ධම්මානුස්සති භාවනාව වඩන තැනැත්තා ධර්ම රත්නයේ ගුණ එකක් එකක් පාසා නුවණින් මෙනෙහි කරමින් භාවනාව වැඩිය යුතු වේ. ඒ සඳහා පළමුව ධර්මයේ ස්වාක්‍ඛාතාදි ගුණ පිළිබඳ දැනුම අවබෝධය ලබා ගත යුතු වේ. ඒ සඳහා උපකාර වනු පිණිස ධර්මයේ දෙවැනි ගුණය වන ‘සන්දිට්ඨික’ ගුණය මෙම ලිපියෙන් විස්තර කෙරේ.

“තථාගතයන් වහන්සේගේ ධර්මය එය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයන් වර්තමාන භවයේ දී ම තමන් විසින් ම ප්‍රත්‍යක්‍ෂ කරන ගුණවලින් යුක්ත වන හෙයින් ‘සන්දිට්ඨික’ නම් වන්නේ ය.” යැයි ධම්මානුස්සති භාවනාව වඩන තැනැත්තා විසින් ධර්මයේ ‘සන්දිට්ඨික’ ගුණය වැඩිය යුතු වේ. එහි දී පළමුව ධර්මය ‘සන්දිට්ඨික’ වන ආකාරය කෙසේ ද යන්න නිවැරදිව වටහාගෙන නුවණින් මෙනෙහි කිරීම කළ යුතු වේ.

මෙම ‘සන්දිට්ඨික’ ආදි ගුණයන්හි දී ධර්මය යන්නෙන් ලෝකෝත්තර ධර්මය ම අදහස් කරන බව ඉහත පැහැදිලි කරන ලදී. එනම් සෝතාපන්නාදි සතර ආර්යමාර්ගයන් ද සතර ආර්යඵලයන් ද නිර්වාණය ද යන නවවිධ ලෝකෝත්තර ධර්මය යි. සත්පුරුෂ බහුශ්‍රැත සිහිනුවණ ඇති තැනැත්තාට පර්යාප්ති ධර්මයේ ඇති ආදිකල්‍යාණතා ආදි ගුණ තමන් ම දැකිය හැකි බැවින් පර්යාප්ති ධර්මය ද පර්යායෙන් ‘සන්දිට්ඨික’ නම් වේ. එහෙත් විශේෂයෙන් මෙහි ලා ලෝකෝත්තර ධර්මයෙහි ‘සන්දිට්ඨික’ බව පිළිබඳ විස්තර වේ.

තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද සෝතාපන්නාදි ආර්යමාර්ගය වනාහි තම සන්තානයේ රාගාදී කෙලෙසුන්ගේ අභාවය කිරීමෙන් තමා විසින් ම දැක්කයුතු හෙයින් ‘සන්දිට්ඨික’ නම් වේ. එහෙයින් ‘සාමං දට්ඨබ්බො‘ති සන්දිට්ඨිකො’ (තෙමේ ම දැකිය යුතු හෙයින් සන්දිට්ඨික ය) යනු විග්‍රහය යි. එනම් රාගාදී කෙලෙසුන් සර්වාකාරයෙන් ම පහ කරන ලද සෝතාපන්නාදි ආර්ය පුද්ගලයා විසින් මේ ආර්යමාර්ගයෙන් මාගේ රාගාදි කෙලෙසුන් පහ වූයේ යැයි අන්‍යයන් විසින් කීමෙන් නොව තමා විසින් ම ප්‍රත්‍යක්‍ෂයෙන් දැක්ක හැකි වේ. එහෙයින් සෝතාපන්නාදි ආර්යමාර්ගය ‘සන්දිට්ඨික’ නම් වේ.

තව ද සෝතාපන්නාදි සතර ආර්යමාර්ගයන්, සතර ආර්යඵලයන් සහ නිර්වාණය යන නව වැදෑරුම් වූ ම ලෝකෝත්තර ධර්මයන් යම් යම් ආර්ය ශ්‍රාවකයෙක් විසින් අධිගත කරන ලද්දේ ද ඒ ඒ ආර්ය ශ්‍රාවකයා විසින් තමන් අධිගත කළ ධර්මය වෙනත් අයෙක් පිළිබඳ ශ්‍රද්ධාවෙන් ඇදහිය යුතු නො වේ. වෙනත් අයෙකුගෙන් අසා දැන ගත යුතු නො වේ. තමන්ට ම ප්‍රත්‍යවේක්‍ෂා ඤාණයෙන් ප්‍රත්‍යක්‍ෂයෙන් නුවණින් දැක ගත හැකි වේ. එසේ අනුන්ගෙන් අසා දැන ගත යුතු බව හැරපියා තමන් ම ප්‍රත්‍යවේක්‍ෂා ඤාණයෙන් දැකිය යුතු හෙයින් ‘සයං දට්ඨබ්බො‘ති සන්දිට්ඨිකො’ (තෙමේ ම දත යුත්තේ නුයි සන්දිට්ඨික ය) යනුවෙන් තථාගතධර්මය ‘සන්දිට්ඨික’ නම් වේ.

එසේත් නැතහොත් දිට්ඨි යනු දැක්ම යි. ප්‍රශස්ත වූ දැක්ම ‘සන්දිට්ඨි’ නම් වේ. ‘සං’ යන උපසර්ගය ප්‍රශස්ත අර්ථයේ ය. ප්‍රශස්ත වූ බෝධ්‍යඩ්ගය ‘සම්බොජ්ඣංග’ යැයි කියන්නාක් මෙනි. ඒ සන්දිට්ඨියෙන් හෙවත් ප්‍රශස්ත දැක්මෙන් යුතුව කෙලෙසුන් ජයගන්නා හෙයින් ධර්මය ‘සන්දිට්ඨික’ නම් වේ. එහි ලා නව වැදෑරුම් ලෝකෝත්තර ධර්මයන් අතරින් ආර්යමාර්ගය තෙමේ තමා හා සම්ප්‍රයුක්ත වූ සන්දිට්ඨියෙන් කෙලෙසුන් දිනන හෙයින් ‘සන්දිට්ඨික’ නම් වේ. ආර්යඵලය තෙමේ තමා හට කාරණය වූ එම සන්දිට්ඨියෙන් කෙලෙසුන් දිනන හෙයින් ‘සන්දිට්ඨික’ නම් වේ. නිර්වාණය තෙමේ අරමුණු කිරීම් වශයෙන් තමා විෂය කොට ඇති එම සන්දිට්ඨියෙන් කෙලෙසුන් දිනන හෙයින් ‘සන්දිට්ඨික’ නම් වේ. ‘රථෙන ජයති’ (රථයෙන් ජය ගනී) යන අර්ථයෙහි ‘රථිකො’ යැයි කියන්නා සේ නව වැදෑරුම් ලෝකෝත්තර ධර්මය තෙමේ සන්දිට්ඨියෙන් හෙවත් ප්‍රශස්ත දැක්මෙන් කෙලෙසුන් දිනන අර්ථයෙන් ‘සන්දිට්ඨික’ නම් වේ.

වෙනත් ලෙසකින් කිවහොත් ‘දිට්ඨ’ යනු දර්ශනය යි. ඒ දර්ශනය ම ‘සන්දිට්ඨ’ නම් වේ. මෙහි ලා ‘සං’ යන උපසර්ගයේ විශේෂ අර්ථයක් නොමැතිව ඒ අර්ථය ම ගෙන දේ. එනම් දර්ශනය යන්න ම වේ. ඒ අනුව ‘සන්දිට්ඨ’ යන්නෙහි අර්ථය ‘සන්දර්ශනය’ යන්න යි. ‘සන්දිට්ඨං අරහතීති සන්දිට්ඨිකො’ (සන්දර්ශනයට සුදුසුය නුයි සන්දිට්ඨික ය) යනුවෙන් විග්‍රහ කරන ආකාරයට සන්දර්ශනයට හෙවත් දර්ශනයට සුදුසුය යන අර්ථයෙන් ධර්මය තෙමේ ‘සන්දිට්ඨික’ නම් වේ. නවවිධ ලෝකෝත්තර ධර්මයන් අතරින් ආර්යමාර්ග ධර්මය භාවනා වශයෙන් ද ප්‍රතිවේධ වශයෙන් ද දර්ශනය කරයි. නිවන දකියි. එසේ දකිමින් ම සංසාර දුක කෙළවර කරයි. එහෙයින් සන්දර්ශනයට සුදුසුය යන අර්ථයෙන් මාර්ග ධර්මය තෙමේ ‘සන්දිට්ඨික’ නම් වේ. එසේ ම නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ද ප්‍රතිවේධ වශයෙන් ද දර්ශනය කරයි. එසේ දර්ශනයෙන් සංසාර දුක්ඛය කෙළවර කරයි. එහෙයින් නිර්වාණ ධර්මය ද සන්දර්ශනයට සුදුසු යන අර්ථයෙන් ‘සන්දිට්ඨික’ නම් වේ.

ආර්යඵල ධර්මය ඍජුව කිසිවක් දර්ශනය නො කරයි. එහෙත් සකෘදාගාමි ආදි මතු මාර්ගඵලයන් පිළිබඳ විපස්සනාදීන්ට ප්‍රත්‍යය වේ. එයින් මතු මාර්ග ප්‍රතිවේධයට උපනිශ්‍රය වේ. එසේ මතු මාර්ගඵලයන්ට උපනිශ්‍රය භාවයෙන් පර්යාය වශයෙන් සංසාර දුක්ඛය වළක්වයි. ඒ නිසාවෙන් ද සන්දර්ශනයට සුදුසු යන අර්ථයෙන් ‘සන්දිට්ඨික’ නම් වේ. ‘වත්‍ථං අරහතීති වත්‍ථිකො’ (වස්ත්‍රයට සුදුසු නුයි වත්‍ථික නම් වේ) යැයි කියන්නාක් මෙන් ‘සන්දිට්ඨං අරහතීති සන්දිට්ඨිකො’ යැයි සන්දර්ශනයට සුදුසු හෙයින් ලෝකෝත්තර ධර්මය තෙමේ ‘සන්දිට්ඨික’ නම් වේ.

මෙසේ තථාගතයන් වහන්සේගේ ධර්මය එය අනුව පිළිපදින්නාට ප්‍රත්‍යක්‍ෂයෙන් ම දත හැකි වේ. අන් අයෙකු පිළිබඳ ශ්‍රද්ධාවෙන් ඇදහීමක් හෝ අන් අයකුගෙන් අසා දැන ගැනීමක් හෝ නොමැතිව තමන්ට ම නුවණින් ප්‍රත්‍යක්‍ෂ කර ගත හැකි වේ. එය ද නිසි අයුරින් පිළිපදින්නාට මේ භවයේ දී ම ප්‍රත්‍යක්‍ෂ කර ගත හැකි වේ.
එබැවින් “තථාගතයන් වහන්සේගේ ධර්මය එය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයන් වර්තමාන භවයේ දී ම තමන් විසින් ම ප්‍රත්‍යක්‍ෂ කරන ගුණවලින් යුක්ත වන හෙයින් ‘සන්දිට්ඨික’ නම් වන්නේ ය.” යැයි ධර්මයේ ගුණ මෙනෙහි කරමින් ධම්මානුස්සති භාවනාව වැඩිය යුතු වේ.

අනුරාධපුර, කටුකැලියාව, සද්ධාතිස්සාරාම මහාවිහාරවාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි