තව ද බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මේ සකල ශාසන ධර්මය නිවන් දොරටුවක් ලෙස සලකා විමුක්තායතන ශීර්ෂයෙහි සිට ශ්‍රවණය කිරීමේ දී පංච නීවරණ ධර්මයන් තදංග වශයෙන් දුරුකරණ බැවින් ශ්‍රවණයෙන් පවා යහපත් දෙයක් ම ලබා දෙන හෙයින් ධර්ම රත්නය ‘ආදිකල්‍යාණ’ වේ. ඒ මේ ශාසන ධර්මයෙහි පිළිපදනා තැනැත්තා හට ශමථයෙන් හා විදර්ශනාවෙන් ඇතිවන සැපය ලැබෙන හෙයින් පිළිවෙතින් පවා යහපත් දෙයක් ම ලබා දෙන බැවින් ‘මජ්ඣෙකල්‍යාණ’ වේ. එහි ලා ශමථයෙන් වන සුවය ‘සො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං’ යැයි කියන ලදී. එසේ ම ධම්මපද පාළියෙහි,
‘යතො යතො සම්මසති ඛන්‍ධානං උදයබ්බයං
ලභතී පීති පාමොජ්ජං අමතං තං විජානතං’ (යම් යම් කලෙක රූපාදි ස්කන්ධයන්ගේ උදය, ව්‍යය දෙක නුවණින් බලනුයේ එකල්හි ධර්ම ප්‍රීතියක්, ධර්ම ප්‍රමෝදයක් ලබා ද එය නුවණැතියන්ට අමෘතය නම් වේ.) යනුවෙන් කියන ලද්දේ විදර්ශනා සුවය පිළිබඳව වේ. ශමථ විදර්ශනා සුවය ලබාදෙන පරිද්දෙන් පිළිපදනා ලද ශාසන ධර්මය ඒ ප්‍රතිපත්ති ඵලය නිමි කල්හි අට ලෝ දහමින් කම්පා නොවන තාදිගුණය ලබා දෙයි. එසේ ශාස්තෘන් වහන්සේ විසින් අනුශාසනා කරන ලද ආකාරයෙන් පිළිපදනා ලද ශාසන ධර්මය තත් ප්‍රතිපත්ති ඵලය නිමි කල්හි තාදිභාවය හෙවත් අෂ්ට ලෝකධර්මය හා අනුලොම් බව එළවන හෙයින් ප්‍රතිපත්ති ඵලයෙන් පවා යහපත් දෙයක් ම ලබා දෙන හෙයින් ධර්මය ‘පරියොසානකල්‍යාණ’ වේ.

මෙසේ ධර්මය තෙමේ නොයෙක් ආකාරයෙන් ආදි, මධ්‍ය, පර්යාවසාන කල්‍යාණ වන හෙයින් හෙවත් මුල, මැද, අග යන තුන් තැන ම යහපත් වන පරිදි මනා කොට දේශනා කරන ලද බැවින් ‘ස්වාක්‍ඛාත’ නම් වන්නේය.

තව ද තථාගතයන් වහන්සේ වදාළ ධර්මය ස්වාක්‍ඛාත වන ආකාරය ‘සාත්‍ථං, සබ්‍යඤ්ජනං, කෙවලපරිපුණ්ණං, පරිසුද්ධං, බ්‍රහ්මචරියං පකාසෙති’ යැයි ද පැවසේ. එනම් භාග්‍යවතුන් වහන්සේ ඒ මුල, මැද, අග යහපත් වූ ධර්මය දේශනා කරමින් යම් ශීල, සමාධි, ප්‍රඥා සංඛ්‍යාත ශාසන බ්‍රහ්මචර්යාවක් දේශනා කරන සේක. එසේ ම ඒ මුල, මැද, අග යහපත් වූ ධර්මය දේශනා කරමින් යම් මාර්ග බ්‍රහ්මචර්යාවක් ද ප්‍රකාශ කරන සේක. එසේ දේශනා කරනු ලබන ශාසන, මාර්ග යන දෙවැදෑරුම් වූ බ්‍රහ්මචර්යාව ඒ ඒ බ්‍රහ්මචර්යාවට යෙදෙන යෙදෙන පරිද්දෙන් අර්ථ සම්පන්න හෙයින් සාර්ථක (සාත්‍ථං) නම් වේ. ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුතු බැවින් සව්‍යඤ්ජන (සබ්‍යඤ්ජනං) නම් වේ. නොකියන ලද අමුතුවෙන් ගෙනවුත් බහාලිය යුතු අර්ථයක් නැතිව සර්වාකාරයෙන් පරිපූර්ණ බැවින් කේවල පරිපූර්ණ (කෙවලපරිපුණ්ණං) නම් වේ. පහකටයුතු කෙලෙස් ධර්මයකුදු නොමැති බැවින් නිර්fදා්ෂ හෙයින් පරිශුද්ධ (පරිසුද්ධං) නම් වේ.

මෙසේ තථාගතයන් වහන්සේ ධර්මය අර්ථ සම්පන්න, ව්‍යඤ්ජන සම්පන්න, හාත්පස පරිපූර්ණ වූ පිරිසිදු ශාසන බ්‍රහ්මචර්යාවක් ද මාර්ග බ්‍රහ්මචර්යාවක් ද ප්‍රකාශ කරන හෙයින් ‘ස්වාක්‍ඛාත’ නම් වන්නේය.
එසේ ම ‘සුට්ඨු අක්‍ඛාතො‘ති ස්වාක්‍ඛාතො’ යනුවෙන් විග්‍රහ කෙරෙන අන්දමට තථාගතයන් වහන්සේගේ ධර්මය අර්ථ විපර්යාසයක් හෙවත් අර්ථයේ වදාළ ආකාරයට වඩා වෙනස් වීමක් නැති බැවින් මනාකොට කියන ලද්දේනුයි ‘ස්වාක්‍ඛාත’ නම් වන්නේය. අන්‍ය තීර්ථකයන්ගේ ධර්මයෙහි අර්ථය විපර්යාසයට පැමිණේ. ඔවුන්ගේ ධර්මයෙහි අන්තරායික යැයි කියන ලද ධර්මයන්ගේ අන්තරායික බවක්, ඒකාන්තයෙන් අපායෝත්පත්තියට හේතු වන බවක් නැත. එසේ ම නෛර්යාණික යැයි ඔවුන් විසින් දෙසන ධර්මයෙහි නිවනට පමුණුවන බවක් හෝ ස්වර්ග සම්පත්ති උදා කර දෙන බවක් හෝ නොමැත. එසේ අන්තරායික යැයි කී ධර්මය අන්තරායික නොවන බැවින් ද නෛර්යාණික යැයි කී ධර්මය නෛර්යාණික නොවන බැවින් ද අර්ථය විපර්යාසයට පැමිණෙන හෙයින් ඒ අන්‍ය තීර්ථකයෝ ‘දුරක්‍ඛාත’ හෙවත් නොමනා ලෙස දෙසූ දහම් ඇත්තෝ වෙති. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ අර්ථය එසේ විපර්යාසයකට නො පැමිණෙයි. භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් අන්තරායකර යැයි, ඒකාන්තයෙන් අපායෝත්පත්තියට හේතු වන්නේ යැයි දේශනා කරන ලද්දේ නම් එය එසේ ම ය. එසේ ම යම් ධර්මයක් නෛර්යාණික යැයි දේශනා කරන ලද්දේ නම් එය ද එසේ ම ය. එසේ අන්තරායකර භාවය හෝ නෛර්යාණික භාවය කිසි කලෙකත් නො ඉක්මවන බැවින් තථාගත ධර්මය ‘ස්වාක්‍ඛාත’ නම් වෙයි.

පර්යාප්ති ධර්මය මෙන් ම ලෝකෝත්තර ධර්මය ද ‘ස්වාක්‍ඛාත’ ය. සෝතාපන්නාදි සතර ආර්ය මාර්ග සහ සතර ආර්ය ඵලයන් ද නිර්වාණය ද ලෝකෝත්තර ධර්මයන් ලෙස හැඳින්වේ. ඒ ලෝකෝත්තර ධර්මය අතරින් මාර්ගය සහ නිර්වාණය එකිනෙකට අනුරූප හෙයින් ‘ස්වාක්‍ඛාත’ ය. එනම් නිර්වාණයට අනුරූප වූ ප්‍රතිපත්තිය දේශනා කරන ලද බැවින් ද ප්‍රතිපත්තියට අනුරූප වූ නිර්වාණය දේශනා කරන ලද බැවින් ද ‘ස්වාක්‍ඛාත’ නම් වෙයි. මහාගෝවින්ද සූත්‍රයෙහි “සුපඤ්ඤත්තං ඛො පන තෙන භගවතා සාවකානං නිබ්බාණගාමිනී පටිපදා, සන්සන්දති නිබ්බාණඤ්ච පටිපදා ච.” යනාදි ලෙස භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයන් හට නිර්වාණගාමිනී ප්‍රතිපදාව මනාව පනවන ලද බවත්, නිවනත් ප්‍රතිපදාවත් එකිනෙක සැසඳෙන බවත් වදාළ සේක. ගංගානම් ගඟේ දිය යමුනා නදියේ දිය හා මුසු වීමෙන් ඒ කවරක් දැ යි වෙන් කොට හඳුනා ගත නොහැකි වන සේ සැසඳේ. එසේ ම භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද නිවනත් ඒ සඳහා පනවන ලද ප්‍රතිපදාවත් එකිනෙක මනාව සැසඳෙන බව එහි දී වදාළ සේක. එහෙයින් ධර්මය ‘ස්වාක්‍ඛාත’ වන්නේ ය.
තව ද මාර්ගය, ඵලය, නිර්වාණය යන ත්‍රිවිධ ලෝකෝත්තර ධර්මය ම අතරින් ආර්ය මාර්ගය අන්තයන්ට නොවැටී මධ්‍යම ප්‍රතිපදාවක් ම වෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය මාර්ගය ශාස්වත, උච්ඡේද යන අන්ත දෙකට හෝ කාමසුඛල්ලිකානුයෝගය, අත්තකිලමථානුයෝගය යන අන්ත දෙකට හෝ මෙසේ අන්තයන්ට නොවැටී මධ්‍යම ප්‍රතිපත්තියක් ම වූයේ ‘මධ්‍යම ප්‍රතිපත්තිය’ යැයි වදාළ හෙයින් ආර්ය මාර්ගය ‘ස්වාක්‍ඛාත’ නම් වෙයි. තව ද සෝතාපන්නාදි ආර්ය ඵලයන් යනු මනාකොට ම කෙලෙස් සන්සිඳුනු ආර්ය ඵලයන් වේ. එසේ මනා කොට ම සන්සිඳුණු කෙලෙස් ඇතිව ම ‘සන්සිඳුණු කෙලෙස් ඇත්තේ’ යැයි වදාළ හෙයින් ආර්ය ඵලය ද ‘ස්වාක්‍ඛාත’ නම් වෙයි. එසේ ම නිර්වාණය ශාස්වතය, අමෘතය, තාණය, ලෙනය යනාදි ස්වභාවයන්ගෙන් යුක්ත වූයේ ම වෙයි. එසේ ඇත්තා වූ ම ශාස්වතාදි ස්වභාව වශයෙන් වදාළ හෙයින් නිර්වාණය ද ‘ස්වාක්‍ඛාත’ නම් වෙයි.

මෙසේ නොයෙක් ආකාරයෙන් විස්තර කළ හැකි බැවින් “ධර්මය තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට ම දේශනා කරන ලද්දේය. එහෙයින් ධර්මය ‘ස්වාක්‍ඛාත’ නම් වන්නේය” යැයි ධර්මයේ ගුණ මෙනෙහි කළ යුතු වේ.

අනුරාධපුර, කටුකැලියාව, සද්ධාතිස්සාරාම මහාවිහාරවාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි