගෙන උපචාරයට පැමිණිය යුතු වේ. කිසියම් ආලෝකයක් වැටහෙන යෝගියාට නම් එම ආලෝකය ඇතුළේ සිටින බවක් වැටහෙනු ඇත. එයින් මිදී ආලෝකය තමන් ඉදිරියේ තිබෙන ආකාරයට සිත මුදවා ගත යුතු වේ. මෙවන් අවස්ථාවක ප්‍රායෝගිකව නොයෙක් උපක්‍රම භාවිතා කිරීම භාවනාව ප්‍රගුණ කරවන ස්වාමීන් වහන්සේලා විසින් සිදු කෙරේ. එබැවින් මෙවන් අවස්ථාවක ප්‍රායෝගික උපදෙස් ලබා ගැනීමට සුදුසු කමටහන් දෙන ස්වාමීන් වහන්සේ නමක් වෙත යාම සුදුසු වේ. සමහර කෙනෙක් මෙවැනි භාවනාවක් ප්‍රායෝගිකව නිවැරදිව සිදු කර නොමැති බැවින් මෙවන් අවස්ථාවල නිවැරදිව උපදෙස් දිය නොහැකිව භාවනාවට ගර්හා කරනු ඇත. එවන් කමටහන් ඇදුරු හිමිවරුන් වෙතින් කිසි දිනක ධ්‍යාන සමාධියක් ඉපදවිය නොහැකි වනු ඇත.

එසේ ප්‍රායෝගිකව භාවනාව පුරුදු කර නැති බොහෝ දෙනෙක් පවසන්නේ ධ්‍යාන ඉපදවීම ශාසනයෙන් බැහැර යෝගීන් වෙත තිබූ දෙයක් බවත් බෞද්ධ භාවනාවේ ධ්‍යාන ඉපදවීම නොකළ යුතු බවත්ය. එහෙත් මහා සතිපට්ඨාන සූත්‍රය ඇතුළු සූත්‍ර පිටකයේ භාවනා මාර්ගය දේශනා කරන සෑම සූත්‍රයකම පාහේ ප්‍රථමධ්‍යානාදියට උපදෙස් දෙන බැවින් එම වැරදි ඔවදන්වලට නො රැවටී මෙහි පැහැදිලි කළ පිළිවෙළට මෛත්‍රී භාවනාව වඩා මෛත්‍රී ධ්‍යානය උපදවා ගැනීමට උත්සාහ කරත්වා. එයින් නො නැවතී ඒ මෛත්‍රී ධ්‍යානය පාදක කරගෙන විදසුන් වඩා උතුම් නිර්වාණය සාක්‍ෂාත් කර ගනිත්වා.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි