ධම්මානුස්සති භාවනාව වඩන තැනැත්තා ධර්ම රත්නයේ ගුණ එකක් එකක් පාසා නුවණින් මෙනෙහි කරමින් භාවනා කළ යුතු වේ. ඒ සඳහා පළමුව ධර්මයේ ස්වාක්‍ඛාතාදි ගුණ පිළිබඳ දැනුමක් අවබෝධයක් තිබිය යුතු බැවින් ධර්මයේ සතරවැනි ගුණය වන ‘ඔපනයික’ ගුණය පිළිබඳ මෙම ලිපියෙන් විස්තර කෙරේ.

තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය තෙමේ අන් සෑම කටයුත්තක් ම පසෙකට තබා සියල්ලට ම ප්‍රථමයෙන් තම සිත්හි පිහිටුවා ගැනීමට සුදුසු හෙයින් ‘ඔපනයික’ නම් වන්නේය. විශේෂයෙන් ම සතර ආර්ය මාර්ගය සහ සතර ආර්ය ඵලය යන ලෝකෝත්තර ධර්ම අට දෙන තමන් සතු ඕනෑම දෙයක් පරිත්‍යාග කොට වුව ද කොතරම් වෙහෙසක් ගෙන වුව ද ස්වසන්තානයට පමුණුවා ගැනීමට ස්වසන්තානයේ උපදවා ගැනීමට සුදුසු වෙති. එසේ ම නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මය අරමුණු කිරීම් වශයෙන් සිය සිතින් පැමිණීමට සුදුසු ය. එහෙයින් මේ නවලෝකෝත්තර ධර්මය ‘ඔපනයික’ නම් ගුණයෙන් යුක්ත වන්නේය.

‘ඔපනයික’ යන පදයේ අර්ථය ‘උපනෙතබ්බොති ඔපනයිකො’ යැයි විග්‍රහ කරනු ලැබේ. ‘උපනයන’ යන පාළි පදයෙන් අදහස් වන්නේ ‘එළවීම, පැමිණවීම’ යන්න යි. ‘උපනෙතබ්බො’ යනු සිතේ එළවාගත යුතු බව, සිතේ ඉපදවිය යුතු බව, ඊට සුදුසු බව යි. ඒ අනුව සිතේ එළවා ගැනීමට සුදුසු, සිතේ එළවා ගත යුතු ධර්මය ‘ඔපනයික’ නම් වේ.

තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ සතර මාර්ග සතරඵල සංඛ්‍යාත ලෝකෝත්තර ධර්ම අට දෙන අන් සෑම දෙයක් ම පසෙක තබා ස්වසන්තානයේ උපදවා ගැනීමට සුදුසු හෙයින් ‘ඔපනයික’ නම් වේ. හිස ගිනි ගත් තැනැත්තකු විසින් එ ගිනි නිවීමට ව්‍යාවෘත නො වී වුව ද, හැඳි වත ගිනි ගත් තැනැත්තෙකු එය නිවීමට ව්‍යාවෘත නො වී වුව ද මේ ලෝකෝත්තර ධර්මයන් අට දෙන භාවනා වශයෙන් ස්වකීය සන්තානයේ උපදවා ගැනීමට, ස්වකීය සන්තානයට පමුණුවා ගැනීමට සුදුසු වේ. එනම් යම් හිස ගිනි ගත් අයෙක් ඒ ගිනි නිවීමට වෙහෙසීම පසෙක තබා වුව ද සෝතාපන්නාදි මාර්ගඵලයක් උපදවා ගැනීමට වෙහෙසීම සුදුසු වේ. ‘ඔපනයික’ ගුණයෙන් අදහස් වන්නේ එසේ ජීවිත පරිත්‍යාගයෙන් වුව ද මේ ධර්මය උපදවා ගැනීම සුදුසු බව යි.

නිර්වාණ ධර්මය තෙමේ තමාගේ සිතේ එළඹීමට සුදුසු හෙයින් ‘ඔපනයික’ නම් වේ. එනම් සාක්‍ෂාත් කිරීම් වශයෙන් ඇලීමට ස්පර්ශ කිරීමට සුදුසු බව යි. ඒ අර්ථයෙන් නිර්වාණය ද ‘ඔපනයික’ නම් ගුණයෙන් යුක්ත වේ.

මෙසේ සතර මාර්ග, සතර ඵල, නිර්වාණය යන නවලෝකෝත්තර ධර්මය ම අන් සියල්ල පසෙක තබා සියල්ලට ම ප්‍රථමයෙන් ස්ව සන්තානයේ උපදවා ගැනීමට සුදුසු හෙයින් ‘ඔපනයික’ නම් වේ.
තථාගතයන් වහන්සේ භික්‍ෂූන් අරබයා දේශනා කරන ලද්දේ තමන් වහන්සේ බෝ මැඩ දී ශරීරයේ සම, නහර, ඇට ඉතිරි වේවා! ලේ මස් වියළී යේවා! යන චතුරංග සමන්වාගත වීර්ය අධිෂ්ඨානයෙන් යුතුව වැඩ හිඳ උතුම් සර්වඥතා ඥාන ප්‍රතිවේදයෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව යි. ඒ නිසා මේ සසුනේ පිළිවෙත් පුරන සියලුම දෙනා මේ වීර්ය අධිෂ්ඨානයෙන් යුතුව නිවන් අවබෝධය පිණිස පිළිවෙත් පිරිය යුතු බව යි. එහෙයින් තථාගතයන් වහන්සේ ජීවමාන කාලයේ පවා ජීවිත පරිත්‍යාගයෙන් මහණදම් පිරූ ස්වාමීන් වහන්සේලා පිළිබඳ ධර්මයේ සඳහන් වේ. එසේ ම ලක්දිව විසූ ඇතැම් ස්වාමීන් වහන්සේලා මෙන් ම ගිහි පින්වතුන් ද ජීවිත පරිත්‍යාගයෙන් ධර්ම මාර්ගයේ ගමන් ගත් ආකාරය අට්ඨකථාවල සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ වැඩ විසූ චක්‍ඛුපාල මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ දෑස පිළිබඳ අපේක්‍ෂාවකින් තොරව මහණදම් පිරූහ. උන්වහන්සේ නේසජ්ජිකාංගය නම් ධුතාංගය සමාදන් වී කිසිම විටෙක තමන්ගේ කට දිගා කිරීමකින් තොරව විසූහ. රාත්‍රියට නිදාගැනීම පිණිස හෝ කය දිගා නො කළහ. එසේ මහණදම් පිරීමේ දී ඇස්වල ආබාධයක් ඇති වූ අතර වෛද්‍යවරුන්ගේ අවවාදය වූයේ සුදුසු ඖෂධ ගෙන කය දිගා කොට සැතපීම යි. එහෙත් උන්වහන්සේ දෑස පිළිබඳ අපේක්‍ෂාවකින් තොරව තමන් වහන්සේ අර්හත්වයට පත් වී මිස වීර්යය අත නොහරිමියි කය දිගා නොකර ම මහණදම් පුරා සව් කෙලෙසුන් නසා උතුම් අර්හත්වයට පැමිණියහ. අර්හත්වයට පත් වීමත් සමඟ උන්වහන්සේගේ දෑස් අන්ධ විය. එසේ දෑස පමණක් නොව ජීවිතය පිළිබඳව වුව අපේක්‍ෂාවකින් තොරව අනුගමනය කිරීමට සුදුසු ධර්මයක් බැවින් තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මය ‘ඔපනයික’ නම් ගුණයෙන් යුක්ත වේ.

සැවැත්නුවර විසූ ධනවත් සොහොයුරෝ දෙදෙනකුගෙන් වැඩිමලා තමන්ගේ ධනය ද බාල සොහොයුරාට දී පැවිදිව වනගත ව මහණදම් පිරුවේය. ඒ බාල සොහොයුරාගේ බිරිඳ ඒ භික්‍ෂුව සිවුරු හැර පැමිණියහොත් තමාගේ ධනය නැති වේ යැයි සිතා ඒ භික්‍ෂුව ඝාතනය කිරීමට සොර මුලක් පිටත් කර යැව්වාය. සොරු උන්වහන්සේ සමීපයට පැමිණි විට කරුණු විමසූ ඒ භික්‍ෂුව තමන් වහන්සේට එක් රාත්‍රියක් ඇපයක් දෙන මෙන් ඉල්ලා සිටියේය. මෙහි කවුරුන් ඇප වන්නේ දැ යි ඇසූ විට උන්වහන්සේ මහ ගලක් ගෙන කලවායේ ඇට බිඳ දමාගෙන මහණදම් පුරා රැය පහන් වන විට සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියහ. මෙසේ ජීවිත පරිත්‍යාගයෙන් වුව ද පිළිවෙත් ධර්මයන් පිරීමට සුදුසු හෙයින් තථාගතයන් වහන්සේ දේශනා කළ ඒ ධර්ම රත්නය ‘ඔපනයික’ නම් ගුණයෙන් යුක්ත වන්නේය.

අනුරාධපුර, කටුකැලියාව, සද්ධාතිස්සාරාම මහාවිහාරවාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි