ධම්මානුස්සති භාවනාව වඩනු කැමති තැනැත්තා පළමුව තම ශීලය පිරිසිදු කරගෙන පිරිසිදු සිල් ඇතිව තෙරුවන් වන්දනා කිරීමාදි පූර්ව කෘත්‍යය ඉටු කිරීමෙන් සිත භාවනාවට සූදානම් කරගෙන අනතුරුව පෙර කී අයුරින් කෙටියෙන් සතර කමටහන් මෙනෙහි කිරීම සුදුසු වේ. විස්තර වශයෙන් ධම්මානුස්සති භාවනාව වැඩීමට පෙර කෙටියෙන් ධර්මයේ ගුණ සය (6) මෙනෙහි කිරීම ද සුදුසු වේ. මුල සිට අගටත්, අග සිට මුලටත් කෙටියෙන් ‘ස්වාක්‍ඛාත’ ආදි පදයන්ගෙන් කුමක් අදහස් වේ ද යන්න මෙනෙහි කිරීම වැදගත් වේ. එවිට අප සරණ ගිය ධර්ම රත්නය මේ ගුණයන්ගෙන් යුක්ත යැයි ධර්ම ගෞරවය සිතේ ඇති වේ.

සිතේ ඇති වූ ධර්ම ගෞරවය නිසාවෙන් ශ්‍රද්ධාව ජනනය වී ප්‍රීති සෝමනස්සය ඇති වන යෝගියා විස්තර වශයෙන් ධම්මානුස්සති භාවනාව වැඩීමට සුදුසු තැනැත්තෙක් වේ. ඒ සඳහා ධර්ම රත්නය පිළිබඳ එකිනෙක ගුණය ගෙන එහි අර්ථය විස්තර වශයෙන් අවබෝධ කර ගත යුතු වේ. අනතුරුව එය මනා කොට මෙනෙහි කළ යුතු වේ. ඒ සඳහා ප්‍රයෝජනවත් වීම පිණිස එකිනෙක ගුණය පිළිබඳ විස්තරයක් මෙහි දැක්වේ.
ධර්මය තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් මුල, මැද, අග යන තුන් තැන ම යහපත් වන පරිදි මනා කොට දේශනා කරන ලද බැවින් ‘ස්වාක්‍ඛාත’ නම් වන්නේය.

‘ස්වාක්‍ඛාත’ යන පදයේ අර්ථය වන්නේ ‘සු අක්‍ඛාත’ යන්න යි. ‘සු’ යන උපසර්ගයෙන් ‘මනා’ යන අර්ථය දැක්වේ. ‘අක්‍ඛාත’ යනු ‘දේශනා කරල ලද’ යන අර්ථය යි. ඒ අනුව මනා කොට දේශනා කරන ලද බැවින් ස්වාක්‍ඛාත නම් වේ. මෙම ස්වාක්‍ඛාත ගුණයෙහි පර්යාප්ති ධර්මය ද සංග්‍රහ වන බව ඉහත දක්වන ලදී. සෙසු ගුණයන්හි විශේෂයෙන් ලෝකෝත්තර ධර්මය සංග්‍රහ වන අතර පර්යාය වශයෙන් පර්යාප්තිය ද සංග්‍රහ වේ.
ඒ සියලු ධර්මයන් අතරින් ත්‍රිපිටක ධර්ම සංඛ්‍යාත පර්යාප්ති ධර්මය ස්වාක්‍ඛාත ය. හෙවත් මනා කොට දේශනා කරන ලදී. ‘ආදිකල්‍යාණං, මජ්ඣෙකල්‍යාණං, පරියොසානකල්‍යාණං, සාත්‍ථං, සබ්‍යඤ්ජනං, කෙවලපරිපුණ්ණං, පරිසුද්ධං, බ්‍රහ්මචරියං පකාසෙති’ යැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්වාක්‍ඛාත වන ආකාරය විස්තර වේ.

‘ආදිකල්‍යාණං, මජ්ඣෙකල්‍යාණං, පරියොසානකල්‍යාණං’ යැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුල, මැද, අග යන තුන් තැන ම යහපත් කොට දේශනා කරන ලද බව පැවසේ. ‘කල්‍යාණ’ යනු යහපත් බව යි. භාග්‍යවතුන් වහන්සේ එක් සතරපද ගාථාවක් නමුදු දේශනා කරයි නම් ඒ මේ ධර්මය සර්වප්‍රකාරයෙන් ම සුන්දර බැවින් පළමු ගාථා පාදයෙන් ‘ආදිකල්‍යාණ’ වේ. දෙවන තෙවන පාදයන්ගෙන් ‘මජ්ඣෙකල්‍යාණ’ වේ. අවසන් පාදයෙන් ‘පරියොසානකල්‍යාණ’ වේ.

බොහෝ බෙදීම් දක්වා නොමැති ඒකානුසන්ධික සූත්‍රයක ‘එවං මෙ සුතං’ යනාදි වශයෙන් සූත්‍රය දේශනා කළ කාලය, දේශය, දේශක, ධර්මශ්‍රවණ පිරිස ආදිය දක්වන නිදානයෙන් ‘ආදිකල්‍යාණ’ වේ. සූත්‍රාවසානයේ ‘ඉදමවොච භගවා …’ යනාදි ලෙස දැක්වෙන නිගමනයෙන් ‘පරියොසානකල්‍යාණ’ වේ. සූත්‍රයේ සෙසු කොටසින් ‘මජ්ඣෙකල්‍යාණ’ වේ. උදාහරණයක් ලෙස මහාසතිපට්ඨාන සූත්‍රය ‘එකායනො අයං භික්‍ඛවෙ මග්ගො, සත්තානං විසුද්ධියා’ යැයි සතර සතිපට්ඨානය විස්තර කිරීම අරඹා ඒ සතරසතිපට්ඨානයේ ම බෙදීම් දක්වන බැවින් ඒකානුසන්ධික සූත්‍රයකි. එහි ලා නිදානයෙන් ‘ආදිකල්‍යාණ’ වේ. සූත්‍රාවසානයේ ‘ඉදමවොච භගවා …’ යනුවෙන් දැක්වෙන නිගමනයෙන් ‘පරියොසානකල්‍යාණ’ වේ. සෙසු සූත්‍ර මධ්‍ය කොටසින් ‘මජ්ඣෙකල්‍යාණ’ වේ.

ධර්මයේ නොයෙක් බෙදීම් විස්තර කෙරෙන නානානුසන්ධික සූත්‍රයක ඒ ධර්ම විභාගයන්ගෙන් ම මුල, මැද, අග යහපත් බව ලැබේ. මහාපරිනිබ්බාණ සූත්‍රය එවැනි නානානුසන්ධික සූත්‍රයකි. එහි නොයෙක් ධර්ම කරුණු විස්තර වන බැවිනි. එවැනි සූත්‍රයක ප්‍රථම අනුසන්ධියෙන් හෙවත් ප්‍රථම ධර්ම විභාගයෙන් ‘ආදිකල්‍යාණ’ වේ. මහාපරිනිබ්බාණ සූත්‍රයේ ප්‍රථමයෙන් මගධමහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ හමු වූ අවස්ථාවේ සප්ත අපරිහානිය ධර්ම දේශනා කිරීම දැක්වීමෙන් ‘ආදිකල්‍යාණ’ වේ. එසේ ම අවසන් අනුසන්ධියෙන් හෙවත් ධර්ම විභාගයෙන් ‘පරියොසානකල්‍යාණ’ වේ. සූත්‍රයේ සෙසු කොටසින් ‘මජ්ඣෙකල්‍යාණ’ වේ.

සූත්‍ර පිටකයේ මෙන් ම විනය පිටකයේ ද දේශනයන්හි නිදාන සහිත බැවින් සහ අර්ථෝත්පත්ති සහිත බැවින් ‘ආදිකල්‍යාණ’ වේ. සූත්‍ර පිටකයෙහි ලා විනෙය ජනයන්ගේ හෙවත් නිවන් දැකිය හැකි හික්මෙන ජනයන්ගේ අධ්‍යාශයානුරූපයෙන් පවත්වනු ලබන ධර්ම දේශනාවෙහි ද විනය පිටකයෙහි ලා ඒ ඒ ශික්‍ෂාපදභාවයෙන් පනවනු ලබන ශික්‍ෂාපදයන්හි ද විනෙය ජනයන්ට අනුරූප වන හෙයින් ‘මජ්ඣෙකල්‍යාණ’ වේ. එසේ ම දේශනා කරනු ලබන ශීලාදි අර්ථයාගේ විපරීත නොවන බැවින් ද ඒ ඒ තන්හි දේශනාවේ දී ‘තං කිස්ස හෙතු’ ‘සෙය්‍යථාපි භික්‍ඛවෙ’ යනාදි ලෙස හේතු සහ උපමා ග්‍රහණයෙන් යුක්ත බැවින් ද ‘මජ්ඣෙකල්‍යාණ’ වේ. ශ්‍රොතෘජනයන්ට ශ්‍රද්ධා ප්‍රතිලාභ උපදවන්නා වූ නිගමනයෙන් ‘පරියොසානකල්‍යාණ’ වේ.

සියලු ම ශාසන ධර්මය හෙවත් ත්‍රිපිටක ධර්ම පර්යාප්තිය ම ත්‍රිවිධ කල්‍යාණ වේ.
“සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්තපරියොදපනං එතං බුද්ධානසාසනං” යනුවෙන් සියලු බුදුවරයන්ගේ අනුශාසනය ලෙස කියැවෙන්නේ ශාස්තෘශාසනය යි. ඒ සියලු ශාස්තෘශාසනය ප්‍රකාශ කෙරෙන පර්යාප්ති ධර්මය ආදි, මජ්ඣ, පරියොසාන වශයෙන් ත්‍රිවිධ කල්‍යාණ වේ. මෙහි ලා සියලු ශාසන ධර්මය තමාගේ අර්ථය වූ ශීලයෙන් ශාසනය ශීල මූලක හෙයින් ‘ආදිකල්‍යාණ’ වේ. ශමථය විදර්ශනා ය මාර්ග ය ඵල ය යන මෙයින් ඒ ශමථාදිය ශාසන සම්පත්තියෙහි මධ්‍යය හෙයින් ‘මජ්ඣෙකල්‍යාණ’ වේ. තදධිගමයෙන් මතුයෙහි කටයුත්තක් නොමැති හෙයින් නිර්වාණය ‘පරියොසානකල්‍යාණ’ වේ.

නැතහොත් සියලු ශාසන ධර්මය ශීල, සමාධි දෙකින් ‘ආදිකල්‍යාණ’ වේ. ශාසන පිළිවෙත ප්‍රඥාවෙන් වේ. ඒ ප්‍රඥාව ද ශීල, සමාධි දෙදෙන මුල් වන බැවින් ශීලසමාධීන් ‘ආදිකල්‍යාණ’ වේ. විදර්ශනා මාර්ගයන්ගෙන් ‘මජ්ඣෙකල්‍යාණ’ වේ. ඵල නිර්වාණ සාක්‍ෂාත්කරණයෙන් මතුයෙහි කළ යුත්තක් නොමැති හෙයින් ඵල නිර්වාණ දෙකින් ‘පරියොසානකල්‍යාණ’ වේ.

එ පමණක් ද නොව බුදුරජාණන් වහන්සේ මනා නැවණැති හෙයින් කල්‍යාණ ධර්මය ඒ බුදුරජාණන් වහන්සේ වෙතින් ප්‍රභව වූ හෙයින් ‘ආදිකල්‍යාණ’ වේ. ධර්මය වනාහි සර්වාකාරයෙන් සංක්ලේශයන්ගේ ප්‍රහාණය, ඒවායෙන් පිරිසිදු බව හෙවත් වෝදානය, පරිපූර්ණ බව යයි කියන ලද ධර්ම සුධර්මතාවය යන ගුණයන් ශරීර කොට ඇති බැවින් ‘මජ්ඣෙකල්‍යාණ’ වේ. ශාස්තෘන් වහන්සේ විසින් අනුශාසනා කරන ලද ක්‍රමයෙන් පිළිපැදීම යැයි කියනු ලබන සංඝ සුප්‍රතිපත්තියෙන් ශාසනයෙහි සුප්‍රතිෂ්ඨිත වන බැවින් ‘පරියොසානකල්‍යාණ’ වේ.

තව ද ඒ ශාසනධර්මය අසා යම් අර්ථයක් පිණිස ධර්මය දේශනා කරන ලද්දේ ද ඒ නිර්වාණාවබෝධය පිණිස පිළිපන්නහු විසින් පැමිණිය යුතු වූ අභිසම්බෝධිය, ප්‍රත්‍යෙකබොධිය, ශ්‍රාවකබොධිය යන මෙයින් පිටත අන් ආකාරයක නිර්වාණාවබෝධයක් නොමැති බැවින් එහි සියලු ගුණයෙන් අග්‍ර බැවින් ද සෙසු බෝධිද්වයට මූල බැවින් ද අභිසම්බෝධියෙන් ‘ආදිකල්‍යාණ’ වේ. ප්‍රත්‍යෙක බෝධියෙන් ගුණ වශයෙන් මධ්‍යය හෙයින් ‘මජ්ඣෙකල්‍යාණ’ වේ. ඒ බෝධි දෙකට හීන බැවින් ද අවසන් කොට ඇති බැවින් ද ශ්‍රාවක බෝධියෙන් ‘පරියොසානකල්‍යාණ’ වේ.

අනුරාධපුර, කටුකැලියාව, සද්ධාතිස්සාරාම මහාවිහාරවාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි