මුදිතාව යනු අන් අයගේ සැපයට සතුටු වීමේ උසස් ගුණය යි. එය පුරුදු පුහුණු කර නැති අයෙකුට පහසුවෙන් ඇති කර ගත හැකි මානසික තත්ත්වයක් නො වේ. ඒ සඳහා මුදිතා භාවනාව වැඩීමෙන් මනා උපකාරයක් වේ.
මුදිතාව වැඩූ තැනැත්තාට අනෙක් පුද්ගලයාගේ සැපය කෙරෙහි ඊර්ෂ්‍යාව ඇති නො වේ. අනෙක් කෙනාගේ සැපයට ඊර්ෂ්‍යාව ඇති වන තැනැත්තා නිතර දුකින් වාසය කරයි. ඔහුගේ සිතේ නිරන්තරයෙන් ඇති වන්නේ ගැටීම යි. ඊර්ෂ්‍යාව යනු ද්වේෂ මූල චෛතසිකයක් වේ. ඒ නිසා අනෙක් කෙනාගේ සැප දකින විට ඊර්ෂ්‍යාවක් ඇති වන තැනැත්තා නිතර ද්වේෂයෙන් පීඩා විඳින අයෙක් වේ. ඒ පීඩාකාරී තත්ත්වයෙන් මිදීමට මුදිතා භාවනාව බොහෝ සෙයින් උපකාරී වේ.

මුදිතා භාවනාවට පළමුව අතිශය ප්‍රිය සහායක පුද්ගලයෙක් තෝරා ගත යුතු බව ඉහත සඳහන් කරන ලදී. අතිශය ප්‍රිය පුද්ගලයා ඇසුරු කිරීම නිතර සොම්නස් සහගත බැවින් මුදිතාව ඇති කර ගැනීමට එය උපකාරී වන බැවිනි.

විභඩ්ගප්‍රකරණයෙහි ද ‘කථඤ්ච භික්‍ඛු මුදිතා සහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති? සෙය්‍යථාපි නාම එකං පුග්ගලං පියං මනාපං දිස්වා මුදිතො අස්ස, එවමෙව සබ්බෙ සත්තෙ මුදිතාය ඵරති’ යනුවෙන් මුදිතා භාවනාව වැඩිය යුතු ආකාරය දැක්වේ. එනම් තමන්ට ප්‍රිය වූ මනාප වූ සිත්කලු වූ එක් පුද්ගලයකු දැක යම් ආකාරයකින් සතුටු වේ ද එසේ ම සියලු සතුන් කෙරෙහි මුදිතාව උපදවාගෙන එය පතුරුවමින් මුදිතා භාවනාව වැඩිය යුතු වේ.

ඇතැම් විට අතිශය ප්‍රියවන්ත මිත්‍රයා අතීතයේ සුවපත් වී සිටි නමුදු වර්තමානයේ දුගී දුක්පත් තැනැත්තෙක් විය හැකි ය. එසේ නම් අතීතයේ ඔහුගේ සුවපත් භාවය සලකා බලා මුදිතාව වැඩිය යුතු වේ. ‘මේ තැනැත්තා අතීතයේ මෙසේ මහත් භෝග ඇත්තෙක් විය. මහත් පිරිවර ඇත්තෙක් විය. නිරන්තරයෙන් සතුටු වීය.’ යනාදි වශයෙන් ඔහුගේ ඒ ඉක්මගිය සතුටු වීමේ ආකාරය සලකා ගෙන මුදිතාව ඉපදවිය යුතු වේ. එසේ ඒ පුද්ගලයා අනාගතයේ නැවත ඒ සම්පත් ලැබ මෙසේ සතුටු වන්නේය. මෙසේ සතුටු වන්නේය යැයි සැලකිය යුතු වේ. මහත් සැප සම්පත් ඇතිව මෙසේ මෙසේ යානවාහන සහිත වන්නේය. මෙසේ මෙසේ ගෙවල් fදාරවල් ඇතිව වසන්නේය. මෙසේ මිල මුදල් පරිහරණය කරන්නේය යැයි ඔහුගේ අනාගත සතුටු වීමේ ආකාරය සිහිපත් කර ගත හැකි වේ. ඒ අනුව ඔහුගේ සැපය පිළිබඳව සිතේ සතුටක් ඇති කර ගත යුතු වේ.

මේ කියන ලද ආකාරයෙන් පළමුව අතිශය ප්‍රිය පුද්ගලයාට මුදිතාව ඇති කර ගත යුතු වේ. ඒ අතිශය ප්‍රිය පුද්ගලයාගේ සැපය පිළිබඳව තමන් ද සතුටු වන බැවින් සිතේ ප්‍රීති ප්‍රමෝදය ඇති වේ. ඒ ප්‍රීතියෙන් යුතුව මුදිතා අරමුණේ සිත පැවැත්වීමේ දී සිත කය දෙක ම සැහැල්ලු වී සුඛය ඇති වේ. ඒ සුඛයෙන් සිත සමාධිමත් වේ. ඒ පුද්ගලයාගේ සැපය ම අරමුණු කරගෙන සිත බොහෝ වේලා පැවැත්විය හැකි වේ.

අනතුරුව සාමාන්‍ය ප්‍රිය පුද්ගලයා කෙරෙහි ද ඒ ආකාරයෙන් ම මුදිතාව ඉපදවිය යුතු වේ. ඔහු අරමුණු කරගෙන ඔහුගේ සැපය ගැන සතුටු වෙමින් සිත ඒ අරමුණෙහි ද පවත්වා ගත හැකි මට්ටමට පත් වීමෙන් අනතුරුව මධ්‍යස්ථ වෛරී පුද්ගලයන් කෙරෙහි ද අනුපිළිවෙළින් මුදිතාව ඉපදවිය යුතු වේ. එසේ ඇති කරගන්නා මුදිතා සිත අනතුරුව තමන් කෙරෙහි ද පැවැත්විය යුතු වේ.

වෛරී පුද්ගලයා කෙරෙහි මුදිතාව වැඩීමේ දී ගැටීමක් උපදී නම් මෛත්‍රී භාවනාවෙන් කී ආකාරයෙන් ම ඒ ගැටීම සන්සිඳුවාගෙන මුදිතාව වැඩිය යුතු වේ. ඒ අනුව ගැටීම ඇති තැනැත්තා අරමුණු කර මුදිතාව වැඩීම අපහසු නම් යළිත් පෙර පුද්ගලයාට ම මුදිතාව වඩා සිත මෘදු බවට පත් කර ගත යුතු වේ. එසේ සිත මෘදු භාවයට පත් වූ පසු නැවත වෛරී පුද්ගලයා අරමුණු කළ යුතු වේ. මේ ක්‍රමයෙන් කිහිප වරක් මුදිතාව වඩන විට වෛරී පුද්ගලයා කෙරෙහි ද සම සේ මුදිතාව පැවැත්විය හැකි වේ.

මෙසේ ප්‍රිය, මධ්‍යස්ථ, වෛරී යන පුද්ගලයන් කෙරෙහි ද තමන් කෙරෙහි ද යන සියලු දෙනා කෙරෙහි සම සිතින් මුදිතාව පැවැත්විය යුතු වේ. ඒ සියලු දෙනාගේ ම සැපය පිළිබඳව කිසිදු භේදයකින් තොර ව සතුටු විය හැකි සිතක් ඇති වනු ඇත. එසේ සම සේ මුදිතාව ඇති කර ගත හැකි වන විට සීමා සම්භේදය සිදු වේ. එසේ මෛත්‍රී භාවනාවේ කී ආකාරයෙන් ම සීමා සම්භින්දනය කොට ඒ මුදිතා නිමිත්ත ඇසුරු කරමින් වඩමින් බහුලීකෘත කරමින් මෛත්‍රී භාවනාවේ කී ආකාරයෙන් ම තතිය ධ්‍යානය දක්වා වැඩිය යුතු වේ.
මෙසේ මුදිතා භාවනාවෙන් තතිය ධ්‍යානය දක්වා සිතේ සමාධිය දියුණු කරගෙන පටිසම්භිදාමග්ගපාළියෙහි කී ක්‍රමයට පස් ආකාරයකට අවධියක් නැතිව (අනොධිසො) හෙවත් විශේෂ පිරිසිඳීමක් නොමැතිව ද, සප්තාකාරයකට අවධියක් සහිතව (ඔධිසො) ද, දශ ආකාරයකින් දිශා වශයෙන් ද මුදිතාව පැතිරවිය යුතු වේ.
‘සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීන්, සියලු භූතයන්, සියලු පුද්ගලයන්, සියලු ආත්මභාව පර්යාපන්නයන්’ යන පස් ආකාරයට අරමුණු කිරීමෙන් අවධිරහිතව ද ‘සියලු ස්ත්‍රීන්, සියලු පුරුෂයන්, සියලු ආර්යයන්, සියලු අනාර්යයන්, සියලු දෙවියන්, සියලු මනුෂ්‍යයන්, සියලු විනිපාතිකයන්’ යන සත්ව කොට්ඨාශ සත (7) අරමුණු කරමින් විශේෂ පිරිසිඳීමක් සහිතව ද මුදිතාව පැතිරවිය යුතු වේ. නැවත දිශා වශයෙන් ද සියලු සත්ත්වයන් යනාදි වශයෙන් අරමුණු කරමින් ද සියලු ස්ත්‍රීන් යනාදි ලෙස අරමුණු කරමින් ද මුදිතාව පැවැත්විය යුතු වේ. වඩන ලද මුදිතාව මෙසේ නොයෙක් ආකාරයෙන් පැතිරවීමෙන් සමාධිය ශක්තිමත් වේ. ඒ සමාධිය විදසුන් වැඩීමට උපකාරී කර ගත හැකි වේ.

එසේ නොයෙක් ආකාරයෙන් සිතේ මුදිතාව භාවනා වශයෙන් දියුණු කරගෙන එම මුදිතාව පතුරවමින් සමාධිය ශක්තිමත් කරගෙන මුදිතා ධ්‍යානය පදනම් කරගෙන විදසුන් වඩා නිවන් සාක්‍ෂාත් කර ගැනීමට සත්පුරුෂ පින්වතුන් උත්සාහ කරත්වා.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි