ධම්මානුස්සති භාවනාව වඩනු කැමති තැනැත්තා විසින් ධර්මය හා එහි සැකැස්ම පිළිබඳව කෙටියෙන් නමුත් දැන ගැනීම වැදගත් වේ. අප සරණ ගිය තථාගතයන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ අප කෙරෙහි අනුකම්පාවෙන් වදාළ ධර්මය කෙබඳු ද යන්න ගැන මනා අවබෝධයක් ඇති තැනැත්තාට ඒ පිළිබඳව මනා ශ්‍රද්ධාව උපදවා ගත හැකි වේ.

ධම්මානුස්සති භාවනාව වැඩීමට පමණක් නොව සැදැහැවත් බෞද්ධයකු ලෙස ද මෙම ධර්මයේ කොටස් පිළිබඳ අවබෝධයක් සහිත අයෙක් විය යුතු ය. ත්‍රිපිටකයට අයත් පොත් මොනවා දැ යි දන්නා බෞද්ධයන් සිටින්නේ ද ඉතා ස්වල්ප දෙනෙකි. තථාගතයන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් වදාළ ධර්මයේ ගාම්භීරත්වය අවබෝධ වන්නේ මේ පිළිබඳ දැනුවත් වීමෙනි. ඒ දැනුවත් වීම කැමති අය උදෙසා ත්‍රිපිටකයේ ඇතුළත් ග්‍රන්ථ මොනවාද යන්න මෙසේ දැක්විය හැකි වේ.
විනය පිටකය – ග්‍රන්ථ පස (5) කි.
1. පාරාජිකපාළි
2. පාචිත්තියපාළි
3. මහාවග්ගපාළි
4. චුල්ලවග්ගපාළි
5. පරිවාරපාළි

සූත්‍ර පිටකය – ග්‍රන්ථ එකුන් විස්ස (19) කි.
1. දීඝ නිකාය
2. මජ්ක්‍ධිම නිකාය
3. සංයුත්ත නිකාය
4. අංගුත්තර නිකාය
5. ඛුද්දක නිකාය – මෙහි ග්‍රන්ථ 15 කි.

ඛුද්දක නිකාය ග්‍රන්ථ 15
1. ඛුද්දකපාඨ
2. ධම්මපද
3. උදාන
4. ඉතිවුත්තක
5. සුත්තනිපාත
6. විමානවත්‍ථු
7. පෙතවත්‍ථු
8. ථෙර ගාථා
9. ථෙරී ගාථා
10. ජාතක
11. මහානිද්දේස, චුල්ලනිද්දේස
12. පටිසම්භිදාමග්ග
13. අපදාන
14. බුද්ධවංස
15. චරියාපිටක
අභිධර්ම පිටකය – ග්‍රන්ථ සත (7) කි.
1. ධම්මසඞ්ගණිප්පකරණය
2. විභඞ්ගප්පකරණය
3. ධාතුකථාප්පකරණය
4. පුග්ගලපඤ්ඤත්තිප්පකරණය
5. කථාවත්‍ථුප්පකරණය
6. යමකප්පකරණය
7. පට්ඨානප්පකරණය

මෙසේ ග්‍රන්ථ එක් තිසක (31) සංග්‍රහ කරන සියලු බුද්ධවචනය පිළිබඳ අර්ථය විග්‍රහ කරන අර්ථකථා සමුච්චයක් ද වේ. එය ද බුදුරජාණන් වහන්සේගේ ම විස්තරාත්මක දේශනය ඇසුරෙන් ප්‍රථම ධර්ම සංගායනාවේ දී මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ආදී මහරහතන් වහන්සේලා විසින් සංග්‍රහ කරන ලදී.
ධම්මානුස්සති භාවනාව පුරුදු පුහුණු කරන තැනැත්තා පළමුකොට ම මෙම ‘ධර්මය’ යන්න හඳුනා ගත යුතු වේ. මෙහි ධර්මය යන්නෙන් සපර්යාප්තික නව ලෝකෝත්තර ධර්මය අදහස් වන බව ඉහත පැහැදිලි කරන ලදී. ‘ධම්මං සරණං ගච්ඡාමි’ යැයි ධර්ම රත්නය සරණ යන තැනැත්තා සරණ යන්නේ මෙම සපර්යාප්තික නව ලෝකෝත්තර ධර්මය යි. එහි ලා ත්‍රිපිටක බුද්ධවචනය පර්යාප්ති ධර්මය බැවින් තථාගතයන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කළ මෙම ත්‍රිපිටක ධර්මය එක් අකුරකු දු නො වෙනස් ව පිළිගන්නා ශ්‍රද්ධාවක් ඇතිව, දිවි හිමි කොට ධර්ම රත්නය සරණ යා යුතු ය.

සත්ත්වයන් පඤ්චස්කන්‍ධ ලෝකයෙන් එතෙර කරවන්නා වූ ලෝකය ඉක්මවා සිටින්නා වූ ධර්මයෝ ලෝකෝත්තර ධර්ම නම් වේ. සෝතාපන්නාදි සතර මාර්ග සහ සතර ඵලයන් ද නිර්වාණය ද ලෝකෝත්තර ධර්මයන්ට අයත් වේ. මේ අතරින් සතර මාර්ග සහ සතර ඵලයන් ඒ ඒ පුද්ගලයා විසින් වෙන වෙනම උපදවා ගත යුතු ධර්මයෝ ය. නිර්වාණය වනාහි ලෝකෝත්තර ඥානවලින් ප්‍රත්‍යක්‍ෂ කර ගත යුතු ධර්මයකි.
ධර්මයේ ගුණ මෙනෙහි කිරීමේ දී මෙනෙහි කළ යුතු ‘ස්වාක්‍ඛාත’ ගුණයෙන් සපර්යාප්තික නව ලෝකෝත්තර ධර්මය ම අදහස් වන අතර සෙසු ‘සන්‍දිට්ඨික’ ආදි පදයන්ගෙන් අදහස් වන්නේ ලෝකෝත්තර ධර්මය පිළිබඳව පමණක් වේ. ඒ අනුව ධම්මානුස්සති භාවනාව වඩන තැනැත්තා පළමුව කෙටියෙන් ධර්මයේ ගුණ සියල්ල මෙනෙහි කර ගැනීම වැදගත් වේ. ඒ අනුව ‘ස්වාක්‍ඛාතො භගවතා ධම්මො’ යනාදි දහම් ගුණ පාඨයෙන් කියැවෙන එකිනෙක ගුණයන් පිළිබඳ අර්ථය කෙටියෙන් මෙසේ දැක්විය හැකි වේ.

1. ධර්මය තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් මුල, මැද, අග යන තුන් තැන ම යහපත් වන පරිදි මනා කොට දේශනා කරන ලද බැවින් ‘ස්වාක්‍ඛාත’ නම් වන්නේය.
2. ධර්මය තෙමේ එය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයන් වර්තමාන භවයේ දී ම ප්‍රත්‍යක්‍ෂ ගුණවලින් යුක්ත වන හෙයින් ‘සන්‍දිට්ඨික’ නම් වන්නේය.
3. ධර්මය තෙමේ එය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයන්ට වර්ෂ ගණන් මාස ගණන් ගත වීමෙන් නො ව එදිනෙදා ම ලැබිය හැකි ගුණවලින් යුක්ත වන හෙයින් ‘අකාලික’ නම් වන්නේය.
4. ධර්මය තෙමේ ‘පැමිණ මේ සසුනෙහි පිළිවෙත් පුරා බලන්නැ’ යි අන්‍යයන්ට නිර්භීතව කිය හැකි අන්‍යයන් ඇද දැමීමට සුදුසු ගුණ ඇති හෙයින් ‘එහිපස්සික’ නම් වන්නේය.
5. ධර්මය තෙමේ අන් සෑම කටයුත්තක් ම පසෙකට තබා සියල්ලට ම ප්‍රථමයෙන් තම සිත්හි පිහිටුවා ගැනීමට සුදුසු හෙයින් ‘ඔපනයික’ නම් වන්නේය.
6. ධර්මය තෙමේ එය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයන්ට අන් තැනකින් නොව තම සිත් තුළින් ම අහෝ සැපය, අහෝ යහපත්ය කියා දැනෙන ගුණයෙන් යුක්ත වන හෙයින් ‘පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි’ නම් වන්නේය.

ධම්මානුස්සති භාවනාව වඩනු කැමති තැනැත්තා පළමුව තම ශීලය පිරිසිදු කරගෙන පිරිසිදු සිල් ඇතිව භාවනාවට සුදානම් ව පළමුව තෙරුවන් වන්දනා කිරීමාදි පූර්ව කෘත්‍යය ඉටු කළ යුතු වේ. අනතුරුව කෙටියෙන් සතර කමටහන් මෙනෙහි කොට විස්තර වශයෙන් ධම්මානුස්සති භාවනාව වැඩීමට මත්තෙන් කෙටියෙන් මෙම ධර්මයේ ගුණ සය (6) මෙනෙහි කළ හැකි වේ.
ඒ සඳහා මෙම අර්ථ සය (6) පළමුව කටපාඩම් කර ගැනීම සුදුසු වේ. අනතුරුව මුල සිට අගටත්, අග සිට මුලටත් මෙම අර්ථ මෙනෙහි කරන්න. එහි දී කෙටියෙන් ‘ස්වාක්‍ඛාත’ ආදි පදයන්ගෙන් කුමක් අදහස් වේ ද යන්න මෙනෙහි කිරීම වැදගත් වේ. එවිට අප සරණ ගිය ධර්ම රත්නය මේ ගුණයන්ගෙන් යුක්ත යැයි ධර්ම ගෞරවය සිතේ ඇති වේ.

අනුරාධපුර, කටුකැලියාව, සද්ධාතිස්සාරාම මහාවිහාරවාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි