බ්‍රහ්මවිහාර භාවනා අතරෙහි සතර වැනි භාවනාව ‘උපෙක්‍ඛා’ බ්‍රහ්මවිහාරය යි. මෛත්‍රී, කරුණා, මුදිතා බ්‍රහ්මවිහාර භාවනාවලින් සියලු සත්ත්වයන් කෙරෙහි ‘සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා’ යනාදි ලෙස භාවනාව වඩා තෘතීය ධ්‍යානය දක්වා උපදවන ලද තැනැත්තාට සතරවෙනුව උපෙක්‍ඛා බ්‍රහ්මවිහාර භාවනාව වැඩිය හැකි වේ. මෙම භාවනාව වැඩීම පිණිස මෛත්‍රී, කරුණා, මුදිතා භාවනාවකින් තෘතීය ධ්‍යානය දක්වා සමාධිය උපදවා තිබීම පූර්ව අවශ්‍යතාවයක් වේ. එහෙයින් පළමුවෙන් ඉහත කී බ්‍රහ්මවිහාර කර්මස්ථාන තුනෙන් අඩු ම තරමේ එක් භාවනාවකින් හෝ තුන්වන ධ්‍යානය දක්වා උපදවා ගත යුතු වේ.

උපෙක්‍ඛා බ්‍රහ්මවිහාර භාවනාව වැඩීමට මත්තෙන් උපේක්‍ෂාව යනු කුමක් දැ යි වටහා ගත යුතු වේ. ‘උපේක්‍ෂාව’ යන පදයෙන් අදහස් වන්නේ මැදහත් බව යි. මෙම මැදහත් බව නොයෙක් අවස්ථාවල නොයෙක් ආකාරයෙන් හමු වන බැවින් උපේක්‍ෂාව දස වැදෑරුම් බව අර්ථකථාවන්හි සඳහන් වේ. ඒ මෙසේ ය.

1. ඡළඩ්ග උපේක්‍ෂාව : නිකෙලෙස් රහතන් වහන්සේලා ස්වකීය චක්‍ෂුරාදි ද්වාරයන්හි පතනය වන අරමුණුවල දී ඇලීම්, ගැටීම් ඇති නොකර ගෙන මැදහත් වේ. එය ඡළඩ්ගෝපේක්‍ෂාව නම් වේ.

2. බ්‍රහ්මවිහාර උපේක්‍ෂාව : සත්ත්වයන් කෙරෙහි මමායනය කිරීමකින් තොරව මැදහත් ලෙස සැලකීම බ්‍රහ්මවිහාර උපේක්‍ෂාව යි.

3. බොජ්ඣඩ්ග උපේක්‍ෂාව : උපේක්‍ෂා සම්බොජ්ඣඩ්ගය යි. එනම් සිතක උපදින්නා වූ ඵස්ස, වේදනා ආදි සහජාත චෛතසික ධර්මයන් පිළිබඳ මැදහත් බව ඇති කරන තත්‍රමජ්ඣත්තතා චෛතසිකය යි.

4. විරිය උපේක්‍ෂාව : ඉතා දැඩි නො වූත්, ඉතා ලිහිල් නො වූත් මැදහත් වීර්ය සංඛ්‍යාත උපේක්‍ෂාව වීර්යෝපේක්‍ෂාව යි.

5. සඩ්ඛාර උපේක්‍ෂාව : සංස්කාර උපේක්‍ෂා ඤාණය යි. මෙය අෂ්ට සමාපත්තීන්ගේ ම සමථ වශයෙන් ද සතර මාර්ග, සතර ඵල, සුඤ්ඤත විහාර සමාපත්ති, අනිමිත්ත විහාර සමාපත්ති යන දස විධ අධිගමයන්හි ම විදර්ශනා වශයෙන් ද උපදී. ප්‍රථමධ්‍යානාදියෙන් විෂ්කම්භනය වූ නීවරණයන් ස්වභාව වශයෙන් පරික්‍ෂා කොට සනිටුහන් කරන්නා වූ ඒ නීවරණාදීන්ගේ උත්පාදනයෙහි මැදහත්ව බලන්නා වූ විදර්ශනා ප්‍රඥාව සංස්කාර උපේක්‍ෂා ඤාණය ලෙස හැඳින්වේ.

6. වේදනා උපේක්‍ෂාව : උපේක්‍ෂා වේදනාව හෙවත් අදුක්ඛම අසුඛ වේදනාව යි. එනම් දුක් වේදනාවත් නො වූ සුඛ වේදනාවත් නො වූ මැදහත් වේදනාව යි. චතුර්ථ ධ්‍යානයේ දී ඇති වේදනාව මෙම වේදනෝපේක්‍ෂාව යි.

7. විපස්සනා උපේක්‍ෂාව : පඤ්චස්කන්‍ධය පිළිබඳව අනිත්‍යය දුටු යෝගියා නැවත එය සෙවීමෙහි ව්‍යාපාර නො කර මැදහත් වන ප්‍රඥාව යි. මෙය සංස්කාරෝපේක්‍ෂා ඤාණය ම තවත් ආකාරයකට දැක්වීමකි. සංස්කාරෝපේක්‍ෂාවේ දී ත්‍රි ලක්‍ෂණය දුටු යෝගියාට භවත්‍රය ම ගිනි ඇවිලී ගියාක් මෙන් නැවත භවෝත්පත්තිය පිළිබඳ ඇල්මක් ඇති නො වේ. සර්පයෙකු සොයන තැනැත්තෙක් සර්පයා සොයාගත් විට නැවත සෙවීමේ උනන්දුවක් නැති වන අතර මිදීමේ උනන්දුවක් ඇති වේ. එසේ ත්‍රි ලක්‍ෂණය දුටු යෝගියා ද නැවත එය සෙවීමේ උනන්දුවක් නොමැතිව මැදහත් වීම විදර්ශනා උපේක්‍ෂාව යි.

8. තත්‍රමජ්ඣත්තතා උපේක්‍ෂාව : සිතක උපදින්නා වූ ඵස්ස, වේදනා ආදි සහජාත චෛතසික ධර්මයන් පිළිබඳ මැදහත් බව ඇති කරන තත්‍රමජ්ඣත්තතා චෛතසිකය යි. මෙය නොයෙක් අවස්ථාවල නොයෙක් නම්වලින් හැඳින්වේ.

9. ධ්‍යාන උපේක්‍ෂාව : තෘතීය ධ්‍යානයෙහි ඇත්තා වූ ධ්‍යාන සුඛය අග්‍ර ම වූ ධ්‍යාන සුඛය යි. ඒ අග්‍ර වූ ධ්‍යාන සුවයෙහි ද මැදහත් බව ඇතිව වාසය කරන්නා වූ උපේක්‍ෂාව ධ්‍යානෝපේක්‍ෂාව යි.

10. පාරිශුද්ධි උපේක්‍ෂාව : චතුර්ථ ධ්‍යාන උපේක්‍ෂාව පාරිශුද්ධි උපේක්‍ෂාව ලෙස හැඳින්වේ. එනම් සමාධියට ප්‍රතිපක්‍ෂ වූ නීවරණ, විතර්කාදි සියලු ප්‍රතිපක්‍ෂ ධර්මයන් චතුර්ථ ධ්‍යානයේ දී සන්සිඳීමට පත් වූ පසු යළිත් සන්සිඳවීම පිණිස උනන්දුවක් නොමැති වන උපේක්‍ෂාව යි.

මේ දශ වැදෑරුම් උපේක්‍ෂාවන් අතරින් ඡළඩ්ග, බ්‍රහ්මවිහාර, බොජ්ඣඩ්ග, තත්‍රමජ්ඣත්තතා, ධ්‍යාන, පාරිශුද්ධි යන උපේක්‍ෂාවන් සියල්ල ම අර්ථ වශයෙන් එක ම තත්‍රමජ්ඣත්තතා චෛතසිකය යි. ඒ ඒ අවස්ථාවේ කටයුතු කරන ආකාරයෙන් වෙන් වෙන් ව ඡළඩ්ගාදි නම් ලබයි.

ඒ අනුව මේ උපේක්‍ඛා බ්‍රහ්මවිහාර භාවනාවේ දී ‘උපේක්‍ඛා’ යන්නෙන් අදහස් කරන්නේ බ්‍රහ්මවිහාර උපේක්‍ෂාව යි. එනම් සියලු සත්ත්වයන් කෙරෙහි මැදහත් සිතක් ඇති කර ගැනීම යි. සත්ත්වයන්ට ‘සුවපත් වේවා’ යනාදි ලෙස ඇති කරගන්නා මමායනයෙන් තොර ව මැදහත් ව සලකා බැලීම මෙහි දී සිදු වේ. එය උපේක්‍ෂා වේදනාව නොවන බව වටහා ගත යුතු වේ.

උපේක්‍ෂා බ්‍රහ්මවිහාර භාවනාව ආරම්භ කිරීමට මත්තෙත් මෛත්‍රී, කරුණා, මුදිතා භාවනාවකින් තෘතීය ධ්‍යානය දක්වා උපදවා තිබිය යුතු බව ඉහත දක්වන ලදී. ඒ අනුව මැනවින් වඩන ලද, පංච වශීතාවයෙන් වශී භාවයට පත් කර ගන්නා ලද, මැනවින් ප්‍රගුණ කරන ලද මෛත්‍රී ආදි තෘතීය ධ්‍යානයකින් නැගී සිට ඒ මෛත්‍රී කරුණා මුදිතාවන්හි ආදීනව මෙනෙහි කළ යුතු වේ.

මෛත්‍රී භාවනාදියෙහි ‘සුවපත් වෙත්වාල නිදුක් වෙත්වා’ යනාදි ලෙස පවත්වන ලද මනසිකාරය සත්ත්වයන් පිළිබඳ මමායනය කිරීමකි. එසේ සත්ත්වයන් කෙරෙහි මමායන වශයෙන් පවත්නා මනසිකාර ඇති බැවින් මෛත්‍රී, කරුණාදි භාවනාවන් සෝමනස්සයට ද පටිඝයට ද සමීපචාරී යැයි කියනු ලැබේ. කරුණාව පවත්වන්නේ දුකට පත් සත්ත්වයන් අරමුණු කරගෙන වේ. එය දෝමනස්සයට සමීප වන අතර මෛත්‍රිය හා මුදිතාව සත්ත්වයන්ගේ සැප අරමුණු කරන බැවින් සෝමනස්සයට සමීප වේ. ඒ නිසා ම මෙත්තා, කරුණා, මුදිතා භාවනාවන් ඕළාරික වේ. උපේක්‍ෂාව තරම් ශාන්ත නො වේ. මෙසේ මෛත්‍රී ආදි භාවනාවන්හි ආදීනවය සැලකිය යුතු වේ. එසේ ම උපේක්‍ෂා භාවනාව සත්ත්වයන් පිළිබඳ මැදහත් ආකාරය සැලකීමක් බැවින් අතිශය ශාන්ත වේ. ප්‍රණීත වේ. මෙසේ උපේක්‍ෂා භාවනාවෙහි ආනිසංසය ද සැලකීමෙන් සත්ත්වයන් කෙරෙහි මැදහත් වීමේ රුචිය උපදවාගෙන භාවනාව ආරම්භ කළ යුතු වේ.

මෛත්‍රී භාවනාව ආරම්භ කිරීමේ දී අතිශය ප්‍රිය පුද්ගලයා තෝරා නොගත යුතු බව ද කරුණා, මුදිතා භාවනාවන්හි දී ප්‍රිය පුද්ගලයන් තෝරා නො ගත යුතු බව ද යනාදි වශයෙන් ඒ ඒ භාවනාව ආරම්භයේ දී තෝරා ගත යුතු, නො ගත යුතු පුද්ගලයන් පිළිබඳව ඉහත ඒ ඒ භාවනාවේ දී පැහැදිලි කරන ලදී. එසේ ම මෙම උපේක්‍ෂා භාවනාවේ දී ද පළමුව ප්‍රිය අප්‍රිය පුද්ගලයන් අතහැර මධ්‍යස්ථ පුද්ගලයෙකු තෝරා ගත යුතු වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි