ඤෙය්‍ය සාගර පාරගත වූ ත්‍රෛලෝක්‍ය සිංහ අති උත්තම අත්ථදස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ වසර සියක් දහසක් කල් ආයු වළඳා අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවුන කල්හී අමා ගඟ සිදී ගිය හෙයින් ලෝක සත්ත්වයෝ කෙලෙස් පිපාසාවෙන් පීඩිත වූහ. සංසාර සාගරයෙහි ගිලෙන්නට වූහ. මෝහාන්දකාරයෙන් අන්ධ වූහ.

මෙයින් දුකට පත් සත්ත්වයන්ගේ ගණන අප්‍රමාණය. ඔවුන් විඳි දුක්ඛයද අප්‍රමාණය. බුදු කෙනෙකුන් නොමැතිව ගෙවුණු කාලයද අප්‍රමාණය. ඒ කෙසේද යත්;

අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ පිරිනිවුනු පසු බුද්ධ ශූන්‍යව පැවති කාලය අන්තඃ කල්පයක් විය එනම්;සෑම කාලයකම මනුෂ්‍ය ආයුෂය එකසේ නොපවතින්නේය. කලකට දීර්ඝායුෂ්කවත්, කලකට අල්පායුෂ්කවත් පවතින්නේය. මේ ආයුෂ ක්‍රමානුකූලව අඩුවීගෙන ගොස් වසර දහයට අඩු වන යුගයක් උදා පත් වන්නේය. ඒ කාලයේදී රෝග උත්සන්න වීමෙන් හෝ යුද්ධ කර ගැනීමෙන් හෝ ආහාර හිග වීමෙන් හෝ සත්ත්වයෝ මිය යන්නාහ.

චිත්ත සන්තානයන්හි රාගය උත්සන්න වීම හේතුවෙන් සත්වරක් රෝග වලින් සත්ත්වයෝ මිය යන්නාහ. ද්වේෂය උත්සන්න වීම හේතුවෙන් ආයුධ ගෙන යුද්ධ කර ගැනීමෙන් එක් වරක් මිය යන්නාහ. මෙසේ රාගය ද්වේෂය උත්සන්න වීමෙන් මිය යන අවස්ථා අටම එක් වාරයක් සේ සලකා එබදු වාර හතක් ගෙවුණු පසු අටවෙනි වාරයට මෝහය උත්සන්න වීම නිසා දුර්භීක්ෂයක් හේතුවෙන් ආහාර හිග වී මිය යන්නාහ. මෙම වාර අට තුලදී මෝහය උත්සන්න වීම නිසා රෝගවලින් සය පනස් වාතාවක්ද ද්වේෂය උත්සන්න වීම නිසා සත් වතාවක්ද, මෝහය උත්සන්න වීමෙන් එක් වතාවක් වශයෙන් වාර සූසැටැක් වන්නේය. මේ සත්ත්ව විනාශය වන ආකාරය ය.

මෙසේ මිය යන පිරිස අතරෙහිම නුවනැති අතලොස්සක් දෙනා වනගත වී දිවි රැක ගනිති. ඔවූහූ නිවරැදි දිවි පැවැත්මක් ගත කළ හෙයින් ආයුෂ පරම්පාරානුයාතව වර්ධනය වී අසංඛ්‍ය දක්වා වැඩි වන්නාහ. මෙසේ මනුෂ්‍ය ආයුෂ වසර දහයට අඩු වී නැවත අසංඛ්‍ය දක්වා වැඩි වී නැවත වසර දහයට අඩු වීමට ගතවන කාලය අන්තඃකල්පයක් නම් වේ.

මෙසේ අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ පිරිනිවී අන්තඃකල්පයක් ගෙවුනු පසු අප්‍රමාන ආයුෂ ඇති සත්ත්වන්ගේ ආයුෂ පිරිහී වසර ලක්ෂයට  අඩුු වූ කල්හි  ලෝකය ආලෝකමත් කරන්නා වු ලෝභාදී  ලෝකමල විනාශ කරන්නා වූ තුන් ලොවට උතුම් නායක වූ ධම්මදස්සී නම් සර්වඥයන් වහන්සේ ලොව පහළ වී වදාළ සේක.

සමතිංශඃ පාරමී සංඛ්‍යාත සියලු බුද්ධ කාරක ධර්ම සපිරූ ධම්මදස්සී බෝධිසත්ත්වයන් වහන්සේ තුසිත පුර ඉපිද එහි වූ සියළු ආයුෂ විඳ සුදුසු කල්හී එයින් නික්මී සරණ නගරයේ සියලු ජනයාට සරණ වූ සරණ මහ රජතුමාගේ අග්‍ර මහේෂිකාව වූ සුනන්දා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත් සේක. උන් වහන්සේ වර්ෂා කාලයේ මහා මේඝයෙන් මිදුණු පූර්ණ චන්ද්‍රයා සේ දසමස් ඇවෑමෙන් සරණ උයනේදී මව් කුසින් බිහි වූහ. මහා පුරුෂයන් වහන්සේ මව්කුසින්  නික්මුණු මොහොතේම අධිකරණ ව්‍යවහාර ශාස්ත්‍ර පුස්තකයන්හි සඳහන්ව තිබූ අධාර්මික විනිශ්චයන් තෙමේ ම අතුරුදන් විය. ධාර්මික විනිශ්චයන් පමණක්ම ඉතිරිවිය. උන්වහන්සේට නම් තබන දිනයේහි සකල ධර්ම දර්ශණ යුක්තාර්ථයෙන් ධම්මදස්සී යැයි නම් තැබීය.

සුදුසු කල් පැමිණි විට විචිකෝලි දේවිය සරණ පාවා දුන් අතර ඇය ප්‍රධාන ලක්ෂයකට අධික පරිවාර ස්ත්‍රීන් සමග තුන් ඍතුවට යෝග්‍ය වූ අරජ, විරජ, සුදස්සන නම් වූ ප්‍රාසාදයන්හී මහේශාක්‍ය සුඛ විහරණයෙන් කල් ගෙවීය. වසර අටදහසක් රජ සම්පත් විදි බෝධිසත්ත්වයන් වහන්සේ සතර පෙර නිමිති දැක ගිහිගෙය කළකිරුණු සේක. විචිකෝලි දේවිය තම පුණ්‍යවර්ධන කුමාරයා ප්‍රසූත කළ බව ද අසන්නට ලැබිණි. දිව්‍ය කුමාරයෙකු මෙන් සැරසී අති සුඛුමාල දේව සම්පත්තීන් බදු වූ සම්පත් අනුබව කරනුයේ එදින රාත්‍රී මැදියමේ අවදි වී සිරි යහනේ හිඳ බලන කල්හි දිව්‍යාංගනාවන්  සේ සැරසී සිටි නාටිකාංගනාවන් අමු සොහොනේ හෙළූ මළ කඳන් සේ නිද්‍රෝපගතව සිටි විප්‍රකාර දර්ශනය දැකීමෙන් හටගත් මහා සංවේගය නිසා මහා අභිනිෂ්ක්‍රමනය සඳහා සිත් පහළ වූ සේක. සසරේ පිරූ පාරමිතා බල මුුදුන් පමුණුවන්නාක් මෙන් නෛෂ්ක්‍රම්‍ය ය සිතෙහි පහළ වෙත්ම සුදර්ශන ප්‍රාසාදය අහසට පැන නැගී චතුරංගනී සේනාව පිරිවරන ලදුයේ ම ගගන තල බබුළුවමින් දවස උදා කරන ලද සූර්යයා මෙන් සකල ශෝභාවෙන් ප්‍රතිමන්ඩිත වූ දිව්‍ය විමානයක් මෙන් අහසින්ම ගොස් රත්කරව්රුක් බෝධිය සමීපයේ අහසින් බැස සිටි සේක. කල්පාරම්භයේ දී පියුම් මත පහල වූ අෂ්ට පරිෂ්කාරය බ්‍රහ්ම රාජයෙකු විසින් ගෙන පූජා කරනු ලදුයේ එම සිවුරු හැඳ පෙරවා ප්‍රාසාදයේ දීම පැවිදි වී ප්‍රාසාදයෙන් බැස ඊට නුදුරේ හුන් සේක.  ප්‍රාසාදය නැවත අහසින්ම ගොස් බෝධි වෘක්ෂය ඇතුලට කරමින් පෘථුවියෙහි පිහිටියේය.  ප්‍රාසාදයෙහි සිටි පරිවාර ස්ත්‍රීහූ ප්‍රාසාදයෙන් බැස අඩ ගව්වක් දුර ගොස් සිටියාහුය. එහි වූ රාජ ස්ත්‍රීන් හා ඇලාගේ සේවිකාවන්ද හැර සෙසු සියළු මනුෂ්‍යයෝ උන්වහන්සේ අනුව පැවිදි වූහ. සියළු භික්ෂූහූ කොටි ලක්ෂයක් වූහ.

ඉක්බිති ධම්මදස්සී ‍බෝධිසත්න්වයන්  වහන්සේ සත් දිනක් මහා ප්‍රධන් වීර්යය වඩා විචිකෝලී දේවිය පූජා කරන ලද මධු පායාසය වළඳා ඩෙබර වනයෙහි දිවා විහරණය කර  සන්ධ්‍යා යාමයේ සිරිවර්ධන නම් ගව පාලකයා විසින් දෙන ලද තෘණ මිටි අට ගෙනවිත් බිම්බිජාල බෝධිය වෙත එළඹ පනස්තුන් රියනක් පළලට තෘණ ඇතිරි අතුරා එහි වැඩ හුන් බෝධිසත්ත්වයන් වහන්සේ මහා වීර්යයෙන් කෙලෙස් මුල් උදුරා සකල ක්ලේශ විද්වංශනය කොට සර්වඥතාඥානය ප්‍රතිවේධ කළ සේක.

සසර සරනා දිගු ගමන් මගක සෙවූ බොධි පල්ලංකය, මහා විජයෙන් ලද සර්වඥතාඥානය ලැබූ සොම්නසින් “අනේක ජාති සංසාරං” යැයි උදාන වාක්‍ය කියා, ප්‍රතිවේද කළ නිරෝධ සුව විඳිමින් සත් සතියක් කල් ගෙවා දම් දෙසීම සඳහා බ්‍රහ්ම රාජයෙකු විසින් කරන ලද ආරාධනයෙන් ‘කවරෙකු සඳහා මුලින්ම ධර්මය දේශනා කරන්නෙම්ද, කවරෙකු මුලින්ම ධර්මය අවබෝධ කරගන්නේදැයි’ ලොව බලනුයේ තමන් වහන්සේ හා එකට පැවිදි වූ කොටි ලක්ෂයක් වූ භික්ෂූන් ධර්මය අවබෝධ කරන්නා හ යැයි දැන අටළොස් යොදුන් මඟ ගෙවා එක දිනකින්ම ඉසිපතනයට වැඩම කොට එහි  ලක්ෂයක් වූ භික්ෂූන් පිරිවාරා දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ සේක. එහිදී කොටි ලක්ෂයක් දෙනා හට ප්‍රථමාභිසමය වූ සේක.

යම් කලෙක තගර නම් නුවර සඤ්ජය නම් මහරජතුමා කාමයන්ගේ ආදීනවයත් නෛෂ්ක්‍රම්‍ය යේ ක්ෂේම භාවයත් දැක ඍෂි පැවිද්දෙන් පැවිදි වූයේ ද; එකල්හි අනූකොටියක් ජනතාවද ඔහු අනුවම පැවිදි වුහ. සියලු දෙනාම පඤච අභිඥා අෂ්ට සමාපත්ති ලාභීන් වූහ. ඉක්බිති ධම්මදස්සී භාග්‍යවතුන් වහන්සේ ඒ සියලු දෙනාගේ උපනිඃශ්‍රය සම්පත්තිය දැක අහසින්ම සඤ්ජය තාපසතුමාගේ  ආශ්‍රමයට වැඩම කොට අහසේ වැඩ හිද ඒ සියලු තාපසවරුන්ගේ අධ්‍යාසයට අනුරූප වූ ධර්මයක් දේශනා කොට දම් ඇස ඉපදවූ සේක. මේ දුතියාභිසමය විය.

යම් කලෙක ශක්‍රදේ‍වේන්‍ද්‍රයා දසබලධ‍ාරීන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවනය කරනු කැමැත්තෙන් බුදුන් වෙත එළැඹියේද එකල්හි අසූ කොටියක් දෙනා හට තෘතියාභිසමය වූහ.

යම් කලෙක සරණ නගරයේ වේමාතික (එක් පියෙක් හා වෙස් මව්වරුන් ඇති දරුවන්.) සහොදරයන් වූ පදුම කුමාරයාද ඵුස්සදේව කුමාරයාද සපරිවාරව පැවිදි කළ සේක්ද ඒ ඇතුල් වසෙහි වූ කොටි දහසක් භික්ෂූන් මධ්‍යයේ විශුද්ධි පවාරනය (විශුද්ධි පවාරණය කරනුයේ රහතුන් පමණි.) කළ සේක. එය පළමු සංඝ සන්නිපාතනය විය. නැවත භාග්‍යවතුන් වහන්සේ දිව්‍ය ලෝකයෙන් වැඩම කරනුයේ එහිදි භික්ෂූහු සියක් කොටියක් රැස්වූහ.  මේ ද්‍විතීයසංඝ සන්නිපාතනය විය.

යම් කලෙක සුදර්ශනාරාමයේ තෙළෙස් ධුතාංග ගුණයන්ගේ ආනිශංස වදාරා හාරිත නම් මහා ශ්‍රාවකයන් වහන්සේ ඒතදග්‍රස්ථානයේ තැබූසේක් ද, එකල්හි අසූකොටියක් භික්ෂු සංඝයා මධ්‍යයේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඔවාද ප්‍රාතිමොක්ෂය දේශනා කරන ලද සේක. එය තෘතීය සංඝ සන්නිපාතය විය.

එකල්හි අපගේ බොධිසත්ත්වයන් වහන්සේ මහා සත්ත ශක්‍රදේවේන්ද්‍රව ඉපිද දිව්‍ය සම්පත් අනුභව කරනුයේ දෙව්ලොව දෙවියන් පිරිවරා බුදුන් වෙත එළඹ දිව්‍යමය සුවඳ මලින්ද දිව්‍යමය තූර්ය වාදනයෙන්ද තථාගතයන් වහන්සේට පූජා සත්කාර පැවැත්වූහ. එවිට ධම්මදස්සී බුදුරජාණන් වහන්සේ ලොව බලා වදාරණුයේ

“සෝපි මං තදා ව්‍යාකාසී – දේව මජෙඣ නිසීදිය

අට්ඨාරසෙ කප්ප සතේ – අයං බුද්ධෝ භවිස්සති”

 යැයි කල්ප එකසිය දහටක් ගිය තැන ගෞතම නමින් මෙතෙමේ ලොව්තුරා බුදුවන්නේ යැයි පසළොස්වෙනි විවරණය ලබා දුන් සේක.

සරණ නගරයේ සරණ මහරජතුමාට ද‍ාව සුනන්දා නම් මව් දේවියගේ කුස ඉපිද සුදුසු කල්හී විචිකෝලි දේවිය සරණ පවාගෙන පුණ්‍යවර්ධන නම් තම පුතුන් බිහි කළ දින ප්‍රාසාදයෙන් අබිනික්මන් කොට පැවිදි වී බිම්බිජාල බෝ රුක් මුලදී ලොව්තුරා සම්බුද්ධ රාජ්‍යය ලද ධම්මදස්සී සර්වඥයන් වහන්සේ පදුමය, ඵුස්සදේව යන අග්‍ර ශ්‍රාවක දෙනම ඇතිව  සුනෙත්ත නම් අග්‍ර උපස්ථායක තෙරුන්ගේ උපස්ථාන ලබමින් ඛේමා, සබ්බනාමා යන අග්‍ර ශ්‍රාවිකාවන් සහිත සිව්වනක් පිරිසට අනුශාසනා කරමින් අසූ රියනක් උස සවණක් රැසින් ශෝභමාන බුදු සිරුරින් යුතුව සියලු සත්ත්වයන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් ලෝක සත්ත්වය‍ා නිවන් පුර පුමුණුවමින් වසර ලක්ෂයක් ආයු වළඳා සාලවතී නගරයෙහි කේසාරාමයේදී පිරිනිවන් පෑ සේක.

චිරං තිට්ඨතු ලෝකස්මිං – සම්මා සම්බුද්ධ සාසනං

සම්පාදක : විනයාචාර්ය පුවක්පිටියේ සුමංගලරතන හිමි

                                                       ( බුද්ධවංශ අර්ථකතාව ඇසුරෙනි  )

පරිගණක අකුරු සැකසුම :- රංජිත් මධුසංක