ධම්මානුස්සති භාවනාව වඩන තැනැත්තා ධර්ම රත්නයේ ගුණ එකක් එකක් පාසා නුවණින් මෙනෙහි කරමින් භාවනාව වැඩිය යුතු වේ. ඒ සඳහා පළමුව ධර්මයේ ස්වාක්‍ඛාතාදි ගුණ පිළිබඳ දැනුම අවබෝධය ලබා ගත යුතු වේ. ඒ සඳහා උපකාර වනු පිණිස ධර්මයේ තෙවැනි ගුණය වන ‘අකාලික’ ගුණය පිළිබඳ මෙම ලිපියෙන් විස්තර කෙරේ.

ධර්මය තෙමේ එය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයන්ට වර්ෂ ගණන් මාස ගණන් ගත වීමෙන් නො ව එදිනෙදා ම ලැබිය හැකි ගුණවලින් යුක්ත වන හෙයින් ‘අකාලික’ නම් වන්නේය.

කිසියම් ධර්මයක් පිළිපැදීමෙන් දින ගණනක්, මාස ගණනක්, වර්ෂ ගණනක් ඉක්මවීමෙන් පසු හෝ නැතහොත් අනාගත භවවල දී හෝ ප්‍රතිඵලයක් අපේක්‍ෂා කළ යුතු නම්, එසේ ප්‍රතිඵලය ලබා දීමට අනාගත කාලයක් ඇති ධර්ම ‘කාලික’ ලෙස හැඳින්වේ. ලෞකික ලෝකයේ ඇති සියලු ධර්මයෝ මෙසේ ‘කාලික’ ධර්ම වෙති. කිසියම් ගොවිතැනක් කිරීම හෝ රැකියාවක් කිරීම හෝ අධ්‍යාපනයක් ලැබීම හෝ එබඳු ඕනෑම කටයුත්තකින් ප්‍රතිඵලයක් ලැබෙන්නේ අනාගතයේ ය. එබැවින් ඒ සියල්ල ‘කාලික’ වෙති. එසේ දින, සති, මාස, වර්ෂ ගණන් ඉක්මවීමකින් තොරව යම් ධර්මයක ඵලය ඒ පිළිපදින මොහොතේ ම ලැබේ නම්, එබඳු ධර්ම ‘අකාලික’ නම් වෙති.

‘අකාලික’ පදය විග්‍රහ කරන්නේ ‘අත්තනො ඵලදානං සන්‍ධාය නාස්ස කාලොති අකාලො. අකාලොයෙව අකාලිකො’ යනුවෙනි. එනම් ‘තමාගේ ඵලදානය සඳහා බැලිය යුතු කාලයක් නැති බැවින් අකාල නම් වේ. ඒ අකාල යන්න ම අකාලික’ නම් වේ. නැතහොත් ‘අත්තනො ඵලප්පදානෙ පකට්ඨො කාලො පත්තො අස්සාති කාලිකො. න කාලිකොති අකාලිකො’ යන විග්‍රහය අනුව ‘තමාගේ ඵලදානයෙහි දූර වූ කාලය පැමිණියේ කාලික නම් වේ. කාලික නොවන බැවින් අකාලික නම් වේ’ යනුයි. ඒ අනුව ලෞකික කුශල ධර්මයන් කාලික ලෙස හැඳින්වෙන අතර ලෝකෝත්තර මාර්ගය ‘අකාලික’ නම් වේ.

මෙහි දී වර්තමානයේ ‘අකාලික’ පදය වරදවා ‘කාලීන’ යන්නට විරුද්ධ අර්ථයෙන් ව්‍යවහාර වන බව දැකිය හැකි වේ. කාලීන යනු ඒ ඒ කාලයට උචිත බවයි. අකාලික යන්නෙන් ඊට විරුද්ධ අර්ථයක් අදහස් නො වේ. ඇතැම් කෙනෙක් බුද්ධ ධර්මය ‘අකාලික’ බැවින් එක් කාලයකට පමණක් නොව සෑම කාලයට ම ගැළපෙන බව පවසන්නේ මෙම අනවබෝධය නිසාවෙනි. බුදුදහම සෑම කාලයට ම ගැළපෙන ධර්මයක් බව සත්‍යයකි. එහි කාල සීමාවකින් තොරව ප්‍රතිඵල අත්විඳිය හැකි ගුණයක් ඇත. එය ‘සන්දිට්ඨික’ ආදි සෙසු ගුණවලින් පැවසේ. ‘අකාලික’ යන්නෙන් අදහස් වන්නේ එබඳු අර්ථයක් නොව තමාගේ පැවැත්මට අනතුරුව ම කල්ගත නො වී ප්‍රතිඵල ලැබෙන බවයි.

පුහුදුන් අඥාන මිනිසුන් කල්පනා කරන්නේ වර්තමානයේ හොඳින් කා, බී විනෝද වී සිටීම යහපත් බවයි. බුදු සසුනේ ශීලාදි ගුණ ධර්ම පිරීම ඔවුන් දකින්නේ නොපෙනෙන නිවනක් වෙනුවෙන් දුක් විඳීමක් ලෙස ය. එසේ කල්පනා කරනු ලබන්නේ ධර්ම රත්නයේ ඇති අකාලික ගුණය අවබෝධ කර නො ගත් නිසාවෙනි. තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මය අකාලික ය. බොහෝ කල් බලාපොරොත්තු වී අනාගතයේ ඵල ලැබීමට නොව පිළිපදින මොහොතේ ම ප්‍රතිඵල ලැබීමට හැකි ධර්මයක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී.

විශේෂයෙන් තථාගතයන් වහන්සේ විසින් දේශිත ලෝකෝත්තර ධර්මය ම ‘අකාලික’ වේ. එහි ලා ද සෝතාපන්න මාර්ගය, සකදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය යන ලොකෝත්තර මාර්ග සතර ම ‘අකාලික’ වේ. යම් පුද්ගලයෙක් ලෝකෝත්තර මාර්ග සිතක් උපදවන ලද්දේ නම් එය නිරුද්ධ වනවාත් සමඟ ම අතර කිසිදු කාලයක් නොමැතිව ඵල චිත්තය පහළ වේ. උදාහරණයක් ලෙස සෝතාපන්න මාර්ග සිත උපදවන තැනැත්තා ඊළඟ චිත්තක්‍ෂණයේ සෝතාපන්න ඵල සිත උපදවයි. අනාදිමත් සංසාරය පුරාවට චිත්ත සන්තානයෙහි පැවති සක්කායදිට්ඨි, විචිකිච්චා, සීලබ්බතපරාමාස යන සංයෝජන ධර්ම තුන සහමුලින් ම දුරු කොට ලාමක පෘථග්ජන භාවයෙන් මිදී ආර්ය පුද්ගලයෙක් බවට පත් වේ. තව දුරටත් ඔහුගේ සන්තානයේ දිට්ඨි, විචිකිච්චා යන අකුශල චෛතසිකයන් ඇති නොවන අතර අපායෝත්පත්තියට හේතුවන අකුශල ධර්මයන් ද ඔහු වෙතින් නැවත සිදු නො වේ. අතීතයේ කරන ලද අකුශල කර්මයන්ගේ ද කිසියම් අපායගාමී ශක්තියක් වේ නම් ඒවා ද දුරු වේ. එසේ ම සත්වන ආත්මභාවයෙන් මත්තෙහි විඳින්නට තිබූ සියලු සංසාර දුක්ඛය ද සහමුලින් ම දුරු වේ. මේ සියලු ඵලයන් සෝතාපන්න මාර්ග සිත ඇති වූ කෙණෙහි ම ඇති වන හෙයින් කල් ගත වීමකින් තොරව ප්‍රතිඵල ගෙන දේ. එහෙයින් සෙසු ලෞකික ධර්මයන් මෙන් දින, සති, මස ගණන් ඉක්මවා ඵල දීමක් මෙහි නොමැතිව තමාගේ පැවතීමට අනතුරුව ම ඵලය ලබා දෙන බැවින් ලෝකෝත්තර මාර්ග ධර්මය ‘අකාලික’ නම් වේ. සෙසු සකදාගාමි මාර්ගාදිය ද මෙසේ ම සැලකිය යුතු වේ.
සෝතාපන්න ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අර්හත් ඵලය යන සතර ඵලයන් යනු සතර මාර්ගයන්ගේ ඵලයෝ ය. නිර්වාණය ධර්මය කිසිදු හේතුවකින් හට නො ගන්නා නමුදු ආර්ය මාර්ගයෙන් ම ප්‍රත්‍යක්‍ෂ කළ යුතු වේ. එහෙයින් ඒ කිසිවක නැවත ඵලදානයක් නො සිදු වේ. ඒ නිසා ම ඉහත අර්ථයෙන් ‘අකාලික’ යැයි පැවසීමට ද නො හැකි වේ. එහෙත් කල් ගත නො වී ලබන ඵලයක් යන අර්ථයෙන් ‘අකාලික’ යැයි පැවසිය හැකි වේ. කල් ගත වී ලබන ඵලය ‘කාලික’ ලෙස හැඳින්විය හැකි ය. එහෙයින් කල් ගත නො වී ලබන ඵලය ද ‘අකාලික’ යැයි පැවසිය හැකි වේ. මෙසේ සැලකීමේ දී නව ලෝකෝත්තර ධර්මය ම කල් ගත නො වී ඵල ලබා දෙන අර්ථයෙන් ද කල් ගත නො වී ලැබෙන ඵලයක් ය යන අර්ථයෙන් ද යනුවෙන් අර්ථ දෙකක් සලකාගෙන ‘අකාලික’ ලෙස හැඳින්විය හැකි වේ. සෙසු ලෞකික කුශල ධර්මයන්ගේ ද එක්තරා ආකාරයකට ‘අකාලික’ ගුණය පවතී.

මේ අනුව ධම්මානුස්සති භාවනාව වඩන තැනැත්තා ධර්ම රත්නය අකාලික වන බව නුවණින් මෙනෙහි කළ යුතු වේ. අප ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ විසින් ඒ ඒ මොහොතේ දී ම ප්‍රතිඵල ලැබෙන ‘අකාලික’ ධර්මයක් අප වෙනුවෙන් දේශනා කළ බව සිතා ධර්ම ගෞරවය ඇති කර ගත යුතු වේ. නොපෙනෙන දෙවි කෙනෙක් අභියස කරනු ලබන ප්‍රාර්ථනාවලින් තොරව ඒ ඒ මොහොතේ ම ප්‍රතිඵලය අත්විඳිය හැකි ‘අකාලික’ ධර්මයක් දේශනා කළ බව මෙනෙහි කළ යුතු වේ.

අනුරාධපුර, කටුකැලියාව, සද්ධාතිස්සාරාම මහාවිහාරවාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි