ධම්මානුස්සති භාවනාව වඩන තැනැත්තා ධර්ම රත්නයේ ගුණ එකක් එකක් පාසා නුවණින් මෙනෙහි කරමින් භාවනා කළ යුතු වේ. ඒ සඳහා පළමුව ධර්මයේ ස්වාක්‍ඛාතාදි ගුණ පිළිබඳ දැනුමක් අවබෝධයක් තිබිය යුතු බැවින් ධර්මයේ ස්වාක්‍ඛාතාදි ගුණ එකක් එකක් පාසා ගෙන විස්තර කරන ලදී.

ඒ අනුව තථාගතයන් වහන්සේගේ ධර්මය තෙමේ,
 මුල, මැද, අග යන තුන් තැන ම යහපත් වන පරිදි මනා කොට දේශනා කරන ලද බැවින් ‘ස්වාක්‍ඛාත’ නම් වන්නේය.

 එය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයන් වර්තමාන භවයේ දී ම තමන් විසින් ම ප්‍රත්‍යක්‍ෂ කරන ගුණවලින් යුක්ත වන හෙයින් ‘සන්දිට්ඨික’ නම් වන්නේ ය.

 එය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයන්ට වර්ෂ ගණන් මාස ගණන් ගත වීමෙන් නො ව එදිනෙදා ම ලැබිය හැකි ගුණවලින් යුක්ත වන හෙයින් ‘අකාලික’ නම් වන්නේය.

 ‘පැමිණ මේ සසුනෙහි පිළිවෙත් පුරා බලන්නැ’යි අන්‍යයන්ට නිර්භීතව කිය හැකි අන්‍යයන් ඇද දැමීමට සුදුසු ගුණ ඇති හෙයින් ‘එහිපස්සික’ නම් වන්නේය.

 අන් සෑම කටයුත්තක් ම පසෙකට තබා සියල්ලට ම ප්‍රථමයෙන් තම සිත්හි පිහිටුවා ගැනීමට සුදුසු හෙයින් ‘ඕපනයික’ නම් වන්නේය.

 එය අනුව පිළිපදින්නා වූ නුවණැතියන්ට අන් තැනකින් නොව තම සිත් තුළින් ම අහෝ සැප ය, අහෝ යහපත්ය කියා දැනෙන ගුණයෙන් යුක්ත වන හෙයින් ‘පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහි’ නම් වන්නේය.
ධර්මයේ ඇති මේ ස්වාක්‍ඛාතාදි එකිනෙක ගුණයට අනෙක් ඊට පසු පසු සන්දිට්ඨිකාදි ගුණය හේතුවක් බවට පත් වේ. එනම් ධර්මය ‘ස්වාක්‍ඛාත’ වන්නේ එහි ඇති ‘සන්දිට්ඨික’ බව නිසාවෙනි. තථාගතයන් වහන්සේගේ ධර්මය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයන්ට මේ ධර්මය අනුව පිළිපැදීමේ ප්‍රතිඵලය වර්තමාන භවයේ දී ම තමන් විසින් ම ප්‍රත්‍යක්‍ෂ කළ හැකි වේ. එහෙයින් ධර්මය තෙමේ ‘සන්දිට්ඨික’ නම් වන්නේය. එසේ භාග්‍යවතුන් වහන්සේ විසින් සාන්දෘෂ්ටික ධර්මයක් වදාළ බැවින් ධර්මය තෙමේ මනාව ම දේශනා කරන ලද්දේය. එබැවින් ධර්මය තෙමේ ‘ස්වාක්‍ඛාත’ යැයි ද කියනු ලැබේ.

තව ද ධර්මය තෙමේ එය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයන් වර්තමාන භවයේ දී ම තමන් විසින් ම ප්‍රත්‍යක්‍ෂ කළ හැකි ‘සන්දිට්ඨික’ ගුණයෙන් යුක්ත වන්නේ එහි ඇති ‘අකාලික’ බව නිසාවෙනි. ධර්මය තෙමේ එය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයන්ට වර්ෂ ගණන් මාස ගණන් ගත වීමෙන් නො ව එදිනෙදා ම ලැබිය හැකි ගුණවලින් යුක්ත වන හෙයින් ‘අකාලික’ යැයි කියනු ලැබේ. එසේ එදිනෙදා ම ඵල ලැබිය හැකි අකාලික දහමක් බැවින් මේ ධර්මය ඒ අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයන්ට මේ භවයේ දී ම තමන් විසින් ම ප්‍රත්‍යක්‍ෂ කළ හැකි වේ. හෙවත් ධර්මය තෙමේ ‘සන්දිට්ඨික’ ගුණයෙන් යුක්ත වේ.

එසේ ම ධර්මය තෙමේ ‘අකාලික’ වන්නේ එහි ඇති ‘ඒහිපස්සික’ ගුණය නිසාවෙනි. ‘පැමිණ මේ සසුනෙහි පිළිවෙත් පුරා බලන්නැ’යි අන්‍යයන්ට නිර්භීතව කිය හැකි අන්‍යයන් ඇද දැමීමට සුදුසු ගුණය ‘ඒහිපස්සික’ ගුණය යි. එසේ අන් අයට කිසිදු පැකිලීමකින් තොරව විවෘතව ඇරයුම් කළ හැකි, ඊට සුදුසු දහමක් වන නිසාවෙන් ‘ඒහිපස්සික’ වන මේ ධර්මය ‘අකාලික’ ද වේ. ඕනෑම කෙනෙකුට විවෘතව ඇරයුම් කළ හැකි බැවින් නුවණැත්තෝ මේ සසුනට පැමිණ පිළිවෙත් පුරති. එසේ පැමිණ පිළිපදින පුද්ගලයන්ට කල් ගත වීමකින් තොරව එදිනෙදා ම ඵල ලැබිය හැකි වේ. එසේ මේ ධර්මය ‘අකාලික’ බවට ‘එහිපස්සික’ බව හේතුවක් වේ.
එසේ ම යම් ධර්මයක් ‘එහි පස්සික’ හෙවත් පැමිණ පිළිවෙත් පුරා බලන්නැයි විවෘතව ඇරයුම් කළ හැකි වේ ද ඒ ධර්මය ‘ඕපනයික’ නම් ගුණයෙන් ද යුක්ත වන්නේය. එනම් අන් සෑම කටයුත්තක් ම පසෙකට තබා සියල්ලට ම ප්‍රථමයෙන් තම සිත්හි පිහිටුවා ගැනීමට සුදුසු බව යි. තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය මෙසේ අන්‍යයන්ට නිර්භයව ඇරයුම් කළ හැකි ශාසනධර්මයක් වනවා මෙන් ම සෙසු සියලු කටයුතු පසෙක තබා, අඩු තරමේ හිස ගිනිගත් තැනැත්තෙක් එගිනි නිවීමට නමුදු ව්‍යාපෘත නො වී මේ ධර්මය ස්වකීය සන්තානයේ එළවා ගැනීමට සුදුසු ‘ඕපනයික’ ගුණයෙන් ද යුක්ත වන්නේය. මෙසේ ධර්මයේ ස්වාක්‍ඛාතාදි එකිනෙක ගුණය ඊට පසු පසු එන ‘සන්දිට්ඨික’ ආදි ගුණයන් නිසාවෙනි.

යම්කිසි පුද්ගලයෙක් ධර්මයේ ස්වාක්‍ඛාතාදි ගුණ සිහි කරන කල්හි ඒ තැනැත්තාගේ සිත රාගයෙන් මැඩ ගැනීමක් සිදු නො වේ. ද්වේෂයෙන් මැඩ ගැනීමක් සිදු නො වේ. මෝහයෙන් මැඩ ගැනීමක් සිදු නො වේ. සෙසු කෙලෙස්වලින් මැඩ ගැනීමක් සිදු නො වේ. ධර්මය අරමුණු කරගෙන ඍජු වූ සිතක් ඇති වේ. එසේ ඇති විට ධර්මය අරමුණු කරගෙන කාමච්ඡන්දාදි නීවරණයන් විෂ්කම්භනය වී එක් ක්‍ෂණයක විතක්ක, විචාරාදි ධ්‍යානාංග පහළ වේ. කෙසේ නමුදු දහම්ගුණවල ගාම්භීර භාවයෙන් ද නොයෙක් ආකාරයේ ගුණයන් සිහි කිරීමේ කැමැත්ත ඇති බැවින් ද සිත අර්පණාවට නොම වැටී උපචාර සමාධියෙන් පමණක් සමාධිමත් වේ.
මේ ධම්මානුස්සති භාවනාව වඩන තැනැත්තාට ශාස්තෘන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව, ගෞරවය උපදී. ‘මෙසේ ඕපනයික වූ හෙවත් සිත්හි එළවා ගැනීමට සුදුසු වූ ධර්මය දේශනා කරන ලද්දේ මේ අංගයෙනුදු සමන්වාගත වූ තථාගතයන් වහන්සේ ය. ඒ භාග්‍යවතුන් වහන්සේ හැරපියා මෙසේ ගාම්භීර වූ ධර්මයක් දේශනා කරන ලද අන් කිසිවෙක් ලොව අන් තැනක අතීතයේ ද නොම දකිමි. දැනුදු නො දකිමි.’ යැයි මෙසේ ධර්මයේ ගුණ දැකීම් වශයෙන් ම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති වෙයි. යටහත් පැවතුම් ඇති ව බුහුමන් සහිත වෙයි. බුද්ධානුස්සති භාවනාවේ දී මෙන් ම ශ්‍රද්ධාවෙන් විපුල බවට පත් වේ. සිහිය ශක්තිමත් වේ. ප්‍රඥාව දියුණු වේ. පිනෙන් මහත් බවට පැමිණේ. ප්‍රීති ප්‍රමෝදය බහුල වෙයි. කුඩා මහත් භය සහනය කරයි. දහම්ගුණ සිහි කරන්නහු දුක් ඉවසීමට සමර්ථ වෙයි. ධර්ම රත්නය හා එකට වාසය කරන සංඥාව ඇති වෙයි. ඒ දහම්ගුණ සිහි කිරීමෙන් වාසය කරන යෝගියාගේ ශරීරය ද චෛත්‍ය ගෘහයක් මෙන් පූජාවට සුදුසු වෙයි. දහම්ගුණ මහත්ව වැටහෙන බැවින් ඒ අනුත්තර වූ ධර්මය අවබෝධ කර ගැනීමට සිත නැමෙයි. ධර්මයේ සුන්දර ධර්මතාවය වැටහීමෙන් හිරි ඔතප් දෙක ඇති වී සිල් පද කැඩීමෙන් තොර ව ශීලය මැනවින් ආරක්‍ෂා කර ගැනීමට හැකි වේ.
මෙම ධම්මානුස්සති භාවනාවෙන් මත්තෙහි එය පිහිට කරගෙන විදසුන් වඩා නිවන් පසක් කර ගත හැකි වේ. එසේ නොවේ නම් මරණින් මතු සුගතිගාමී වේ.

අනුරාධපුර, කටුකැලියාව, සද්ධාතිස්සාරාම මහාවිහාරවාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි