පළමුව සිතේ උපචාර, අර්පණා සමාධියක් ඇති කරගෙන ඒ පදනම් කරගෙන විදර්ශනාව වැඩීමට අදහස් කරන තැනැත්තෙකුට ඒ සඳහා කරුණා භාවනාව වැඩීමට තෝරා ගත හැකිය. එසේ කරුණා භාවනාව ආරම්භ කිරීමට අදහස් කරන යෝගියා පළමුව කරුණාව දැක්විය යුතු නිමිත්තක් තෝරා ගත යුතු වේ. ඒ අනුව රෝහල්, අනාථකඳවුරු ආදියක දුකට පත් පුද්ගලයන් දැක බලා ඒ පුද්ගලයන්ගේ දුක පිළිබඳ හොඳින් නුවණින් විමසා ඒ නිමිත්ත සිතට ගෙන කරුණා භාවනාව ආරම්භ කළ හැකි වේ. එබඳු පුද්ගලයෙක් කලින් දැක ඇත්නම් ඒ පිළිබඳ සිහියට නඟා ගෙන කරුණා භාවනාව ආරම්භ කළ හැකි වේ. එසේ පුද්ගලයෙක් දැක මතකයේ නැතිනම් රෝහල් ආදියකට ගොස් දුක් විඳින පුද්ගලයන් ගැන විමසා බැලීම ද සුදුසු වේ. එසේ කළ නොහැකි විටක දී සුවපත් වූ නමුදු පව් කරන පුද්ගලයෙක් වධක උපමාවෙන් සලකා බලා කරුණාව පැවැත්විය හැකි වේ.

සොරෙක් භාණ්ඩ සහිතව අල්වා ගනු ලැබූ කල්හි මොහුට වධ දෙව යැයි රජු විසින් අණ කරනු ලැබූ රාජ පුරුෂයෝ ඒ සොරා බැඳගෙන සන්ධි ස්ථානවල දී පහර සියය බැගින් දෙමින් මරණ ස්ථානයට රැගෙන යති. මිනිස්සු ඒ සොරාට අතරමග දී කෑ යුතු පිය යුතු දේ ද මල්, සුවඳ විලවුන් ආදිය ද දෙති. හෙතෙමේ ඒවා කමින් පරිභෝග කරමින් යයි. එහෙත් කිසිවෙක් ‘මේ තෙමේ සුවපත් වූවෙකි. මහත් භෝග ඇත්තෙකි’ යි නොසිතයි. ‘ඒකාන්තයෙන් ම පව්කාරයෙකි. දැන් දැන් මරණයට ලං වන්නේය’ යැයි සිතා මිනිස්සු ඔහුට කරුණාව දක්වති. එසේ ම මෙලොව පව් කරන තැනැත්තෙක් කාම සම්පත් පරිභෝග කළේ නමුදු ඒකාන්තයෙන් ම දුකට පත් වෙයි. එබඳු අයෙක් දෙස බලා මේ වධක උපමාවෙන් සලකා බැලිය යුතු වේ. ‘මේ පව්කාරයා දැන් සැප අනුභව කළේ නමුදු තුන් දොරින් එක් දොරකින් නමුදු කළ පිනක් නැති බැවින් මරණින් මතු අපායේ නොයෙක් දුක් දොම්නස් අනුභව කරන්නේය’ යැයි සලකා ඒ පව් කරන පුද්ගලයාට කරුණාව ඉපදවිය යුතු වේ.

මෙසේ පළමුව කිසියම් දුකට පත් පුද්ගලයෙක් දැක ඒ පුද්ගලයාට හෝ එසේ දුකට පත් පුද්ගලයෙක් දක්නට නො ලැබේ නම් සුවපත් වූ නමුදු පව්කම් කරන පුද්ගලයෙක් වධක උපමාවෙන් සලකා ඔහුට හෝ ‘මොහු මේ දුකින් අත මිදේවා, නිදුක් වේවා’ යැයි කරුණා සිත පැවැත්විය යුතු වේ. එහි දී අදාළ පුද්ගලයා අරමුණු කරගෙන සිතේ එකඟ බවක්, ඔහු දුකින් අත මිදීම පිළිබඳ කරුණා සිතකින් සමාධිමත් බවක් ඇති වේ. සිතට සුවයක් දැනේ. අනතුරුව ඒ සමාධිය ම නිමිති කරගෙන තමන්ට ප්‍රිය වූ වෙනත් පුද්ගලයෙක් තෝරාගෙන ‘නිදුක් වේවා’ යැයි කරුණා සිත පැවැත්විය යුතු වේ. එහි දී ද නැවතත් සිත සමාධිමත් වේ. අනතුරුව මෛත්‍රී භාවනාවේ කී ආකාරයෙන් මැදහත් පුද්ගලයා කෙරෙහි ද නැවත වෛරී පුද්ගලයා කෙරෙහි ද යැයි අනුපිළිවෙළින් කරුණා සිත පැවැත්විය යුතු වේ.

වෛරී පුද්ගලයා කෙරෙහි කරුණා සිත පැවැත්වීමේ දී සිතේ ගැටීමක් උපදී නම්, අරුචියක් පහළ වේ නම්, ඒ ගැටීම මෛත්‍රියේ කී ක්‍රමයෙන් ම සංසිඳුවිය යුතු වේ. ප්‍රිය පුද්ගලයා කෙරෙහි, මධ්‍යස්ථ පුද්ගලයා කෙරෙහි කරුණා සිත පැවැත්වීමේ දී සිතට දැනෙන සමාධිය ම දැනෙන අයුරින් වෛරී පුද්ගලයා කෙරෙහි ද කරුණා සිත පැවැත්විය හැකි විය යුතු. එසේ නො හැකි වුවහොත් යළි යළිත් පූර්ව පුද්ගලයන්ට කරුණා සිත පවත්මින් සිත මෘදු බවට පත් කරගෙන වෛරී පුද්ගලයා අරමුණු කළ යුතු වේ. එයින් යම් අවස්ථාවක වෛරී පුද්ගලයා අරමුණු කරගෙන ද පහසුවෙන් කරුණාව පැවැත්විය හැකි වේ. සිත සමාධිමත් වේ. මෙසේ ප්‍රිය, මධ්‍යස්ථ, වෛරී යන සියලුදෙනාට සම සේ කරුණා සිත පැවැත්විය හැකි වීමෙන් මෛත්‍රී භාවනාවේ කී ක්‍රමයෙන් ම සීමා සම්භින්දනය වේ. එසේ සීමා සම්භින්දනය වූ නිමිත්ත ඇසුරු කරගෙන, එය වඩා ප්‍රථම ධ්‍යානය උපදවාගෙන, නැවත ද්විතීය, තෘතීය ධ්‍යානයන් ඉපදවිය හැකි වේ.

මෙසේ යම් කිසි පිනැති තැනැත්තෙක් නම්, ඤාති ව්‍යසන, රෝග ව්‍යසනාදියෙන් යුක්ත පුද්ගලයෙක් දැක හෝ එවැන්නකු පිළිබඳ අසා දැනගෙන හෝ එවැන්නෙකු නොමැති කල්හි ‘මේ තෙමේ සංසාර දුකින් අත නොමිදුණේ’ යැයි සලකා හෝ තමන් කෙරෙහි ද ප්‍රිය, මධ්‍යස්ථ, වෛරී පුද්ගලයන් කෙරෙහි ද යන සතර දෙනා කෙරෙහි කරුණාව පවත්වා මෛත්‍රියේ කී ක්‍රමයෙන් ම සීමා සම්භින්දනය කොට ඒ නිමිත්ත ඇසුරු කරමින්, වඩමින්, බහුලීකෘත කරමින් ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යාන උපදවන්නේය.

අනතුරුව මෛත්‍රී භාවනාවේ කී ක්‍රමයෙන් ම කරුණාව ද පැතිරවිය යුතු වේ. ඒ අනුව පටිසම්භිදාමග්ගපාළියෙහි කී ක්‍රමයට පස් ආකාරයකට අවධියක් නැතිව (අනොධිසො) හෙවත් විශේෂ පිරිසිඳීමක් නොමැතිව ද, සප්තාකාරයකට අවධියක් සහිතව (ඔධිසො) ද, දශ ආකාරයකින් දිශා වශයෙන් ද කරුණාව පැතිරවිය යුතු වේ.
ඒ අනුව ‘සබ්බේ සත්තා (සියලු සත්ත්වයෝ), සබ්බේ පාණා (සියලු ප්‍රාණීන්), සබ්බේ භූතා (සියලු භූතයන්), සබ්බේ පුග්ගලා (සියලු පුද්ගලයන්), සබ්බේ අත්තභාවපරියාපන්නා (සියලු ආත්මභාව පර්යාපන්නයන්)’ යන පස් ආකාරයට අරමුණු කිරීමෙන් අවධිරහිතව හෙවත් විශේෂ පිරිසිඳීමක් නොමැතිව කරුණා ධ්‍යාන ඉපදවිය හැකි වේ.

අනතුරුව සප්තාකාරයකට විශේෂ පිරිසිඳීමක් සහිතව කරුණා සිත පැතිරවිය හැකි වේ. එනම් ‘සියලු ස්ත්‍රීන් (සබ්බා ඉත්ථියො), සියලු පුරුෂයන් (සබ්බේ පුරිසා), සියලු ආර්යයන් (සබ්බේ අරියා), සියලු අනාර්යයන් (සබ්බේ අනරියා), සියලු දෙවියන් (සබ්බේ දේවා), සියලු මනුෂ්‍යයන් (සබ්බේ මනුස්සා), සියලු විනිපාතිකයන් (සබ්බේ විනිපාතිකා)’ යන සත්ත්ව කොට්ඨාස සත (7) අරමුණු කරමින් කරුණාව වැඩිය හැකි වේ.
නැවත දිශා වශයෙන් ද දශ දිශාවට ම කරුණා සිත පැතිරවිය හැකි වේ. එහි දී එකිනෙක දිශාවේ සියලු සත්ත්වයන්, සියලු ප්‍රාණීන්, සියලු භූතයන්, සියලු පුද්ගලයන් සහ සියලු ආත්මභාව පර්යාපන්නයන් අරමුණු කරමින් ‘නිදුක් වෙත්වා’ යැයි කරුණා සිත පැතිරවිය හැකි වේ. එසේ ම එකිනෙක දිශාවේ ‘සියලු ස්ත්‍රීන්, සියලු පුරුෂයන්, සියලු ආර්යයන්, සියලු අනාර්යයන්, සියලු දෙවියන්, සියලු මනුෂ්‍යයන්, සියලු විනිපාතිකයන්’ යන සත්ත්ව කොට්ඨාස සත (7) අරමුණු කරමින් කරුණා සිත පැතිරවිය හැකි වේ.

එසේ නොයෙක් ආකාරයෙන් කරුණා සිත පතුරවමින් සමාධිය ශක්තිමත් කරගෙන ඒ කරුණා ධ්‍යානය පදනම් කරගෙන විදසුන් වඩා නිවන් සාක්‍ෂාත් කර ගත හැකි වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි