මෛත්‍රී භාවනාවෙන් සීමා සම්භින්දනය කොට හිත අහිත මැදහත් සෑම පුද්ගලයෙකුට ම එක සේ මෙත් සිත පැවැත්විය හැකි වේ නම් සිත ප්‍රථම ධ්‍යානයෙන් අර්පණාවට පැමිණෙන බව ඉහත පැහැදිලි කරන ලදී. පළමුව තමන්ට මෙත් සිත පවත්වා අනතුරුව හිතවත් සම්භාවනීය පුද්ගලයාගේ පටන් අහිතවත් පුද්ගලයා දක්වා මෙත් සිත පවත්වා පුරුදු කරන ලද යෝගියා සියලු හිත අහිත මැදහත් පුද්ගලයන් අරමුණු කර මෛත්‍රිය වඩයි. එයින් සම සේ මෙත් සිත පැවැත්විය හැකි වන පරිදි සීමා සම්භින්දනය වේ නම් සිත ප්‍රථම ධ්‍යානයට පත් වේ. අනතුරුව ඒ මෙත් සිත නැවත නැවත පරිශීලනය කරමින් ශක්තිමත් කරගෙන දෙවන තෙවන ධ්‍යානයන්ට ද පැමිණිය හැකි වේ.

මෛත්‍රියෙන් ප්‍රථම ධ්‍යානය උපදවන ලද යෝගියා එම ධ්‍යානයෙන් නැගී සිට ධ්‍යානාංග ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතු වේ. ඒ අනුව විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා යන අංගවලින් සමන්වාගත බව හඳුනාගත හැකි වේ. මෙහි දී ද ඉහත ආනාපානසති භාවනාවේ දී පැහැදිලි කළ ආකාරයට ධ්‍යාන වශී භාවයට පත් කර ගන්නේ නම් වඩාත් සුදුසු වේ.

ප්‍රථම ධ්‍යානයෙන් නැගී සිට අංග ප්‍රත්‍යවේක්‍ෂා කර විතක්ක, විචාර නොමැති ද්විතීය ධ්‍යානයට සම වැදිය යුතු වේ. ප්‍රථම ධ්‍යානය ඉපදවීමට අරමුණු කරන ලද පුද්ගලයා ම අරමුණු කරගෙන විතක්ක, විචාර රහිත ද්විතීය ධ්‍යානයට සම වැදිය යුතු වේ. නැවත එයින් නැගී සිට ධ්‍යානාංග ප්‍රත්‍යවේක්‍ෂා කර එම පුද්ගලයා ම අරමුණු කරගෙන පීති රහිත සුඛ ඒකග්ගතා සහිත තෘතීය ධ්‍යානයට සම වැදිය හැකි වේ. මෙසේ මෛත්‍රී භාවනාවෙන් ප්‍රථම, ද්විතීය සහ තෘතීය ධ්‍යානයන්ට පැමිණිය හැකි අතර චතුර්ථ ධ්‍යානය ඉපදවිය නො හැකි වේ.

මෛත්‍රී භාවනාවෙන් අර්පණා සමාධිය උපදවන ලද යෝගාවචරයාට පටිසම්භිදාමග්ගපාළියෙහි දක්වන ලද ආකාරයට පස් ආකාරයකට අවධියක් නැතිව (අනොධිසො) හෙවත් විශේෂ පිරිසිඳීමක් නොමැතිව මෛත්‍රී ධ්‍යානය ඉපදවීම ද, සප්තාකාරයකට අවධියක් සහිතව (ඔධිසො) මෛත්‍රී ධ්‍යානය පැතිරවීම ද, දශ ආකාරයකින් දිශා වශයෙන් මෛත්‍රිය පැතිරවීම ද දත යුතු වේ. මේ සියල්ල මෛත්‍රී ධ්‍යානය උපදවන ලද යෝගියාට පමණක් ම සමෘද්ධමත් වේ.

සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීන්, සියලු භූතයන්, සියලු පුද්ගලයන්, සියලු ආත්මභාව පර්යාපන්නයන් යනුවෙන් ආකාර පසකට මෙත් වැඩීම කළ හැකි බව පටිසම්භිදාමග්ගපාළිය දක්වයි. ඒ අනුව සියලු සත්ත්වයන් අරමුණු කරමින් ‘වෛර නැත්තෝ වෙත්වා’ යනාදි ක්‍රමයෙන් මෙත් වැඩීම කළ හැකි වේ. නැවත් සියලු ප්‍රාණීන් අරමුණු කළ හැකි වේ.

ඒ අනුව ‘වෛර නැත්තෝ වෙත්වා’ (අවෙරා හොන්තු) යන එක් පදයකින් සියලු සත්ත්වයන්ට මෙත් වැඩීම කළ හැකි වේ. ‘සත්ත්ව’ ශබ්දයෙන් ඉතිරියක් නැතිව සියලු ම සත්ත්වයන් අරමුණු කරනු ලැබේ. එසේ ‘සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා’ යැයි මෙත් වඩා සිත ප්‍රථම ධ්‍යානයෙන් සමාධිමත් කර ගෙන එයින් ද්විතීය, තෘතීය ධ්‍යානයන් ද උපදවා ගත හැකි වේ.

අනතුරුව ‘නිරෝග වූවෝ වෙත්වා’ (අව්‍යාපජ්ඣා හොන්තු) යන දෙවන පදයෙන් ද මෛත්‍රිය උපදවාගත හැකි වේ. ඒ අනුව ‘සියලු සත්ත්වයෝ නිරෝග වූවෝ වෙත්වා’ යැයි මෙත් වඩා පෙර කී ආකාරයෙන් ම ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යානයන් උපදවා ගත හැකි වේ.

අනතුරුව ‘නිදුක් වූවෝ වෙත්වා’ (අනීඝා හොන්තු) යන තෙවන පදයෙන් මෙත් සිත පැවැත්විය හැකි වේ. එසේ ‘සියලු සත්ත්වයෝ නිදුක් වූවෝ වෙත්වා’ යනුවෙන් ද මෙත් වඩා ඉහත කී ආකාරයෙන් ම ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යානයන් උපදවා ගත හැකි වේ.

අනතුරුව ‘සුවසේ ආත්මය පරිහරණය කරත්වා’ (සුඛී අත්තානං පරිහරන්තු) යන සිව්වන පදයෙන් ද සියලු සත්ත්වයන්ට ‘සියලු සත්ත්වයෝ සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යැයි මෛත්‍රිය වඩා ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යාන උපදවා ගත හැකි වේ.

මේ අනුව ‘සියලු සත්ත්වයෝ’ යැයි අරමුණු කර ‘වෛර නැත්තෝ, නිරෝගි වූවෝ, නිදුක් වූවෝ, සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් මෙත් සිත පැතිරවීමෙන් ධ්‍යාන සතරක් ඉපදවිය හැකි වේ.
නැවත ‘සියලු ප්‍රාණීන්’ යැයි අරමුණු කිරීම කළ හැකි වේ. ප්‍රාණීන් යනු ජීවත් වන අර්ථයෙන් වේ. ආශ්වාස ප්‍රශ්වාස අයත් කොට පවත්නා සියලු ජීවයක් සහිත වූවන් ප්‍රාණීන් ලෙස ගැනේ. ඒ අනුව සියලු ප්‍රාණීන් යැයි අරමුණු කිරීමෙන් ද ඉහත ‘වෛර නැත්තෝ, නිරෝගි වූවෝ, නිදුක් වූවෝ, සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් මෙත් සිත පැතිරවීමෙන් ධ්‍යාන සතරක් ඉපදවිය හැකි වේ.

නැවත ‘සියලු භූතයන්’ යැයි අරමුණු කළ හැකි වේ. කර්ම ක්ලේශ දෙකින් විශේෂයෙන් උපන් සත්ත්වයන් යන අර්ථයෙන් භූත නම් වේ. ඒ අනුව සියලු භූතයන් යන අරමුණු කිරීමෙන් ‘වෛර නැත්තෝ, නිරෝගි වූවෝ, නිදුක් වූවෝ, සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් මෙත් සිත පතුරවා ධ්‍යාන සතරක් ඉපදවිය හැකි වේ.

නැවත ‘සියලු පුද්ගලයන්’ යැයි අරමුණු කළ හැකි වේ. ‘පූරණතො ගලනතො ච පුග්ගලා’ යන නිරුක්ති අනුව ඒ ඒ සත්ත්ව නිකාය එහි උපදින්නා වූ සත්ත්වයන්ගෙන් පිරේ. සත්ත්වයන් ඒ ඒ සත්ත්ව නිකයෙහි යත්. ඒ අර්ථයෙන් සියලු සත්ත්වයන් පුද්ගලයන් ලෙස සැලකේ. ඒ සියලු පුද්ගලයන් අරමුණු කිරීමෙන් ද ‘වෛර නැත්තෝ, නිරෝගි වූවෝ, නිදුක් වූවෝ, සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් මෙත් සිත පතුරවා ධ්‍යාන සතරක් ඉපදවිය හැකි වේ.

නැවත ‘සියලු ආත්මභාව පර්යාපන්නයන්’ යැයි අරමුණු කළ හැකි වේ. ආත්මභාවය යනු ශරීරය හෙවත් ස්කන්‍ධ පඤ්චකය යි. ඒ ස්කන්‍ධ පඤ්චකයේ අන්තර්ගත සියලු සත්ත්වයෝ ආත්මභාව පර්යාපන්නයෝ ය. ඒ සියලු ආත්මභාව පර්යාපන්න සත්ත්වයන් අරමුණු කිරීමෙන් ද ‘වෛර නැත්තෝ, නිරෝගි වූවෝ, නිදුක් වූවෝ, සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් මෙත් සිත පතුරවා ධ්‍යාන සතරක් ඉපදවිය හැකි වේ.

මෙසේ පටිසම්භිදාමග්ගපාළියෙහි සඳහන් වන ආකාරයට ‘සබ්බේ සත්තා, සබ්බේ පාණා, සබ්බේ භූතා, සබ්බේ පුග්ගලා, සබ්බේ අත්තභාවපරියාපන්නා’ යන පස් ආකාරයට අරමුණු කිරීමෙන් අවධිරහිතව හෙවත් විශේෂ පිරිසිඳීමක් නොමැතිව මෛත්‍රී අර්පණා සතර බැගින් සියල්ල අර්පණා විස්සක් ඉපදවිය හැකි වේ. ඒ සෑම අරමුණු කිරීමක් ම ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යාන වශයෙන් මතු අර්පණාවන්ට පැමිණිය හැකි වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි