නිවන් දකිනු රිසි සැදැහැවතුන්ට බෞද්ධ භාවනා මාර්ගය විස්තර කිරීමේ ලිපි මාලාවේ ආනාපානසති භාවනාවෙන් ආරම්භ කර බුද්ධානුස්සති භාවනාව, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා යන සතර බ්‍රහ්මවිහාර භාවනා යන සමථ භාවනා ක්‍රම විස්තර කරන ලදී. ඒ අනුව බෞද්ධ භාවනා මාර්ගය පුහුණු කරනු කැමති සැදැහැවතුන් මෙම කවර හෝ භාවනා ක්‍රමයකින් තම භාවනාව ආරම්භ කළ හැකි වේ. මෙතැන් පටන් විස්තර කිරීම ආරම්භ වන්නේ ධම්මානුස්සති භාවනාව යි.

සමථ භාවනාවකින් සිත සන්සිඳුවාගෙන අනතුරුව නාමරූප ධර්ම සම්මර්ශනයෙන් විදසුන් වැඩීමට කැමති පුද්ගලයන් විසින් පළමුකොට ම සමථ භාවනාවකින් සිත සන්සිඳුවා ගත යුතු වේ. නීවරණ යටපත් කර ගත යුතු වේ. ඒ සඳහා වැඩිය හැකි සමථ භාවනා ක්‍රම සම සතළිසක් (40) ඇති බව යට සඳහන් කරන ලදී. ඒ අතර එන දශ අනුස්මෘති කර්මස්ථාන අතරින් දෙවන අනුස්මෘති කර්මස්ථානය ධම්මානුස්සතිය යි.

ධම්මානුස්සති භාවනාව වඩා ඒ මඟින් සිත සන්සිඳුවාගෙන නීවරණ යටපත් කරගෙන ඒ සමාධිමත් සිතින් විදසුන් වඩා නිවන් සාක්‍ෂාත් කර ගත හැකි වේ. එය පුරුදු පුහුණු කරනු කැමති තැනැත්තා විසින් විවේකගත ව කමටහන්හි ඇලුණු සිතැතිව ‘ස්වාක්‍ඛාතො භගවතා ධම්මො සන්‍දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි’ යනාදි ක්‍රමයෙන් පර්යාප්ති ධර්මයේ ද නව වැදෑරුම් ලෝකෝත්තර ධර්මයන්ගේ ද ගුණ සිහි කළ යුතු වේ.

ඒ අනුව පළමුව ශීල සංවරය ඇති ව භාවනාවට වාඩි වී තෙරුවන් වන්දනා කිරීම් ආදි පූර්ව කෘත්‍යය සිදු කර සිත භාවනාවට සුදුසු අන්දමට සකස් කරගෙන කෙටියෙන් සතර කමටහන් භාවනා වඩා අනතුරුව තම මූල කර්මස්ථානය වශයෙන් ධම්මානුස්සති භාවනාව විස්තර වශයෙන් වැඩීම ආරම්භ කළ හැකි වේ. ඒ සඳහා ‘ධර්මය’ යනු කුමක් දැ යි විස්තර වශයෙන් හඳුනාගත යුතු වේ. ධර්මයේ ‘ස්වාක්‍ඛාතාදි’ ගුණ විස්තර වශයෙන් හඳුනාගත යුතු වේ.

බෞද්ධ සියලු දෙනා ම ‘ධම්මං සරණං ගච්ඡාමි’ යැයි ධර්මයේ සරණ යති. එසේ සරණ යන ධර්මය යන්නෙන් පර්යාප්ති ධර්මය ද ලෝකෝත්තර ධර්මය ද යන උභය ධර්මයන් ම අදහස් වේ. පර්යාප්ති ධර්මය යනු බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ලෝක සත්ත්වයන් සංසාර දුකින් අත මුදවන අදහසින් ලෝකානුකම්පාවෙන් පන්සාළිස් වසරක් මුළුල්ලේ ඒ ඒ තැන දී දේශනා කරන ලද බුද්ධවචන රාශිය යි. එනම් පෙළ අර්ථකථා සහිත ත්‍රිපිටක ධර්මය යි. ලොකෝත්තර ධර්මය යනු සෝතාපන්න, සකදාගාමී, අනාගාමී, අර්හත් යන සතර මාර්ගයන් ද ඒ සතර ඵලයන් ද නිර්වාණය ද යන නව වැදෑරුම් ලොකෝත්තර ධර්මය යි. එහෙයින් එය ‘නව ලොකෝත්තර ධර්මය’ ලෙස ද හැඳින්වේ. ධර්මයේ ගුණ මෙනෙහි කිරීමේ දී මෙනෙහි කළ යුතු ‘ස්වාක්‍ඛාත’ ගුණයෙන් මෙම ත්‍රිපිටක ධර්ම සංඛ්‍යාත පර්යාප්තිය ද නව ලෝකෝත්තර ධර්මයන් ද යන දෙ කොටස ම අදහස් වේ. සෙසු ‘සන්‍දිට්ඨික’ ආදි පදයන්ගෙන් අදහස් වන්නේ ලෝකෝත්තර ධර්මය පිළිබඳව පමණක් වේ.

‘ධම්ම’ යන පදයේ අර්ථය වන්නේ සතර අපායට නොහොත් සංසාර දුක්ඛයට වැටෙන්නට නො දී දරන බව යි. ‘අත්තානං ධාරෙන්තෙ චතුසු අපායෙසු වට්ටදුfක්‍ඛසු ච අපතමානෙ කත්‍වා ධාරෙතීති ධම්මො’ යැයි කියනුයේ එහෙයිනි. පර්යාප්ති ධර්මය අසා දැනගෙන සිතින් දරා ගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරෙන තැනැත්තා ද නව විධ ලෝකෝත්තර ධර්මයන් ප්‍රතිවේධ කළ අය ද ධර්මය දරන අය යි. ධර්මය විසින් තමන් දරන අය සතර අපායටත් සංසාර දුකටත් වැටෙන්නට නො දී ආරක්‍ෂා කරයි. ‘ධම්මො හවෙ රක්‍ඛති ධම්මචාරී’ යැයි කියන ලද්දේ එහෙයිනි. මෙසේ සතර අපායටත් සංසාර දුකටත් නොවැටී සත්ත්වයන් දැරීම විශේෂයෙන් සිදු කෙරෙන්නේ ලෝකෝත්තර ධර්මයන් වෙතිනි. පර්යාප්ති ධර්මය සත්ත්වයන් හට මෙම දුකින් මිදීමේ මාර්ගය කියා දෙයි.

‘ධම්ම’ පදය නොයෙක් අවස්ථාවල නොයෙක් අර්ථවලින් යෙදී තිබේ. ඇතැම් විටක හුදෙක් පර්යාප්ති ධර්මය පමණක් ද තවත් සමහර අවස්ථාවක ලෝකෝත්තර ධර්මය පමණක් ද අදහස් වේ. එහෙයින් ඒ ඒ අවස්ථාවේ අදහස් කරන ලද්දේ කුමක් දැ යි අවබෝධයක් තිබිය යුතු වේ.

‘ඉධ භික්‍ඛු ධම්මං පරියාපුණන්ති’ යනාදි තැන්වල ධර්මය යන්නෙන් හුදු පර්යාප්ති ධර්මය පමණක් අදහස් වේ. ඒ අතරින් ද ‘ධම්මවිනය’ යැයි කියන විට ධර්මය යන්නෙන් විනය පිටකය අතහැර සෙසු සූත්‍ර හා අභිධර්ම පිටක ද්වය අදහස් වේ. ‘දිට්ඨධම්මො විදිතධම්මො’ යනුවෙන් සඳහන් වන තැන්වල ධර්මය යන්නෙන් චතුරාර්ය සත්‍යය අදහස් වේ. තවත් සමහර තැනක ධර්මය යන්නෙන් සමාධිය අදහස් වේ. ‘සච්චං ධම්මො ධිති චාගො’ යනාදි තැන්වල ධර්මය යනු ප්‍රඥාව යි. ‘ජාතිධම්මා, ජරාධම්මා’ යනාදි තැන්වල ප්‍රකෘතිය යි. ‘කුසලා ධම්මා’ යනාදි තැන්වල ධර්මය යනු ස්වභාවය යි. මෙසේ නොයෙක් අවස්ථාවල නොයෙක් අර්ථ ඇති ‘ධම්ම’ ශබ්දයෙන් ‘ධම්මං සරණං ගච්ඡාමි’ යැයි සරණ යෑමේ දී අදහස් වන්නේ පර්යාප්ති ධර්මය සහිත නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය යි. එහෙත් ‘පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස’ යනාදි තැන්වල ද ‘යො ධම්මං පස්සති, සො මං පස්සති’ යනාදි තැන්වල ද ලෝකෝත්තර ධර්මය ම අදහස් වේ.
එසේ ම ධම්මානුස්සති භාවනාව වඩනු කැමති තැනැත්තා විසින් ධර්මයෙහි සැකැස්ම පිළිබඳව කෙටියෙන් නමුත් දැන ගැනීම වැදගත් වේ. අප සරණ ගිය තථාගතයන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් වදාළ ධර්මය කෙබඳු ද යන්න ගැන මනා අවබෝධයක් ඇති තැනැත්තාට ඒ පිළිබඳව මනා ශ්‍රද්ධාව උපදවා ගත හැකි වේ.

පර්යාප්ති ධර්මය හෙවත් බුද්ධවචනය යනු බෝමැඩ දී සවාසන සකල ක්ලේශයන් දුරු කරමින් උතුම් සර්වඥතාඥාන ප්‍රතිලාභ කර ගත් තථාගතයන් වහන්සේ ‘අනේකජාති සංසාරං’ යන ප්‍රථම බුද්ධ වචනයේ පටන් අවසානයේ පරිනිර්වාණ මඤ්චකයේ වැඩ හිඳ දේශනා කළ ‘හන්‍දදානි භික්‍ඛවෙ ආමන්තයාමි වො වයධම්මා සඞ්ඛාරා අප්පමාදෙන සම්පාදෙථ’ යන අවසන් බුද්ධවචනය දක්වා පන්සාළිස් වසරක් මුළුල්ලේ ලෝකානුකම්පාවෙන් වදාළ සියලු ධර්මය යි. මේ සියලු බුද්ධ වචනය එකම එක නිවන් රසයෙන් හෙවත් විමුක්ති රසයෙන් යුක්ත වේ.

මේ සියලු බුද්ධවචනය ‘ධර්මය, විනය’ වශයෙන් දෙවැදෑරුම් වේ. භික්‍ෂු භික්‍ෂුණී උභය සංඝයාගේ ශීල සංවරය පිණිස පනවා වදාළ විනය පිටකයට අයත් සියලු පැනවීම් ‘විනය’ නම් වේ. සෙසු සියලු දේශනා ‘ධර්මය’ යන කොටසට අයත් වේ. මේ සියල්ල නැවත විනය, සූත්‍ර, අභිධර්මය යනුවෙන් පිටක තුනක් (3) වේ. ඒ සියල්ල ම දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය යනුවෙන් නිකාය පසකට (5) බෙදා දැක්විය හැකි වේ. එසේ ම සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භුතධමම්, වෙදල්ල යනුවෙන් අංග නවයකට (9) බෙදා නවාංග ශාස්තෘ ශාසනය ලෙසින් ද හැඳින්වේ. පර්යාප්ති ධර්මය යන්නට මෙම සියල්ල අයත් වේ. ධර්මස්කන්‍ධ වශයෙන් මේ සියල්ල අසූහාර දහසක් (84,000) වේ.

අනුරාධපුර, කටුකැලියාව, සද්ධාතිස්සාරාම මහාවිහාරවාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි