කරුණා භාවනාවට අනතුරුව සමථ භාවනාවකින් සිතේ සමාධියක් ඇති කරගෙන අනතුරුව විදසුන් වඩනු කැමති යෝගාවචරයන් වෙනුවෙන් මුදිතා භාවනාව විස්තර කරනු ලැබේ.

මුදිතාව යනු අන් අයගේ සැපයෙහි සතුටු වීම යි. අන් පුද්ගලයකුගේ සැපයක් දැක, ඔහුගේ සතුට දැක ‘අනේ හොඳයි’ යැයි ඒ පිළිබඳ තමන් සිතේ ද සතුටක් ඇති කරගෙන සතුටු වන ස්වභාවය මුදිතාව ලෙස හැඳින්වේ. මෙය ඊර්ෂ්‍යාවට ප්‍රතිවිරුද්ධ බව යි.

ලෝකයේ බොහෝ දෙනෙක් අන් අයගේ සැපයේ දී ඊර්ෂ්‍යාව උපදවාගෙන අකුශල රැස් කර ගනිති. ඒ අනුව සමහර කෙනෙක් ඒ අය අභිබවා යාමට උත්සාහ දරමින් තව තවත් අකුශල රැස් කර ගනිති. ඇතැම් විට සැපවත් පුද්ගලයාට අනතුරක් කර ඔහු දුකට පත්වනු දැක සතුටු වන අය ද සිටිති. එවන් ලෝකයක අන් තැනැත්තාගේ සැපයේ දී තමන්ට ද ඒ පිළිබඳව සන්තුෂ්ටියක් උපදවා ගත හැකි නම් එය උසස් ගුණයක් වේ. එය භාවනාවක් බවට පත් කර ගැනීම මුදිතා භාවනාවෙන් සිදු වේ.

සමථ භාවනාව සමෘද්ධමත් වන්නේ අරමුණේ සිත මැනවින් පිහිටා පැවතිය හැකි වුවහොත් පමණි. මෛත්‍රී භාවනාවේ දී අතිශය ප්‍රිය සහායක පුද්ගලයාට පළමුව මෛත්‍රිය වැඩීම නො කළ යුතු බව කියන ලදී. අතිශය ප්‍රිය සහායක පුද්ගලයාට මෙත් වැඩීමේ දී ඇල්මක් හටගෙන රාගයක් ඇති විය හැකි බැවිනි. එසේ ම මධ්‍යස්ථ, වෛරී පුද්ගලයන් ද පළමුව තෝරා නො ගත යුතු වේ. එසේ ම කරුණා භාවනාවේ දී ප්‍රිය පුද්ගලයා තෝරා නොගෙන දුකට පත් පුද්ගලයෙක් තෝරා ගත යුතු බව සඳහන් කරන ලදී. ප්‍රිය පුද්ගලයා ප්‍රිය භාවයෙන් ම සිටින නමුදු ඒ පුද්ගලයාගේ දුකක දී සිත කම්පා වන කරුණා බවක් ඇති නොවන බැවිනි. ඒ නිසා කරුණාවේ දී සිත මැනවින් කරුණාවන්ත බවක පිහිටුවා ගැනීමට දුකට පත් වූ පුද්ගලයෙක් අරමුණු කර ගත යුතු වේ.
මෙම මුදිතා භාවනාවේ දී ද කරුණා භාවනාවේ කී පරිද්දෙන් ම පළමුව ප්‍රිය, මධ්‍යස්ථ, අවෛරී පුද්ගලයන්ට මුදිතාව වැඩීම සිදු නො කළ යුතු වේ. ප්‍රිය පුද්ගලයා පිළිබඳව ඇත්තේ ප්‍රියවන්ත බවක් ම වේ. ඔහුගේ සැපයේ දී තමන් සතුටට පත් වන නමුදු භාවනාව ආරම්භ කිරීමට අරමුණෙහි මැනවින් පිහිටා සිටීමට එය ප්‍රමාණවත් නො වේ. මුදිතාව හෙවත් අන් අයගේ සැපයේ දී සතුටු වීම හොඳින් ප්‍රකට වන්නේ සොම්නස් පිළිසඳර යෙදීම සිදු වන්නා වූ, නිතර සතුටු මුහුණෙන් යුතුව කථා කරන්නා වූ, අනෙකාට පළමුව තමන් කථා කරන ස්වභාවය ඇත්තා වූ, සතුටු වන කථා ඇත්තා වූ පුද්ගලයන් පිළිබඳව වේ. සාමාන්‍ය ප්‍රිය පුද්ගලයා තුළ ඇත්තේ ප්‍රියවත් බවක් පමණි. ඔහු වෙත ඇති ප්‍රිය ස්වභාව මාත්‍රය පමණක් මුදිතාව ඇති වීමට ප්‍රමාණවත් නො වේ. එහෙයින් පළමුව ප්‍රිය පුද්ගලයාට මුදිතාව වැඩීම නො කළ යුතු වේ.

එසේ ම මධ්‍යස්ථ පුද්ගලයා සිහි කිරීමේ දී සිතේ ඇති වන්නේ උදාසීන බවකි. ඒ උදාසීන හැඟීම ද මුදිතාවක් ඇති කර ගැනීමට ප්‍රමාණවත් නොවේ. අන් තැනැත්තාගේ සැපයේ දී සතුටු වීම යනු උසස් ගුණයකි. එය සාමාන්‍යයෙන් ඊර්ෂ්‍යා ආදියෙන් මැඩී පවත්නා පෘථග්ජන සිතේ ඇති කර ගැනීම පහසු කටයුත්තක් නො වේ. එහෙයින් මධ්‍යස්ථ පුද්ගලයා ද පළමුව මුදිතාව වැඩීමට තෝරා නො ගත යුතු වේ.

වෛරී පුද්ගලයා සිහි කිරීමේ දී සිතේ ඇති වන්නේ ගැටීමකි. ක්‍රෝධයකි. එය ද මුදිතාව ඇති වීමට ප්‍රතිවිරුද්ධ වේ. වෛරී සතුරු පුද්ගලයෙකුට යහපතක් වනු දැකීමට සිත පළමුව ම කැමති නො වේ. එහෙයින් වෛරී පුද්ගලයාට ද පළමුව මුදිතාව වැඩීම නො කළ යුතු වේ.

මෛත්‍රී භාවනාවේ කී ආකාරයෙන් ම ලිංගවිසභාග පුද්ගලයන් සහ කලුරිය කළ පුද්ගලයන් මෙම භාවනාවට ද ක්‍ෂේත්‍රය නො වේ ම ය. ඔවුන්ට මුදිතාවක් වැඩීමට උත්සාහ කළ ද එය සමෘද්ධ නො වේ මය.
මුදිතාව උපදින්නේ පරම සම්පත්තීන් පිළිබඳ සන්තුෂ්ට වූ තුටු පහටු වූ ප්‍රිය පුද්ගලයා කෙරෙහි ම වේ. යමෙකුගේ අතිශය ප්‍රිය සහායක තැනැත්තා පිළිබඳව ඔහුට ඇත්තේ සොම්නස් හැඟීමකි. ඔහු සමඟ නිරන්තරයෙන් සතුටු වීම රුචි වේ. තම තමන් එකිනෙකා පිළිබඳව ඇත්තේ සිත පිනා යන හැඟීමකි. එවන් තත්වයක් මුදිතාව ඇති වීමට සුදුසු භූමිය යි. මුදිතාවට ආසන්න කාරණය වේ. එහෙයින් අතිශය ප්‍රිය පුද්ගලයා මුදිතාව වැඩීමට ආසන්න කාරණය වශයෙන් උපාකරී වන බව සඳහන් වේ.

ඒ අනුව මුදිතා භාවනාව ආරම්භ කරන තැනැත්තා විසින් පළමුව තෝරා ගත යුතු වන්නේ අතිශය ප්‍රිය සහායකයෙකු වේ. අතිශය ප්‍රියවත් වූ මිත්‍රයා හමු වීමේ දී පළමුව සිනා සී සතුටු සාමීචියෙන් කථා කරයි. බොහෝ විට අතිශය ප්‍රිය මිත්‍රයා හමු වන විට පළමුව කථා කිරීමට තමන්ට සිත පහළ වේ. ඒ ඔහු සමඟ ඇති සතුටු වීමේ ආකාරය යි. එබඳු පුද්ගලයා පිළිබඳව පරම සන්තුෂ්ටිය ඇති වන හෙයින් පළමුව මුදිතාව වැඩීමට තෝරා ගත යුත්තේ ඒ අතිශය ප්‍රිය සහායකයා වේ. අර්ථකථාවන්හි මෙම අතිශය ප්‍රිය සහායකයා ‘සොණ්ඩ සහායකයා’ යැයි හඳුන්වා ඇත. එනම් රා සොඬෙකු බඳු වූ සහායකයා ය. සුරා සොඬෙක් සුරා මතින් මත් වූ විට සතුටු වීමට කාරණාවක් නොමැති අවස්ථාවක නමුත් සතුටු වේ. ඇතැම් විට දුක් විය යුතු අවස්ථාවේ ද සුරා මතින් සතුටු වෙයි. අතිශයින් ප්‍රිය මිත්‍රයා ද මේ සුරා සොඬෙක් බඳු ව නිතරම සතුට ම දනවන තැනැත්තෙක් වේ. ඔහු හමු වීමෙන් දුකට පත් වූ අවස්ථාවේ නමුත් දුක තුනී කරගෙන සතුටු විය හැකි වේ. එබඳු මිත්‍රයෙක් තෝරාගෙන පළමුවෙන් ම මුදිතාව වැඩිය යුතු බව අර්ථකථාවෙහි සඳහන් වේ.

සුවපත් වූ සැප අනුභවයට සැරසුණා වූ සතුටු වන්නා වූ ‘සොණ්ඩ සහායකයෙක්’ නමු වූ අතිශය ප්‍රිය පුද්ගලයෙකුගේ සැපයක් ඇසින් දැක හෝ ඒ පිළිබඳව කනින් අසා හෝ ‘ඒකාන්තයෙන් ම මේ තැනැත්තා සතුටු වන කෙනෙකි. අහෝ සාධු. (අනේ හොඳයි)’ යැයි මුදිතාව ඉපදවිය යුතු වේ. ‘මේ තැනැත්තා තව තවත් සැපයට පත් වේ නම් හොඳ ය. සතුටට පත් වේ නම් හොඳ ය’ යැයි සිතේ මුදිතාව ඇති කර ගත යුතු වේ. ‘මේ තැනැත්තාගේ සැපය දිනෙන් දින වැඩි වර්ධනය වේ නම් හොඳයි’ යනාදි ලෙස සිතිවිලි පැවැත්විය යුතු වේ. එසේ අතිශය ප්‍රිය සහායක තැනැත්තෙක් තෝරාගෙන පළමුව මුදිතාව පැවැත්වීමෙන් තමන්ගේ සිත සතුටට පත් වේ. ප්‍රීති ප්‍රමෝදය ඇතිවේ. එයින් කය සැහැල්ලු භාවයට පත් වී සුඛය ඇති වී සිතේ සමාධියක් ඇති වේ. එයින් මුදිතා භාවනාව සමෘද්ධමත් කර ගත හැකි වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි