දුර්ලභව ලබා ගත් බුද්ධ ශාසනයේ නිවන් දැකීමට රිසි සත්පුරුෂයන් විසින් නිරන්තරයෙන් ශීල, සමාධි, ප්‍රඥා ගුණ සම්පූර්ණය කරමින් නිවන් මගෙහි අප්‍රමාදීව ගමන් කළ යුතු වේ. ඒ සඳහා පළමුව සිව් පිරිසිදු ශීලය සම්පූර්ණ කළ යුතු වේ. පරිපූර්ණ වූ ශීලස්කන්ධයකින් සමන්විත නැණවත් පුද්ගලයා සමථ විදර්ශනා භාවනා වැඩීමෙන් පිළිවෙළින් සමාධි, ප්‍රඥා ස්කන්ධයන් පරිපූර්ණය කරගෙන මගපල නිවන් අවබෝධ කර ගන්නා බව බුදුරජාණන් වහන්සේගේ දේශනය යි.

චිත්ත සමාධියක් උපදවා ගත හැකි භාවනා කර්මස්ථාන සම සතළිසක් ත්‍රිපිටකය පුරාවට දේශිත අතර ඒ අතරින් තමන්ට රුචි කමටහනක් තෝරාගෙන භාවනාව ආරම්භ කළ යුතු වේ. බොහෝ දෙනෙකුට ගැළපෙන කමටහනක් වන ආනාපානසති භාවනාව ද එසේ ම බුද්ධානුස්සති භාවනාව ද මෛත්‍රී භාවනාව ද විස්තර කරන ලදී. මෛත්‍රී භාවනාව සමඟ සමීපව වැඩිය හැකි අනෙක් බ්‍රහ්මවිහාර භාවනාවක් වන කරුණා භාවනාව මෙතැන් පටන් විස්තර කරනු ලැබේ. සතර බ්‍රහ්මවිහාර භාවනා අතරින් පළමුවැන්න මෛත්‍රිය වන අතර දෙවැන්න වන්නේ කරුණාව යි.

අන් අයගේ දුකේ දී සිත කම්පාවන ස්වභාවය කරුණාව ලෙස හැඳින්වේ. ‘පරදුfක්‍ඛ සති සාධූනං මනං කම්පෙතීති කරුණා’ යැයි සඳහන් වන්නේ එබැවිනි. ඒ අනුව දුකට පත් අන් සත්ත්වයන් ඒ දුකින් අතමිදෙනු දැකීමේ කැමැත්ත කරුණාව යි. බෝසතාණන් වහන්සේලා සමස්ත ලෝක සත්ත්වයා දුකට පත් වී ඇති බව නුවණින් දැක ඒ සත්ත්වයන් දුකින් අත මිදවීම පිණිස පාරමී ධර්මයන් සම්පූර්ණය කරති. බුදුරජාණන් වහන්සේ මෙම ලෝක සත්ත්වයා සසර දුකින් මිදීමේ කරුණා සිතින් සෑම දිනක ම ලොව බලා වදාරණ සේක. බුදුරජාණන් වහන්සේගේ කරුණාව සෙසු සියලු සත්ත්වයන් අභිබවා ඇති බැවින් එය මහාකරුණාව ලෙස හැඳින්වේ.

කරුණා බ්‍රහ්මවිහාර භාවනාවේ දී සිදු කරනු ලබන්නේ අන් සත්ත්වයන් දුකින් අතමුදවනු කැමැති අධ්‍යාශය භාවනාවක් වශයෙන් පුරුදු කිරීමයි. එහි දී ද මෛත්‍රී භාවනාවේ දී මෙන් ම ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යානයන් උපදවා ගත හැකි වේ.

කරුණා බ්‍රහ්මවිහාර භාවනාව වඩනු කැමති යෝගාවචරයා පළමු කොට ම අකාරුණික බවෙහි හෙවත් විහිංසාවෙහි ආදීනව මෙනෙහි කොට කරුණාව වැඩීමේ ආනිසංස ද මෙනෙහි කළ යුතු වේ. සත්ත්වයන් වෙහෙසට පත් කිරීම වනාහි මෙලොව පරලොව දෙලොව ම අකුශල විපාක ගෙන දෙයි. යමෙක් සත්ත්වයන්ගේ දිවි තොර කිරීමෙන් හෝ අඟ පසඟ සිඳීමෙන් හෝ ධන හානි කිරීම්, අලාභ කිරීම්, අනර්ථය කිරීම්, අයස ඇති කිරීම් ආදියට උත්සාහ කිරීමෙන් හෝ අනෙක් අය වෙහෙසට පත් කරයි ද ඔහුගේ ඒ ප්‍රමාද විහරණය මෙලොව දී ම අලාභය පිණිස පවතී. ලද දෙය පිරිහීම පිණිස පවතියි. ඒ හේතුවෙන් ඔහුගේ අකීර්ති රාවය පැන නගී. පිරිසක් වෙත එළඹීමේ දී බිය, මකු බව ඇති වේ. සිහි මුළා වී කලුරිය කරයි. මරණින් මතු දුගතියේ උපදියි. මිනිසත් භවයක උපන්නේ නමුදු පහත් ජාතිවල, හීන කුලවල උපදියි. දුර්වර්ණ වෙයි. දැකීමට අප්‍රිය උපදවන්නෙක් වෙයි. බොහෝ ආබාධ ඇති බොහෝ ලෙඩ රොග ඇත්තෙක් වෙයි. දිළිඳු, අල්ප ආහාරාදිය ඇති අයෙක් වෙයි. අල්පායුෂ්ක ඇත්තේ වෙයි. මෙසේ සත්ත්වයන් කෙරෙහි අකාරුණික භාවය හෙවත් වෙහෙසට පත් කරන සුළු බව නොයෙක් ආකාරයෙන් අනර්ථකර විපාක ගෙන දෙන්නේ වෙයි.
එසේ ම සත්ත්වයන් කෙරෙහි කරුණාව ඇති කර ගැනීම නොයෙක් ආනිසංස ගෙන දෙන්නේ වෙයි. මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙන සුවසේ නින්ද යාම, සුවසේ අවදි වීම ආදි එකොළොස් ආනිසංසය ම කරුණා භාවනාව වැඩීමෙන් ද ලැබිය හැකිය. මෙසේ කරුණා භාවනාව ආරම්භ කිරීමට අදහස් කරන යෝගාවචරයා පළමුව අකාරුණික භාවයෙහි ආදීනව ද කරුණා භාවනාවේ ආනිසංසය ද මෙනෙහි කර අනතුරුව කරුණා භාවනාව ආරම්භ කළ යුතු වේ.

කරුණා භාවනාව වැඩීම ද මෛත්‍රී භාවනාවට අතිශයින් සමාන වේ. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාව පිළිබඳ දේශනා කරන ආකාරයෙන් ම ‘කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති’ යනාදි ලෙස කරුණා සමාපත්තිය උපදවා වාසය කිරීම පිළිබඳ දේශනා කරන සේක.
එබැවින් කරුණා භාවනාව ආරම්භ කරන යෝගියා විසින් ද මෛත්‍රී භාවනාවේ දී මෙන් ම පළමුව ප්‍රිය පුද්ගලාදීන්ට කරුණාව වැඩීම නො කළ යුතු වේ. පළමුව ප්‍රිය පුද්ගලයාට කරුණාව වැඩීමේ දී ප්‍රිය පුද්ගලයාගේ ප්‍රිය භාවය පහ වීම සිදු නොවන බැවින් පළමුව ප්‍රිය පුද්ගලයාට කරුණාව වැඩීම සුදුසු නොවේ. මෛත්‍රියේ දී විස්තර කළ ආකායෙන් ම අප්‍රිය පුද්ගලාදීන් ට ද පළමුව කරුණාව වැඩීම නො කළ යුතු ය. එසේ ම විරුද්ධ ලිංගික පුද්ගලයා ද කලුරිය කළ පුද්ගලයා ද කරුණා භාවනාවට තෝරා නො ගත යුතු වේ. එයට හේතුව ද මෛත්‍රී භාවනාවේ දී විස්තර කරන ලදී.

අභිධර්ම පිටකයේ අප්පමඤ්ඤා විභංගයේ බුදුරජාණන් වහන්සේ කරුණා භාවනාව වඩන ආකාරය ‘කථඤ්ච භික්‍ඛු කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති’ යනාදි ලෙස වදාළ සේක. එහි දී වදාළ ආකාරයට කිසියම් දුගී දුප්පත්, කායදුශ්චරිතාදියෙන් යුත් පුද්ගලයෙක් දැක කරුණා සිතක් උපදින්නේ යම් ආකාරයකට ද එසේ සියලු සත්ත්වයන් කෙරෙහි කරුණා සිත ඉපදවිය යුතු වේ. එබැවින් පළමු කොට කරුණාව පැතිරවීම පිණිස කිසියම් කරුණා කටයුතු ස්වරූප ඇති අතිශයින් ම දුකට පත්, දිළිඳු වූ, කපන දල අත් පා ඇති, සිඟන කබලක් පෙරටු කොට අනාථශාලාවෙක සිටින, අතින් පයින් වෑහෙන පණු කැලන් ඇති, බැගෑපත් හඬින් හඬන්නා වූ අසරණ පුද්ගලයෙකු දැක ‘මේ සත්ත්ව තෙමේ දුකට පත් වූයේ යැයි ද මොහු මේ දුකින් අත මිදුණේ නම් හොඳ යැ’යි ද කරුණා සිතක් ඉපදවිය යුතු වේ.

කරුණා භාවනාව ආරම්භ කිරීමට අදහස් කරන තැනැත්තා රෝහල්, අනාථකඳවුරු ආදියක දුකට පත් පුද්ගලයන් දැක බලා ඒ පුද්ගලයන්ගේ දුක පිළිබඳ හොඳින් නුවණින් විමසා ඒ නිමිත්ත සිතට ගෙන කරුණා භාවනාව ආරම්භ කළ හැකි වේ. එබඳු පුද්ගලයෙක් කලින් දැක ඇත් නම් ඒ පිළිබඳ සිහියට නඟා ගෙන කරුණා භාවනාව ආරම්භ කළ හැකි වේ. එසේ පුද්ගලයෙක් දැක මතකයේ නැති නම් රෝහල් ආදියකට ගොස් දුක් විඳින පුද්ගලයන් ගැන විමසා බැලීම ද සුදුසු වේ. එසේ කළ නොහැකි විටක සුවපත් වූ නමුදු පව් කරන පුද්ගලයෙක් වධක උපමාවෙන් සලකා බලා කරුණාව පැවැත්විය හැකි වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි