ධම්මානුස්සති භාවනාව වඩන තැනැත්තා ධර්ම රත්නයේ ගුණ එකක් එකක් පාසා නුවණින් මෙනෙහි කරමින් භාවනාව වැඩිය යුතු වේ. ඒ සඳහා පළමුව ධර්මයේ ස්වාක්‍ඛාතාදි ගුණ පිළිබඳ දැනුම අවබෝධය ලබා ගත යුතු වේ. ඒ සඳහා උපකාර වනු පිණිස ධර්මයේ තෙවැනි ගුණය වන ‘අකාලික’ ගුණය පිළිබඳ තවදුරටත් මෙම ලිපියෙන් විස්තර කෙරේ.

සෝවාන් මාර්ගය ආදි ලෝකෝත්තර ධර්මයන්ගේ ම විශේෂයෙන් ‘අකාලික’ ගුණය ඇති නමුදු ලෞකික කුශල ධර්මයන්ගේ ද එක්තරා ආකාරයකට ‘අකාලික’ ඵලයන් දැකිය හැකිය. බුදුසසුනෙන් බැහැරව නොයෙක් මැවුම්කාර දෙවිවරුන් ආදීන් කෙරෙහි විශ්වාසය තබා සිටින, ඔවුන්ට පුද පූජා කරමින් යාඥා කරන අය බලාපොරොත්තු වන්නේ ඒ මැවුම්කාර දෙවියන් වෙතින් තමන්ට යහපත උදාපත් කර ගැනීමයි. තමන් බලාපොරොත්තු වන යහපත උදෙසා ඒ දෙවිවරුන්ට ගරු බුහුමන් දැක්වීම්, පුද පූජා පැවැත්වීම්, ඔවුන් වෙනුවෙන් බලි තොවිල් කිරීම්, ඔවුන්ගේ ගුණ ගායනා කිරීම් ආදි නොයෙක් දේ කිරීමෙන් ලබන දෙය කල් ගත වීමෙන් ලබන ඵලයක් වේ. ඇතැම් විට මරණින් මතු සුගතිගාමී වීම හෝ එවන් කල්ගත වී ලබන ඵලයක් වේ. එහෙත් තථාගතයන් වහන්සේ දේශනා කළ ශාසන ප්‍රතිපත්ති පූරණය එසේ කල් ගත වීමෙන් ඵල ලබන ධර්මයක් නො වේ.

කම් සැප අතහැර ගිහි ගෙයින් නික්ම පැවිදි වීම නමැති ශාසන ප්‍රතිපත්ති ධර්මයේ ද ‘අකාලික’ ඵල ඇත්තේය. ගිහි ගෙයි සිට කම් සැප විඳිමින් සිටීම යනු පුහුදුන් සත්ත්වයාට සැපක් සේ දැනුන ද අති විශාල දුක්ඛස්කන්‍ධයකි. ජීවත් වීම උදෙසා රැකී රක්‍ෂා කිරීමට, කුලී වැඩ කිරීමට, ව්‍යාපාර කටයුතු සඳහා වෙහෙසීමට, ඇතැම් විට රාත්‍රී නිදිවරා වැඩ කටයුතු කිරීමට ද සිදු වේ. අඹු දරුවන් පෝෂණය උදෙසා නොයෙක් ලෙස වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු වේ. ඔවුන්ගේ සෑහීමකට පත් නොවන ඕනෑ එපාකම් සොයා බලමින් ඒවා තෘප්තිමත් කිරීම උදෙසා වෙහෙසිය යුතු වේ. ව්‍යාපාර කටයුතු, රැකී රක්‍ෂා කටයුතු ආදියේ දී සිදු වන නොයෙක් අර්බුධ පිළිබඳව මනස වෙහෙසා කල්පනා කළ යුතු වේ. ඇතැම් විට රැකී රක්‍ෂා කරන ස්ථානවල උසස් නිළධරයන්ගෙන් fදාස් අසන්නට ද සිදු වේ. කුලී වැඩ කරන, දාසකම් කරන අයට ස්වාමීන්ගේ නොයෙක් පීඩාවලට මුහුණ දීමට සිදු වේ. මේ කවර කෙනෙකුට නමුදු බුදුසසුනේ උතුම් ප්‍රව්‍රජ්‍යාව ලබා ගැනීමෙන් මේ සියලු දුක් පීඩාවලින් අත මිදිය හැකි වේ. ඒ සුවය ලැබෙන්නේ කල් ගත වීමෙන් නොව පැවිදි වූ කෙණෙහි ම වේ.

අජාසත් රජතුමා බුදුරජාණන් වහන්සේ හමු වී මේ ශාසනයේ සාන්දෘෂ්ටික ශ්‍රමණඵල ඇත්දැයි විමසූ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ රජුගෙන් අසා සිටියේ තමන්ගේ වැඩපල කරන දාස කම්කරුවෙක් සම්බුද්ධ ශාසනයේ පැවිදි වූයේ නම් ඒ භික්‍ෂුව කෙරෙහි කෙසේ පිළිපදින්නේ ද යනුවෙනි. එසේ පැවිදි වූ පසු ද ඒ භික්‍ෂුව තමන්ට දාසකම් කරන්නේ යැයි බලාපොරොත්තු වන්නේ ද යනුවෙනි. අජාසත් රජ පවසා සිටියේ එසේ පැවිදි වූ තැනැත්තා නැවත දාසකම් කරන බවක් අපේක්‍ෂා නොකරන අතර තමන් ඒ භික්‍ෂුවට ගරු බුහුමන් දක්වමින් සිව්පසයෙන් උපස්ථාන කරන බවයි. එය මේ සසුනේ සාන්දෘෂ්ටික ශ්‍රමණ ඵලයක් ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ අතර එහි ‘සන්දිට්ඨික’ ගුණය සේ ම ‘අකාලික’ ගුණය ද ඇත. එනම් පැවිදි වූ තැනැත්තාට ගරු බුහුමන් දක්වමින් සිව්පසයෙන් උවටැන් කිරීම සිදු වන්නේ කලක් ගත වීමෙන් පසුව නො වේ. පැවිදි වූ කෙණෙහි ම ඒ ඵලය අත් විඳිය හැකි වේ. එබැවින් ලෞකික ශාසන ධර්මයන්ගේ ද එක්තරා ආකාරයකට ‘අකාලික’ ගුණය ඇති බව පැහැදිලි වේ.

බුදුසසුනේ ඇතැම් කුශල ධර්මයන්ගේ ඵලය මරණින් මතු විපාක ගෙන දේ. බුදුරජාණන් වහන්සේ එබඳු කුශල ධර්මයන් බැහැර කළේ ද නො වේ. මරණින් මතු සැප විපාක ගෙන දීමට සමත් දානාදි කුශලධර්මයන්ගේ ද ආනිශංසය බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එම ධර්මයෝ ‘කාලික’ ධර්ම වෙති. එහෙත් බුදුසසුනේ ගුණධර්ම පිරීම කාලික සැපයක් උදෙසා නොවිය යුතු බව බුදුරජාණන් වහන්සේගේ අවවාදය යි. ඇතැම් පුද්ගලයන් වරදවා වටහාගෙන සිටින්නේ බුදුසසුනේ ගුණ ධර්ම පිරීම කල් ගත වී ලබන සැපයක් වෙනුවෙන් කරන දෙයක් ලෙසයි.

බුදුරජාණන් වහන්සේ රජගහනුවර තපෝදාරාමයේ වැඩ වෙසෙන සමයෙක ආයුෂ්මත් සමිද්ධි තෙරුන් වහන්සේ වෙත එළඹි එක්තරා දෙව්දුවක් උන්වහන්සේට කාලික සැපයක් වෙනුවෙන් සන්දිට්ඨික කම් සැප අතහැර නොදමන ලෙස අවවාද කළාය.

“භික්‍ෂුව, පැවිදි වූ නුඹ මනා කලු කෙස් ඇත්තේ ය. සොඳුරු යොවුන් වියෙන් පළමු වයසින් යුක්තය. කාම ක්‍රීඩා නොකළ සුලු වූයේ ය. භික්‍ෂුව, මිනිස් ලොව කම්සැප අනුභව කරනු මැන. මෙලොව ‘සන්දිට්ඨික’ වූ කම් සැප අතහැර පරලොව කලකින් ලැබෙන ‘කාලික’ වූ සැප ලුහුබැඳීම නො කරව.” යනුවෙන් අවවාද කළා ය.

එකල්හි සමිද්ධි තෙරුන් වහන්සේ වදාළේ:
“න ඛ්වාහං, ආවුසො, සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවාමි. කාලිකඤ්ච ඛ්වාහං, ආවුසො, හිත්වා සන්දිට්ඨිකං අනුධාවාමි. කාලිකා හි, ආවුසො, කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා ආදීනවො එත්ථ භිය්‍යො. සන්දිට්ඨිකො අයං ධම්මො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති.

“ඇවැත්නි, මම මෙලොව සැප හැරපියා කලකින් ලැබෙන සැප නොම ලුහුබඳිමි. කලකින් ලැබෙන සැප හැරපියා මෙලොව සැප ලුහුබඳිමි. ඇවැත්නි, කාමයෝ කාලික බවත්, බොහෝ දුක් ඇති බවත්, බොහෝ වෙහෙස ඇති බවත්, බොහෝ ආදීනව ඇති බවත් භාග්‍යවතුන් වහන්සේ වදාළහ. එසේ ම මේ ධර්මය තමන් විසින් ම දැකිය හැකි (සන්දිට්ඨිකො), කල් නොයවා විපාක දෙන (අකාලිකො), එව බලව යැයි කීමට සුදුසු (එහිපස්සිකො), තම සිත්හි එළවා තැබීමට සුදුසු (ඕපනයිකො), නුවණැත්තන් විසින් තමා කෙරෙහි ලා දත යුතු (පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි) බවත් වදාළහ.” යනුවෙනි.

මෙම කීම භාග්‍යවතුන් වහන්සේ විසින් පිළිගත් බැවින් බුද්ධ දේශනයක් බවට පත් වේ. ඒ අනුව තථාගතයන් වහන්සේගේ ශාසනයෙහි ශ්‍රමණ ධර්ම පිරීම හෙවත් ප්‍රතිපත්තිය ද ‘අකාලික’ ගුණයෙන් යුක්තය.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ලෝකෝත්තර ධර්මය මෙන් ම ලෞකික කුශල ධර්මයන් ද ශාසන ප්‍රතිපත්ති ධර්මයන් ද එය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයන්ට වර්ෂ ගණන් මාස ගණන් ගත වීමෙන් නො ව එදිනෙදා ම ලැබිය හැකි ගුණවලින් යුක්ත වන හෙයින් ‘අකාලික’ නම් වන්නේය යැයි ධර්ම රත්නයේ ගුණ මෙනෙහි කරමින් ධම්මානුස්සති භාවනාව වැඩිය යුතු වේ.

අනුරාධපුර, කටුකැලියාව, සද්ධාතිස්සාරාම මහාවිහාරවාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි