ධම්මානුස්සති භාවනාව වඩන තැනැත්තා ධර්ම රත්නයේ ගුණ එකක් එකක් පාසා නුවණින් මෙනෙහි කරමින් භාවනාව වැඩිය යුතු වේ. ඒ සඳහා පළමුව ධර්මයේ ස්වාක්‍ඛාතාදි ගුණ පිළිබඳ දැනුම අවබෝධය ලබා ගත යුතු වේ. ඒ සඳහා උපකාර වනු පිණිස ධර්මයේ දෙවැනි ගුණය වන ‘සන්දිට්ඨික’ ගුණය පිළිබඳ තවදුරටත් මෙම ලිපියෙන් විස්තර කෙරේ.

‘සන්දිට්ඨික’ යන වචනයේ අර්ථය සහ ධර්ම රත්නය ‘සන්දිට්ඨික’ වන ආකාරය පිළිබඳ පැහැදිලි කරන ලදී. ඒ අනුව ‘සන්දිට්ඨික’ යන්නෙන් අදහස් වන්නේ ‘අනුන්ගෙන් අසා හෝ එබඳු දෙයක් ඇත යන අනුමානයෙන් හෝ සිතා ගන්නා දෙයක් නොව තමන් විසින් ම ප්‍රත්‍යක්‍ෂ කර ගත හැකි ධර්මයක්’ බව යි. විශේෂයෙන් ලෝකෝත්තර ධර්මය ‘සන්දිට්ඨික’ ගුණයෙන් යුක්ත වන අතර පර්යාප්ති ධර්මය ද අවිශේෂයෙන් ‘සන්දිට්ඨික’ ගුණයෙන් යුක්ත වේ.

ලෝකයේ මිනිසුන් විසින් විශ්වාස කරනු ලබන සෙසු බොහෝ දේ අන් කෙනෙකුගෙන් අසා දැන ගැනීමෙන්, ඒ පුද්ගලයා කෙරෙහි ශ්‍රද්ධාවෙන් විශ්වාස කිරීමෙන් පමණක් දත හැකි දේ ය. එහෙත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලබන සතර මාර්ග, සතර ඵල, නිර්වාණය තමන් තුළ උපදවාගෙන තමන්ට ම ප්‍රත්‍යක්‍ෂ කර ගත හැකි ය. අජාසත් රජතුමා බුදුරජාණන් වහන්සේ වෙත එළඹ බුද්ධ ශාසනයේ කිසියම් ‘සාන්දෘෂ්ටික ශ්‍රමණ ඵලයක්’ ඇත්දැ යි විමසා සිටි අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ විසින් බුදුසසුනේ ඇති ලෞකික වූත් ලෝකෝත්තර වූත් සාන්දෘෂ්ටික ශ්‍රමණ ඵල දීර්ඝ ලෙස පැහැදිලි කර දෙන ලදී. අජාසත් රජු පවසා සිටියේ සෙසු පූරණකස්සප ආදි ෂඞ් ශාස්තෘවරුන්ගෙන් සාන්දෘෂ්ටික ශ්‍රමණ ඵල පිළිබඳ විමසූ විට ඔවුන්ට නිසි පිළිතුරක් දිය නො හැකිව නොයෙක් නොයෙක් දේ පැවසූ බව යි. තථාගතයන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ ඒ සාන්දෘෂ්ටික ශ්‍රමණ ඵල ඇති බව පිළිවෙළින් රජුට පැහැදිළි කර දීමෙන් අජාසත් රජු බුදු සසුන කෙරෙහි අතිශයින් පැහැදුණු ආකාරය දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්‍රයෙන් දත හැකි වේ.

ලෝකෝත්තර ධර්මය තමන් ම ප්‍රත්‍යක්‍ෂ කර ගත යුතු වේ. අන් අයෙක් ප්‍රත්‍යක්‍ෂ කළ දෙයින් තමන්ට ප්‍රයෝජනයක් නො ලැබිය හැකි වේ. එහෙයින් බුදුරජාණන් වහන්සේ වදාළේ තමන් වහන්සේ ශාස්තෘන් වහන්සේ ලෙස කළ යුතු දේ කළ බවත් ශ්‍රාවකයන් විසින් නොපමාව ධ්‍යාන භාවනා වැඩිය යුතු බවත් ය.
විශේෂයෙන් ‘සන්දිට්ඨික’ ගුණය ලෝකෝත්තර ධර්මය සඳහා අදාළ වුව ද පර්යාප්ති ධර්මයේ ද ‘සන්දිට්ඨික’ ගුණය ඇත්තේය. ධර්ම ශ්‍රවණය කරන, ධර්මය සජ්ඣායනය කරන, ධර්මය සිහි කරන අයට ලෞකික වශයෙන් රෝග, දුර්භික්‍ෂාදි බිය දුරුවීම ද ආයුෂ, ආරෝග්‍යාදි සම්පත් උදාපත් වීම ද ලෝකෝත්තර වශයෙන් නිවන් පසක් වීම ද පර්යාප්ති ධර්මයේ ‘සන්දිට්ඨික’ ගුණය යි. විශාලා මහනුවර රෝග, අමනුෂ්‍ය, දුර්භික්‍ෂ යන තුන් බියක් ඇති වූ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා සමඟ වැඩම කර රතනසූත්‍ර දේශනාව සිදු කිරීමෙන් ඒ තුන් බිය දුරු විය. ඒ රතනසූත්‍ර දේශනාවේ බලය කෝටි ලක්‍ෂයක් සක්වල අදටත් පවතින බව ධර්මයේ සඳහන් වේ. එහෙයින් වර්තමානයේ පවා රතනසූත්‍ර දේශනාවෙන් නිදුක් නිරෝගී බවට පැමිණෙන බොහෝ සත්ත්වයන් ඇත. තව ද කරණීයමෙත්ත සූත්‍ර නිදානයෙහි සඳහන් වන අන්දමට පන්සියයක් භික්‍ෂූන් වහන්සේලාට අමනුෂ්‍ය බියෙන් තොර ව සුවසේ ශ්‍රමණ ධර්මයන් පුරුදු කිරීමට හැකි වූයේ ඒ කරණීයමෙත්ත සූත්‍රය සජ්ඣායනය කිරීමෙනි. ඒ තථාගත දේශනාවේ ඇති ‘සන්දිට්ඨික’ ගුණය නිසාවෙනි.

එසේ ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමේ මාත්‍රයෙන් නිවන් පසක් කර ගත් පුද්ගලයන්ගේ ගණන අප්‍රමාණය. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවසානයේ අටළොස් කෝටියක් බ්‍රහ්මයන් නිවන් දුටු බව පැවසේ. මහාසමය සූත්‍ර දේශනාවසානයේ කෝටි ලක්‍ෂයක් දෙවිවරු අර්හත්වයට පත් වූ අතර සෝතාපන්නාදි ගණන මෙපමණක් යැයි කිව නො හැකිය. මහාසතිපට්ඨාන සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් භික්‍ෂූහු තිස් දහසක් අර්හත්වයට පත් වූ බව පැවසේ. චක්කවත්ති සීහනාද සූත්‍රාවසානයේ භික්‍ෂූහු විසි දහසක් දෙනා අර්හත්වයට පත් වූ අතර සුවාසූ දහසක් දෙනා නිවන් අවබෝධ කළහ. මෙසේ හැකි වූයේ තථාගතයන් වහන්සේගේ දේශනයේ ඇති ‘සන්දිට්ඨික’ ගුණය නිසාවෙනි.

එපමණක් ද නොව බුදුරජාණන් වහන්සේ විමුක්තායතන සූත්‍රයේ දේශනා කළ ආකාරයට ධර්ම ශ්‍රවණය පමණක් නොව ධර්ම දේශනය, ධර්ම සජ්ඣායනය සහ ධර්ම මනසිකාරය ද නිවනට හේතු වේ. මිලින්ද ප්‍රශ්නයේ සඳහන් වන අන්දමට නාගසේන මහරහතන් වහන්සේ සෝතාපන්න බවට පත් වූයේ එක්තරා උපාසිකාවකට අභිධර්ම දේශනයක් සිදු කරමින් සිටින අතරතුර වේ. මලියදේව මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා දෙනමක් ද්වත්තිංසාකාරය සජ්ඣායනය කරමින් සිටින අතරතුර නිවන් අවබෝධ කළ බව විභංග අටුවාවේ සඳහන් වේ. මහගතිම්බයතිස්සදත්ත තෙරුන් වහන්සේ මහබෝධිය වඳින්නෙමි යි දඹදිව බලා වඩින අතරමඟ දී මහසයුරේ පර තෙරක් නොපෙනෙන බව දැක භාග්‍යවතුන් වහන්සේ වදාළ සමන්තපට්ඨාන මහාප්‍රකරණයෙහි අනන්ත නය ඇති බව මෙනෙහි කිරීමෙන් උතුම් අර්හත්වයට පත් වූහ. එසේ ම මිලින්ද ප්‍රශ්නයෙහි දැක්වෙන අන්දමට නාගසේන මහරහතන් වහන්සේ අර්හත්වයට පත් වූයේ ත්‍රිපිටක ධර්මය අර්ථ වශයෙන් මෙනෙහි කිරීමෙනි. මෙසේ තථාගතයන් වහන්සේ දෙසූ ධර්මය ශ්‍රවණය කිරීමෙන් ද දේශනා කිරීමෙන් ද සජ්ඣායනය කිරීමෙන් ද මෙනෙහි කිරීමෙන් ද නිවන් සාක්‍ෂාත් කර ගත හැකි වන්නේ ඒ තථාගත දේශනයේ ඇති ‘සන්දිට්ඨික’ ගුණය නිසාවෙනි.

වරෙක සීහ නම් සෙනවියා බුදුරජාණන් වහන්සේ වෙත එළඹ සාන්දෘෂ්ටික දාන ඵලයක් දැක්විය හැකි දැයි විමසා සිටි අතර බුදුරජාණන් වහන්සේ දන්දීම නමැති ප්‍රතිපත්ති ධර්මය පූරණය කිරීමෙන් බොහෝ දෙනාට ප්‍රිය වීම, සත්පුරුෂයන් ඇසුරු කිරීමට ලැබීම, කල්‍යාණ වූ කීර්ති ශබ්දය පැන නැගීම, විශාරදව හෙවත් නිර්භයව පිරිස් වෙත එළඹීම යන සාන්දෘෂ්ටික දාන ඵලයන් ලැබෙන බව වදාළ සේක. ඒ සතර වැදෑරුම් සාන්දෘෂ්ටික ඵලයන් ශීලය ආරක්‍ෂා කිරීමෙන් ද ලැබෙන බව පැවසිය හැකි වේ. එබැවින් තථාගතයන් වහන්සේ වදාළ ප්‍රතිපත්ති ධර්මය ද ‘සන්දිට්ඨික’ ගුණයෙන් යුක්ත වේ.

මෙසේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සතර මාර්ග, සතර ඵල නිර්වාණය යන ලෝකෝත්තර ධර්මය එය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයන්ට මෙලොව දීම තමන් විසින් ම ප්‍රත්‍යක්‍ෂ කරන ගුණවලින් යුක්ත වන හෙයින් ‘සන්දිට්ඨික’ ගුණයෙන් යුක්ත වේ. එසේ ම තථාගත දේශිත පර්යාප්ති ධර්මය ද එසේ ම ශීලාදි ප්‍රතිපත්ති ධර්මය ද එය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයන්ට මෙලොව දීම තමන් විසින් ම ප්‍රත්‍යක්‍ෂ කරන ගුණවලින් යුක්ත වන හෙයින් ‘සන්දිට්ඨික’ ගුණයෙන් යුක්ත වේ.

මෙසේ ධර්ම රත්නයේ ‘සන්දිට්ඨික’ ගුණය මෙනෙහි කරමින් ධම්මානුස්සති භාවනාව වැඩිය යුතු වේ.

අනුරාධපුර, කටුකැලියාව, සද්ධාතිස්සාරාම මහාවිහාරවාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි