ධම්මානුස්සති භාවනාව වඩන තැනැත්තා ධර්ම රත්නයේ ගුණ එකක් එකක් පාසා නුවණින් මෙනෙහි කරමින් භාවනා කළ යුතු වේ. ඒ සඳහා පළමුව ධර්මයේ ස්වාක්‍ඛාතාදි ගුණ පිළිබඳ දැනුමක් අවබෝධයක් තිබිය යුතු බැවින් ධර්මයේ සයවැනි ගුණය වන ‘පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහි’ ගුණය පිළිබඳ මෙම ලිපියෙන් විස්තර කෙරේ.

ධර්මය තෙමේ එය අනුව පිළිපදින්නා වූ නුවණැතියන්ට අන් තැනකින් නොව තම සිත් තුළින් ම අහෝ සැප ය, අහෝ යහපත්ය කියා දැනෙන ගුණයෙන් යුක්ත වන හෙයින් ‘පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහි’ නම් වන්නේය. එනම් මේ නවලෝකෝත්තර ධර්මය නුවණැතියන් විසින් වෙන් වෙන් වශයෙන් ස්වසන්තානවලින් ම දත යුත්තක්, ප්‍රත්‍යක්‍ෂ කර ගත යුත්තක් බව යි. ලෝකෝත්තර ධර්මයන් පමණක් නොව රූපාවචර අරූපාවචර ධ්‍යාන ධර්මයෝ ද නුවණැතියන් විසින් වෙන වෙන ම තමන් තුළ උපදවාගෙන දත යුතු ධර්මයෝ ය. එහෙයින් රූපාවචර අරූපාවචර ධ්‍යාන, ලෝකෝත්තර ධර්ම යන සියල්ල නුවණැතියන් විසින් තමන් තුළ උපදවාගෙන ම දත යුතු, ප්‍රත්‍යක්‍ෂ කර ගත යුතු බැවින් ‘පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහි’ නම් වන්නේය.

මෙහි ලා ‘විඤ්ඤූ’ හෙවත් නුවණැතියා යනු ත්‍රිහේතුක ප්‍රතිසන්ධිකයා ය. එනම් ත්‍රිහේතුක උත්කෘෂ්ට කුශලයකින් උත්පත්තිය ලබන පුද්ගලයා වේ. ත්‍රිහේතුක කුශලයක් යනු අලෝභ, අද්වේෂ, අමෝහ යන හේතුත්‍රය ම සහිත ඤාණසම්ප්‍රයුක්ත කුශලය යි. එසේ උත්කෘෂ්ට ඤාණසම්ප්‍රයුක්ත කුශලයකින් උත්පත්තිය ලබන ත්‍රිහේතුක පුද්ගලයාට පමණක් ධ්‍යාන මාර්ගඵල ඉපදවිය හැකි වේ. ඔවුන්ට ජාතිප්‍රඥාව හෙවත් උත්පත්තියෙන් පිහිටි නුවණ ඇත්තේය. ඤාණසම්ප්‍රයුක්ත ඕමක කුශලයකින් හෝ ඤාණවිප්‍රයුක්ත උත්කෘෂ්ට කුශලයකින් උත්පත්තිය ලබන තැනැත්තා ද්විහේතුක වේ. එසේ ද්විහේතුක පුද්ගලයාට නොයෙක් ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීමෙන් පාණ්ඩිත්‍යය ඇති කර ගත හැකි නමුදු ධ්‍යානාදි උත්තරිමනුෂ්‍යධර්මයන් ප්‍රතිලාභ කර ගත හැකි නො වේ. එහෙයින් ඔවුන්ට ධර්මයේ ඇති මේ ‘පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහි’ නම් ගුණය අත්දැකිය හැකි නො වේ.

බුදුරජාණන් වහන්සේ ලෝකයේ වෙසෙන සියලුම පුද්ගලයන් උග්ඝටිතඤ්ඤූ, විපඤ්චිතඤ්ඤූ, නෙය්‍ය, පදපරම යනුවෙන් කොටස් සතරකට බෙදා වදාළ සේක. ඒ අතරින් සතරපද ගාථාවක් වැනි ඉතා කෙටි ධර්ම දේශණයක් අසා එය නුවණින් විස්තර වශයෙන් තේරුම් ගෙන චතුරාර්ය සත්‍යය අවබෝධ කරන නුවණැති පුද්ගලයන් ‘උග්ඝටිතඤ්ඤූ’ ලෙස හැඳින්වේ. බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ සාරිපුත්ත, මොග්ගල්ලායන මහරහතන් වහන්සේලා ද බාහිය දාරුචීරිය ආදි ඉතා කෙටි දේශනයක් අසා සව් කෙලෙස් නසා අර්හත්වයට පත් මහරහතන් වහන්සේලා ද මෙසේ උග්ඝටිතඥයෝ ය. සාරිපුත්ත, මොග්ගල්ලායන ස්වාමීන් වහන්සේලා බවට පත් උපතිස්ස, කෝලිත පිරිවැජියන් දෙදෙන අස්සජී මහරහතන් වහන්සේ වෙතින් ‘යෙ ධම්මා හෙතුප්පභවා, තෙසං හෙතු තථාගතො ආහ’ යනාදි සතරපද ගාථාවක් අසා සෝතාපන්න වූහ. දීර්ඝ ධර්මදේශනයක් ශ්‍රවණය කර ධර්මාවබෝධය කරන පුද්ගලයන් ‘විපඤ්චිතඤ්ඤූ’ නම් වේ. තථාගතයන් වහන්සේ දානකථා, ශීලකථා ආදි අනුපිළිවෙළ කථාව පවත්වා අවසානයේ පවත්වන සාමුක්කංසික ධර්මදේශනය හෙවත් චතුරාර්ය සත්‍යය දේශනය ශ්‍රවණය කර මේ විපඤ්චිතඤ්ඤූ පුද්ගලයන් නිවන් අවබෝධ කර ගනිති. ධර්ම ශ්‍රවණය කර, සමථ විදර්ශනා භාවනා වඩා කලක් බුදුසසුනේ පිළිවෙත් ධර්මයන් පූරණය කිරීමෙන් ධර්මාවබෝධය කරන්නේ ‘නෙය්‍ය’ පුද්ගලයෝ ය. කොපමණ ධර්ම ශ්‍රවණය කළ ද පිළිවෙත් ධර්මයන් පූරණය කළ ද මේ භවයේ ධර්මාවබෝධය නොකරන පුද්ගලයන් ‘පදපරම’ නම් වේ. මේ අනුව චතුරාර්ය සත්‍යය ප්‍රතිවේධ කරන උග්ඝටිතඤ්ඤූ, විපඤ්චිතඤ්ඤූ, නෙය්‍ය යන තිදෙනා ම ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ඇති නුවණැත්තෝ වෙති. පදපරම පුද්ගලයන් අතර මතු බුද්ධත්වය ආදි උසස් අපේක්‍ෂා ඇති ත්‍රිහේතුක පුද්ගලයන් ද ද්විහේතුක අහේතුක පුද්ගලයන් ද වෙති. ඒ අතරින් සියලුම උග්ඝටිතඤ්ඤූ ආදි ප්‍රතිවේධ සත්‍යය ඇති නුවණැතියන් විසින් ‘මා විසින් මාර්ගය වඩන ලද්දේය. ඵලයට පැමිණෙන ලද්දේය. නිරෝධය සාක්‍ෂාත් කරන ලද්දේය.’ යැයි තමා තමා කෙරෙහි දත යුතු හෙයින් මේ ධර්මය ‘පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහි’ නම් ගුණයෙන් යුක්ත වන්නේය.

අන් කෙනෙකුන් විසින් වඩන ලද මාර්ගයෙන් වෙනකකුගේ කෙලෙස් ප්‍රහීණ නොවෙත්. එසේ ම අන් කෙනෙක් විසින් උපදවන ලද ඵලසමාපත්තියෙන් වෙනකකුට පහසු විහරණයක් නො වෙයි. තව ද අනෙකකු විසින් ප්‍රත්‍යක්‍ෂ කළ නිර්වාණය වෙනකකුට සාක්‍ෂාත් නො වෙයි. ගුරුවරයා විසින් මාර්ගය වඩන ලද කල්හි ශිෂ්‍යයාගේ කෙලෙස් ප්‍රහීණ වන්නේ නො වේ. ඒ ශිෂ්‍යයා ගුරුවරයා විසින් උපදවන ලද ඵලසමාපත්තියෙන් පහසු විහරණය නො ලබයි. ගුරුවරයා විසින් ප්‍රත්‍යක්‍ෂ කළ නිර්වාණය ශිෂ්‍යයා විසින් සාක්‍ෂාත් නො කරයි. එහෙයින් මේ නවලෝකෝත්තර ධර්මය අනුන් හිස පැළඳි ආභරණයක් මෙන් දැකිය හැකි දෙයක් නො වේ. තමාගේ චිත්ත සන්තානයෙන් ම දැකිය යුතු වේ. නුවණැතියන් හට තමා විසින් ම අනුභව කළ යුතු හෙයින් මේ ධර්මය ‘පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහි’ නම් ගුණයෙන් යුක්ත වන්නේය.

නවලෝකෝත්තර ධර්මය අවබෝධ කළ හැක්කේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ලාභී නුවණැතියන්ට ම පමණි. ද්විහේතුක අහේතුක ප්‍රතිසන්ධි ඇති බාල අනුවණයන්ට මෙම නවලෝකෝත්තර ධර්මය අවිෂය ම වෙයි. ඒ බාල අනුවණයෝ කාම සම්පත්වල සැපයක් ඇත්තේ යැයි ඒ කම්සැප ම පසුපස හඹා යති. එහි ආදීනවය නො දකිති. කුෂ්ඨ රෝගයක් ඇති තැනැත්තා එය නියපොත්තෙන් කසමින්, ගින්නෙන් රත්කරමින් තමන් සැපයක්, සුවයක් යැයි දුකක් ම විඳියි. එසේ කුෂ්ඨ රෝගයක් නැති නිරෝගී තැනැත්තා එය දුකක් බව ම නිසි පරිදි හඳුනා ගනී. එසේ ම බාල අනුවණයා ආදීනව සහිත කාමයෙහි ඇති දුක් සහිත බව විපරීතව සැපයක් ලෙස දකියි. එහෙත් නුවණැති පුද්ගලයෝ ඒවායෙහි ආදීනවය දකිමින් කම්සැප හැරපියා නෛෂ්ක්‍රම්‍ය සැප විඳිති. ධ්‍යාන, මාර්ගඵල ආදි උත්තරීමනුෂ්‍යධර්මයන් උපදවාගෙන ඒ සැපය විඳිමින් සිටිති. ධ්‍යාන, මාර්ගඵල ප්‍රතිලාභයෙන් ලබන උසස් සැපය කම් සැපවලින් ලැබිය නො හැකි වෙයි. තව ද නුවණැතියන්ට පර්යාප්ති ධර්මයෙහි පවා රසයක් ඇත්තේය. පර්යාප්ති ධර්මය නමුදු රස විඳිය හැකිය. අනුවණයන්ට හා මිථ්‍යාදෘෂ්ටිකයන්ට එහි රසය ලැබිය නො හැකි ය. මෙසේ නුවණැතියන් විසින් ම දත යුතු, අනුභව කළ යුතු බැවින් ධර්මය ‘පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහි’ නම් ගුණයෙන් යුක්ත වන්නේය.

මෙසේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය තෙමේ නුවණැතියන් විසින් ම අන් තැනකින් නොව තම චිත්තසන්තානය තුළින් ම ප්‍රත්‍යක්‍ෂ කර ගත යුතු හෙයින් ‘පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහි’ නම් ගුණයෙන් යුක්ත වන්නේ යැයි ධම්මානුස්සති භාවනාව වැඩිය යුතු වේ.

අනුරාධපුර, කටුකැලියාව, සද්ධාතිස්සාරාම මහාවිහාරවාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි