නිවන් අවබෝධ කරගැනීම පිණිස භාවනාවේ ඇති වැදගත්කම මෙම ලිපි පෙළ තුළින් අප විසින් නිරතුරුව සිහි කරන ලදී. ඒ අනුව භාවනාවට අවතීර්ණ වනු කැමති සැදැහැවතුන් විසින් කවර හෝ කර්මස්ථානයක් ගෙන භාවනාව ආරම්භ කළ යුතු වේ. එහි දී උපකාර වනු පිණිස සමථ භාවනා කර්මස්ථාන පිළිවෙළින් විස්තර කිරීම මෙම ලිපි පෙළේ අරමුණ විය. ඒ අනුව ආනාපානසති භාවනාව විස්තර වශයෙන් ඉදිරිපත් කළ අතර බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව, කරුණා භාවනාව, මුදිතා භාවනාව, උපේක්‍ඛා භාවනාව යන සතර බ්‍රහ්මවිහාර භාවනා ද අනතුරුව ධම්මානුස්සති භාවනාව ද විස්තර කරන ලදී. ඒ අනුව බෞද්ධ භාවනා මාර්ගය පුහුණු කරනු කැමති සැදැහැවතුන්ට මෙම කවර හෝ භාවනා කමටහනකින් තම භාවනාව ආරම්භ කළ හැකි වේ. ඒ සඳහා සුදුසු කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේ නමකගෙන් උපදෙස් ලබා ගත නොහැකි නම් මෙම ලිපි පෙළ ගුරු තනතුරේ තබාගෙන භාවනාව ආරම්භ කළ හැකි වේ.

සමථ භාවනාවකින් සිතේ සමාධියක් උපදවාගෙන අනතුරුව නාමරූප ධර්ම සම්මර්ශනයෙන් විදසුන් වැඩීමට කැමති පුද්ගලයන් විසින් පළමුකොට ම සමථ භාවනාවක් පුහුණු කළ යුතු වේ. පංචනීවරණ ධර්මයන් යටපත් කර සිත සමාධිමත් කරගෙන ආරම්භ කරන විදර්ශනාව මහත්ඵල මහානිසංස වන බව බුදුරජාණන් වහන්සේ මහාපරිනිර්වාණ සූත්‍රයේ දී ‘සමාධි පරිභාවිතො පඤ්ඤා මහප්ඵලො හොති මහානිසංසො’ යැයි වදාළ සේක. එබැවින් පළමුව සමථ භාවනාවක් ආරම්භ කිරීමට මෙම ලිපි පෙළින් මඟ පෙන්වීම ලබා ගත හැකි වේ.
සමථ භාවනා ක්‍රම සතළිසක් (40) ඇති බව ඉහත සඳහන් කරන ලදී. ඒ අතර එන දශඅනුස්මෘති කර්මස්ථාන අතරින් තුන්වන අනුස්මෘති කර්මස්ථානය සංඝානුස්සතිය යි. මෙතැන් පටන් සංඝානුස්සති භාවනාව වඩන ආකාරය පැහැදිලි කෙරේ.

සංඝානුස්සති භාවනාව පුරුදු පුහුණු කරනු කැමති තැනැත්තා විසින් හුදකලාව විවේකගත ව භාවනා කර්මස්ථානයේ සිත් අලවාගෙන පළමුව ‘සුපටිපන්නෝ භගවතෝ සාවකසඩ්ඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවකසඩ්ඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ සාවකසඩ්ඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ සාවකසඩ්ඝෝ, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා එස භගවතෝ සාවකසඩ්ඝෝ, ආහුනෙය්‍යෝ, පාහුනෙය්‍යෝ, දක්‍ඛිණෙය්‍යෝ, අඤ්ජලිකරණීයෝ, අනුත්තරං පුඤ්ඤක්‍ඛත්තං ලෝකස්ස’ යැයි මෙසේ ආර්ය මහාසංඝරත්නයේ ගුණස්කන්ධය සිහි කළ යුතු වේ.

ඒ අනුව සංඝානුස්සති භාවනාව තමන්ගේ මූල භාවනා කර්මස්ථානය ලෙස පුහුණු කරනු කැමති තැනැත්තා විසින් පළමුව තෙරුවන් වන්දනා කිරීම් ආදි පූර්ව කෘත්‍යය සිදු කොට අනතුරුව කෙටියෙන් සතර කමටහන් භාවනා වඩා සංඝානුස්සති භාවනාව ආරම්භ කළ යුතු වේ. මෙහි දී පළමුව තමන් විසින් ගුණ සිහි කිරීමට අපේක්‍ෂා කරන ‘සංඝරත්නය’ යනු කවරෙක් ද? යන්න පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතු වේ.

‘සංඝ’ යන පදයේ අර්ථය ‘සමූහය’ යන්න යි. ‘සාවකසඩ්ඝෝ’ යන්නෙන් ‘ශ්‍රාවක සමූහය’ අදහස් වේ. ශ්‍රාවකයන් යනු යමක් අසන්නවුන් ය. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන සමූහය ‘භගවතෝ සාවකසඩ්ඝෝ’ යන්නෙන් කියැවේ. මෙහි කියවෙන ශ්‍රාවකයන් නම් හුදෙක් ධර්මය අසන පුද්ගලයන් පමණක් නොව ඒ ධර්මය අසා ගෞරවයෙන් පිළිපදින්නා වූ සමූහය යි.

තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය දක්‍ඛිණෙය්‍ය සංඝ, සම්මුති සංඝ යනුවෙන් දෙයාකාරයක් වේ. පරලොව අදහාගෙන පූජාබුද්ධියෙන් දෙන දෙය දක්‍ෂිණාව නම් වේ. ඒ දක්‍ෂිණාව පිළිගැනීමට සුදුසු තැනැත්තා දක්‍ඛිණෙය්‍ය නම් වේ. එසේ දක්‍ෂිණාවට සුදුසු සංඝයා යනු අෂ්ටාර්ය පුද්ගල සමූහයා යැයි ‘අට්ඨඅරියපුග්ගල සමූහෝ වුච්චති’ යනුවෙන් අර්ථකථාවන්හි සඳහන් වේ. සම්මුති සංඝයා යනු අවිශේෂයෙන් භික්‍ෂු සමූහයා ය.
‘සුපටිපන්නෝ’ යනාදි ලෙස සිහි කරන ගුණයන්ගෙන් හෙබි තථාගත ශ්‍රාවක සංඝරත්නය යුගල වශයෙන් සතරක් වූ පුද්ගලයන් වශයෙන් අටදෙනෙක් බව ‘යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා එස භගවතො සාවකසඩ්ඝො’ යැයි සඳහන් වේ. විශුද්ධිමාර්ගයේ සඳහන් වන්නේ මාර්ගස්ථ හා ඵලස්ථ යන ආර්ය පුද්ගලයන් අටදෙනා සංඝරත්නයට ඇතුළත් වන බව යි. තවත් ඇතැම් සූත්‍ර දේශනාවල ‘සෝතාපන්නෝ, සෝතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නෝ’ (සෝත්පන්න තැනැත්තා ය, සෝතාපන්න භාවය පිණිස පිළිවෙත් පුරන තැනැත්තා ය) යනාදි ලෙසින් පුද්ගලයන් අටදෙනා දැක්වේ. අංගුත්තර අට්ඨක නිපාතයේ පඨම අට්ඨපුග්ගල සූත්‍රයේ ඒ බව මෙසේ දැක්වේ.

චත්තාරො ච පටිපන්නා චත්තාරො ච ඵලෙ ඨිතා
එස සඩ්ඝො උජුභූතො පඤ්ඤාසීලසමාහිතො
(සතර මාර්ගයට පිළිපන්නා වූ ද, සතර ඵලයෙහි පිහිටියා වූ ද යන මේ සංඝ තෙමේ ඍජු වූයේ ප්‍රඥා, ශීල, සමාධියෙන් යුක්ත වූයේ ය.)

යජමානානං මනුස්සානං පුඤ්ඤපෙක්‍ඛානපාණිනං
කරොතං ඔපධිකං පුඤ්ඤං සඩ්ඝෙ දින්නං මහප්ඵලං
(දන්දෙන මිනිසුන්ට, පින් කැමති ප්‍රාණීන්ට උපධිවිපාක හෙවත් ප්‍රතිසන්ධි, ප්‍රවෘත්ති වශයෙන් සැප විපාක ගෙන දෙන පින් කරන්නවුන්ට සංඝයා කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වෙයි)

මෙහි සෝතාපන්නබව පිණිස පිළිවෙත් පුරන තැනැත්තා යන්නට තිසරණය සමාදන් වූ උපාසකයා ද අයත් වේ. එහෙත් මගඵලලාභී ගිහි අය හෝ දිව්‍ය, බ්‍රහ්ම කිසිවෙක් බුදුරජාණන් වහන්සේගේ ආඥාචක්‍රය සම්පූර්ණයෙන් ම පිළිපදින්නෝ නො වෙති. බුදුරජාණන් වහන්සේගේ ආඥාචක්‍රය සම්පූර්ණයෙන් ම පිළිපදින්නේ උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා ය. එබැවින් ආර්ය වූ හෝ පෘථග්ජන වූ හෝ උපසම්පන්න භික්‍ෂූන් වහන්සේලා ම ශ්‍රාවක සංඝරත්නයට අයත් වෙති. සාමණේරයන් වහන්සේලා ද දක්‍ෂිණාර්හ භාවයෙන් සංඝරත්නයට අයත් වේ. ඔවුන් ද සංඝලාභ බෙදීමේ දී කොටසක් ලැබීමට සුදුසු බැවිනි. ඒ අනුව බුදුසසුනේ පැවිදි වූ සියලු දෙනා ම ‘සංඝ’ යන්නට අයත් වෙති.

ලොව පර්යාප්ති සද්ධර්මය පවතින තාක් කල් ප්‍රතිපත්ති, ප්‍රතිවේධ සද්ධර්මය ද නොනැසී පවතින බව පුරාණ මහරහතන් වහන්සේලා විසින් සඳහන් කරන ලදී. එනම් දහම් පොත්පත් ඇති කල, ධර්මධරයන් විද්‍යමාන කල, ධර්ම දේශනා අසන්නට ලැබෙන කල පර්යාප්ති සද්ධර්මය පවතී. එකල්හි ප්‍රතිපත්තිය ද පිරිය හැකි වේ. ප්‍රතිපත්තිය ඇති තැන ප්‍රතිවේධය ද ඇත. එබැවින් මෙකල නමුදු මනා පිළිවෙත් පුරන සංඝරත්නය ලොව වාසය කරති. ඒ සංඝරත්නයේ ගුණ අරමුණු කරගෙන සංඝානුස්සති භාවනාව වැඩීම සිදු කළ යුතු වේ.

ලෝකයේ ඇති බොහෝ සමූහයන් අතුරින් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ම අග්‍ර වන බව, ශ්‍රේෂ්ඨ වන බව අග්ගප්පසාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ ‘යාවතා භික්‍ඛවේ සඩ්ඝා වා ගණා වා, තථාගතසාවකසඩ්ඝෝ තේසං අග්ගමක්‍ඛායති’ යැයි වදාළ සේක. ඒ තථාගත ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි සිත පහදවා ගන්නා තැනැත්තාට අග්‍ර වූ සැප විපාක ලැබෙන බව ද බුදුරජාණන් වහන්සේ මෙම අග්ගප්පසාද සූත්‍රයේ දී වදාළ සේක. සංඝානුස්සති භාවනාව වැඩීමෙන් ආර්ය මහාසංඝරත්නය කෙරෙහි සිතේ පැහැදීම දියුණු තියුණු වේ. ඒ අනුව සංඝානුස්සති භාවනාව ද මහත්ඵල මහානිසංස වන භාවනාවක් වේ.

එසේ මහත්ඵල මහානිසංස වන සංඝානුස්සති භාවනාව වඩා නිවන් සාක්‍ෂාත් කර ගැනීමට සැදැහැවතුන් පෙළ ගැසෙත්වා.

අනුරාධපුර, කටුකැලියාව, සද්ධාතිස්සාරාම මහාවිහාරවාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි